එක්සත් ජනපදය දරුවන් සමඟ කරන සෙල්ලම

මාරාන්තික ව්‍යසනයක් වන කොවිඞ් 19 වසංගතය තවමත් එක්සත් ජනපදය තුළින් පහව ගොස් නැත. මේ වන විට එය පාසල් තුළට ද දැඩි ලෙස ව්‍යාප්ත වෙමින් තිබේ. නිසි ක්‍රමවේද අනුගමනය නොකිරීම නිසා ළමයින් වෛරසය පතුරුවන්නන් බවට පත් වී ඇති අතර, ඔවුන්ම රෝගයට ගොදුරු වන බවට ලැබී තිබෙන විද්‍යාත්මක සාක්ෂි නොතකා පාසල් පද්ධතිය අනාරක්ෂිතව තිබිය දී ම දරුවන් වැඩි වැඩියෙන් පාසල් වෙත යොමු කිරීමට කටයුතු කරමින් සිටියි. දැනට සිදු කර ඇති දිස්ත්‍රික්ක 382ක පමණක් ගණන් බැලීම අනුව අගෝස්තු අවසානයේ මිලියන 2.7කට වැඩි ප්‍රමාණයක් පූර්ණකාලීනව පාසල්වලට පැමිණෙනු ඇත. එක්සත් ජනපදයේ දිස්ත්‍රික්ක 14,000කට ආසන්න සමස්තයේම එසේ ක්‍රියාත්මක වුවහොත්, ඉදිරි සති කිහිපය තුළ මිලියන ගණනක් සිසුන්, ගුරුවරුන් සහ කාර්ය මණ්ඩල නැවත පාසල්වලට පැමිණීම සිදු වේ. මිලියනයකට අධික සිසුන්, ගුරුවරුන් 1,35,000ක් හා සහායක කාර්ය මණ්ඩලයක් සිටින නිව්යෝක් නගරයේ ද පාසල් විවෘත කිරීමට නිව්යෝක් ආණ්ඩුකාරවරයා විසින් දැනටමත් තීරණය කර තිබේ. එපමණක් නොව පාසල් හා විශ්වවිද්‍යාලවලට නැවත පැමිණෙන විට සිසුන්ට කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවදානම වැඩි වී තිබෙන අවස්ථාවක පාසල් වගකීමෙන් මුදාහැරීමේ ලියවිලිවලට අත්සන් කිරීමට සිසුන්ට හා දෙමවුපියන්ට බල කෙරෙමින් තිබේ.

ඇමෙරිකානු ළමා රෝග පිළිබඳ ඇකඩමිය පසුගිය දා නිකුත් කළ නව වාර්තාවකින් හෙළි වූයේ, ජූලි මස අවසාන සති දෙක තුළ ළමයින් 1,00,000කට ආසන්න සංඛ්‍යාවක් කොරෝනා වෛරසයට ධනාත්මක බව තහවුරු කෙරුණු බව ය. එසේම මේ දක්වා එක්සත් ජනපදයේ වාර්තා වූ කොවිඞ්-19 රෝගීන් මිලියන පහකට ආසන්න සංඛ්‍යාවෙන් 3,38,000කට වැඩි ප්‍රමාණයක් ළමයින් ය.

පාසල් නැවත විවෘත කිරීමේ තීරණය එක්සත් ජනපද පාලනය සාධාරණීයකරණය කර ඇත්තේ, ළමයින් බොහෝ දුරට වෛරසයට ගොදුරු වීමේ අවදානමක් නොමැති බව පවසමිනි. ධවල මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ජනාධිපති ට්‍රම්ප් ළමයින් අතර ආසාදන පැතිරීම පිළිබඳ වාර්තා ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කළේ, “ඒක ඉතා සුළු මරණ පිළිබඳ සිද්ධියක්” බව පවසමිනි. එසේම ඩිමොක්‍රටික් පක්ෂයට සම්බන්ධ ගුරු සංගම් වන ඇමෙරිකානු ගුරු සම්මේලනය හා ජාතික අධ්‍යාපන සංගමය නොසැලකිලිමත් ලෙස පාසල් නැවත විවෘත කිරීමට එරෙහි මහජන විරෝධය මැඬපැවැත්වීම සඳහා තමන්ට හැකි සෑම දෙයක්ම කරමින් සිටියි.

එහෙත් ඇමෙරිකානු ළමා රෝග පිළිබඳ ඇකඩමිය පසුගිය දා නිකුත් කළ නව වාර්තාවකින් හෙළි වූයේ, ජූලි මස අවසාන සති දෙක තුළ ළමයින් 1,00,000කට ආසන්න සංඛ්‍යාවක් කොරෝනා වෛරසයට ධනාත්මක බව තහවුරු කෙරුණු බව ය. එසේම මේ දක්වා එක්සත් ජනපදයේ වාර්තා වූ කොවිඞ්-19 රෝගීන් මිලියන පහකට ආසන්න සංඛ්‍යාවෙන් 3,38,000කට වැඩි ප්‍රමාණයක් ළමයින් ය. එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ නව වාර්තාවකට අනුව මාර්තු සිට ජූලි අග දක්වා ළමයින් රෝහල්ගත වීමේ අනුපාතය ක්‍රමයෙන් ඉහළ ගොස් තිබේ. රෝහල්ගත කළ ළමයින් තිදෙනෙකුගෙන් එක් අයකු දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කිරීම අවශ්‍ය විය. ඇමෙරිකානු වෛද්‍ය සංවිධානයේ සඟරාවෙහි පළ වූ වෙනත් අධ්‍යයනයකින් හෙළි වූයේ, කොවිඞ්-19 ආසාදිත ළදරුවන්ට හා කුඩා දරුවන්ට උගුර  හා වාතය මඟින් අධික වෛරස් තොගයක් රැගෙන යා හැකි බව ය. එය වැඩිහිටියන්ට වඩා 100 ගුණයක් පමණ විශාල වේ.

මේ වන විටත් අවදානම තිබිය දී පාසල් විවෘත කර ඇති රටවල එමඟින් දරුණු ප්‍රතිවිපාක ගෙන දෙමින් තිබේ. ඊශ්‍රායලය දැන් ලෝකයේ නව ආසාදනයන්ගේ ඉහළ ම පුද්ගල අනුපාතයන්ගෙන් එකක් ලෙස පීඩා විඳිමින් සිටින අතර, නොසැලකිලිමත් ලෙස පාසල්  නැවත විවෘත කිරීම ඊට බලපා ඇති ප්‍රධාන සාධකයක් යැයි බොහෝ විශේෂඥයෝ චෝදනා කරති.

එසේම එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයේ උසස් පාසල්වල අත්දැකීම් අනුව ද නැවත විවෘත කිරීම සාධාරණීයකරණය කිරීම සඳහා හුවාදක්වන පියවරවල අසාර්ථක බව හෙළි වේ. නෝර්ත් පෝල්ඩින් උසස් පාසලේ මුඛ ආවරණ නොපැළඳූ ළමයින්ගෙන් තදබද වී ඇති ශාලාවල ඡායාරූප සමාජ මාධ්‍ය වෙත නිකුත් විය. එම ඡායාරූප පැතිරීමෙන් පසු පෝල්ඩින් උසස් පාසල හා අවට පාසල්වල රෝගීන් විශාල ගණනක් හමුවී ඇත.

මෙසේ දරුවන් අවදානමට දමමින්, ඇමෙරිකා එක්සත් ජනපදය යළි ප්‍රකෘති තත්ත්වයට පත් වී ඇති බව පෙන්වීමට දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වන චිත්තවේගයන් ගැනත්, දරුවන්ගේ යහපැවැත්ම ගැනත් කතා කරන කිසිවෙක්  රාජ්‍ය අධ්‍යාපනයේ අරමුදල් කප්පාදු කිරීම, පාසල් වැසීම හා අත්‍යවශ්‍ය සේවා සෝදාපාළු වීම ගැන කම්පා වන්නේ නැත. ගුරුවරයකු, මවුපියන් හෝ ආච්චිලා සීයලා වෛරසයට ගොදුරු වූ විටෙක දරුවන්ට සිදු වන සදාකාලික මානසික හානිය ගැන ඔවුන් කතා කරන්නේ නැත. එකට ජීවත් වීම, වැළඳ ගැනීම හා ක්‍රීඩාපිටිවල සෙල්ලම් කිරීම නීතිරීතිවලට පටහැනි බව දිනෙන් දින ඔවුන්ට පවසන විට එය ඔවුන්ට සමාජීය හා චිත්තවේගීය වශයෙන් බලපාන්නේ කෙසේ ද යන්න ගැන කතා කිරීමට ඔවුන්ගෙන් කිසිවකුත් සොයා ගැනීමට ද නොහැකි ය●

සුධීර ඉද්දමල්ගොඩ

Leave A Reply

Your email address will not be published.

4 × 5 =