මිහිකත හදවත දෙපළු කරන සිංහරාජයේ මහපාර

සිංහරාජය යනු ලෝක උරුමයකි. එය හරියටම තේරුම් ගන්නවා නම් එය ඇමේසන් වැසි වනය වැනි ය. අපේ වුවත්, ලෝකයාටම අයිති උරුමයකි. දැන් ඒ උරුමය මායිමේ ඇති ලංකාගම සිට දෙනියාය දක්වා සිංහරාජය මැදින් මාර්ගයක් ඉදිකරමින් තිබේ. ඒ හමුදාවේ මැදිහත් වීමෙනි. යුද හමුදාව විසින් දැනටමත් වනය වනසමින් මේ ලෝක උරුමය ප්‍රදේශයේ විශාල ගස් බිම හෙළමින් සිංහරාජ ප්‍රේරණ කලාපයට අතිවිශාල හානියක් සිදු කරමින් විශාල යන්ත්‍ර භාවිත කරමින් මෙම මාර්ගය ඉදි කරමින් තිබේ.

යුද හමුදාව විසින් අද වන විටත් නොනවත්වා ඉදි කරනු ලබන ලංකාගම-දෙනියාය මාර්ගය 2013 වර්ෂයේ දී ද ඉදි කිරීමට උත්සාහ ගත් මාර්ගයකි. ඒ වන විට මෙම මාර්ගය දෙනියාය දෙසට තව දුරටත් කැපෙන විට සිංහරාජ ලෝක උරුමයට දැඩි හානි පැමිණෙන නිසා 2013 නොවැම්බර් මස මෙම මාර්ගය සකස් කිරීම ආරම්භ කරන විට පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින් ඒ බව ලෝක උරුම පිළිබඳ යුනෙස්කෝ කාර්යාලයට දැනුම් දී තිබිණි. ඒ හේතුවෙන් විනාශය මේ දක්වා අහුරා දැමීමට හැකි විය.

ලෝක උරුමයක් ලෙසත්, මෙරට ඇති ප්‍රාථමික වනාන්තරයක් ලෙසත් නම් කළ සිංහරාජය හෙක්ටයාර 8,864ක මිනිස් උරුමයකි. මිනිසා සහ ජෛව ගෝල රක්ෂිතයක් ලෙස හඳුන්වනු ලබන මේ සංවේදී වනාන්තරය – සිංහරාජ වනාන්තරය – සතු  ජීව විද්‍යත්මක වටිනාකම හා දුර්ලභ වනගහණය නිසා යුනෙස්කෝ සංවිධානය එය ලෝක උරුමයක් බවට පත්කළේ 1988 වසරේදීයි.

එහෙත්, කොවිඞ් සමය ප්‍රයෝජනයට ගනිමින්, 2020 ජූලි 30 වන දින මෙම මාර්ගය ඉදි කිරීමට අවශ්‍ය උපදෙස් ආරක්ෂක අංශ වෙත ලබා දී තිබේ. ඉන් අනතුරුව මාර්ගය සැකසීමට අවශ්‍ය බර යන්ත්‍රසූත්‍ර ලංකාගම ප්‍රදේශයට ගෙනැවිත් දමන ලදී.

2013දී ලංකාගම පිහිටි සිංහරාජ ලෝක උරුම වනාන්තරය අසලින් වැටී ඇති පාරේ සිට කිලෝමීටර් එකක් පමණ යන විට වාහන ගමන් කළ හැකි මාර්ගය අවසන් වේ. එතැනින් ඔබ්බට මෙතෙක් තිබුණේ අඩි පාරකි. 2013 නෙවැම්බර් මස දී එම අඩි පාර තවත් පුළුල් කරමින් කිලෝමීටර් දෙකක පමණ මාර්ගයක් වනාන්තරය දෙසට කපා දමමින් සිටිය දී එය වළකා ගත්තේ පැවැති රජයට දැඩිව බලපෑම් කරමිනි.

දැන් අලු‍ත් ආණ්ඩුව යටතේ හමුදාව යොදාගෙන ලෝක උරුම කාර්යාලයේ තහනම ද නොතකමින්, අද වන විට යළිත් සිංහරාජය දෙපළු කරමින් තිබේ. ඒ ඉතාමත් ඉහළ පාරිසරික පද්ධතියක් හා ජෛව විවිධත්වයක් ඇති ලෝක උරුම සිංහරාජයට හා එහි ප්‍රේරණ කලාපයට යළි සකස් කළ නොහැකි හානියක් ගෙන දෙමිනි.

සිංහරාජය හරහා නොයෙක් අයුරින් පෙරදීත් අඩි පාරවල් භාවිතයට ගනිමින් ජනයා සිය ගමන් බිමන් ගිය බව ඇත්තකි. එහෙත් විධිමත් ප්‍රවාහණ පද්ධති සකස් වූ පසු ඒවා ද මැකී ගියේය. දැනටමත් දෙනියායේ සිට නෙළුව දෙසට යාමට කාපට් සහිත පුළුල් මාර්ගයක් තිබේ. එනිසා තවත් මාර්ගයක් සාමාන්‍ය ජනයාට අවශ්‍ය නොවේ. මෙම මාර්ගය ඉදි කරන්නේ 2013දී සැලසුම් කළ  හෝටල් ව්‍යාපෘතියක් සඳහා අවශ්‍ය පහසුකම් සලසා ගැනීමටය.

මෙවන් සංවේදී වන කලාපයක බර යන්ත්‍ර යොදමින් මාර්ගයක් තැනීම තබා ගසක්වත් බිම හෙළීමට ‘වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත’ අනුව කිසිදු ඉඩක් නොමැත. එහෙත්, සොයා බැලූ ආකාරයට ලද තොරතුරු අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අනුදැනුමකින් තොරව මෙම මාර්ගය ඉදි කිරීම සිදු කරගෙන යනු ලබයි.

එලෙසම සංවර්ධන කටයුත්තක දී අත්‍යවශ්‍ය වන පරිසර තක්සේරු වාර්තාව ද මේ පාරට අදාළ නොවී තිබේ. ඊට හේතුව වන්නේ ලෝක උරුම පරිසර පද්ධතියක් වැනසීමට අවසරයක් දීමේ හැකියාවක් ජාතික පාරිසරික පනත අනුව මධ්‍යම පරිසර අධිකාරියට නොමැති වීමයි.

එහෙත් නීතිය සඳහා ‘එක රටක් එක නීතියක්’ ගැන පොරොන්දු වූ ‘අලු‍ත් ආණ්ඩුව’ ඒවා පයිසයකට හෝ මායිම් නොකරමින් සිංහරාජය දෙපළු කරමින් සිටියි.

ලෝක උරුමයක් ලෙසත්, මෙරට ඇති ප්‍රාථමික වනාන්තරයක් ලෙසත් නම් කළ සිංහරාජය හෙක්ටයාර 8,864ක මිනිස් උරුමයකි. මිනිසා සහ ජෛව ගෝල රක්ෂිතයක් ලෙස හඳුන්වනු ලබන මේ සංවේදී වනාන්තරය – සිංහරාජ වනාන්තරය – සතු  ජීව විද්‍යත්මක වටිනාකම හා දුර්ලභ වනගහණය නිසා යුනෙස්කෝ සංවිධානය එය ලෝක උරුමයක් බවට පත්කළේ 1988 වසරේදීයි.

සිංහරාජය පරිවාර වනාන්තර ගණනාවකින් ද සමන්විතව මුළු බිම ලෙස හෙක්ටයාර් 11,187ක් පමණ වේ. උතුරින් නාපොළ දොළ හා කොස්ගුලන ගංගාවෙනුත්, දකුණින් මහදොළ ගිං ගංගාවෙනුත්, බටහිරින් කළුන්දාව ඇළ සහ පිටකැළේ ගංගාවෙනුත්, නැඟෙනහිරින් බ්රෂ්වුඞ් ප්‍රදේශයෙනුත් සමස්ත සිංහරාජය ආවරණය වී ඇත. මේ ලෝක උරුමය ගාල්ල, රත්නපුර, මාතර යන දිස්ත්‍රික්ක පුරා විහිදී පවතී.

මේ වනය නිවහන කර ගත් 5%කට වැඩි ආවේණික ක්ෂීරපායීහු සහ සමනල්ලු ජීවත් වෙති. 70%ක් පමණ ආවේණික ශාක විවිධත්වයක් සිංහරාජය සඟවා ගෙන තිබේ.

එතරම්ම සංවේදී ජෛව පද්ධතියක් පෝෂණය කරන සිංහරාජය 1970ට පෙර කොස්ගම පිහිටි තුනීලෑලි සමාගමට ප්‍රධාන ලෙස දැව සපයන සැපයුම්කරුවා විය. ලෝක උරුමයක් වූ පසුව එහි දැව කැපීම, ශාකවලට හානි කිරීම, සතුන් දඩයම් කිරීම හෝ සිංහරාජයට හානි වන කිසිදු ක්‍රියාවක් කිරීම තහනම් විය.

දැනටමත් පවත්නා ‘වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත’ අනුව එවන් ක්‍රියා සිදු කිරීම නීති විරෝධී ය. එසේ නීති විරෝධී ක්‍රියාවල නිරත වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට වනජීවී හා වන සංරක්ෂණ නිලධාරීන්ට හැකියාව තිබේ. එහෙත් එය එසේ නොවන බව ප්‍රකට කරුණකි. ආසන්නම උදාහරණයක් ලෙස පසුගිය 2018 ජුලි 18 වන දින රජවත්ත ප්‍රදේශයෙන් ඇල්ලූ දැව තොගය ද කිසිදු පරීක්ෂණයකින් තොරව පොලිසිය විසින් නිදහස් කරනු ලැබීම සඳහන් කළ හැකි ය. එයට රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනකු ද සම්බන්ධ වී තිබිණි. එසේම වනාන්තරය තුළ සිදු වන වල්ලපට්ටා කැපීම ද 2020 මේ වන විටත්  බහුලව සිදු වෙමින් පවතී.

පරිවාර වනාන්තර ගණනාවකින් යුත් සිංහරාජ වනාන්තරයේ එක් පරිවාර වනාන්තරයක් වන කුඩුමීරිය වැසි වනාන්තර කලාපයට මායිම්ව ඇති වනාන්තරය අද වන විට කිසිදු අවසරයකින් තොරව එළිකිරීම හා මහා පරිමාණ වල්ලපට්ටා ජාවාරම් සිදු වෙනවා මෙන්ම අධික විෂ රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් ගස් විනාශ කිරීම ද ආරම්භ කර ඇත. තෝරා ගත් වෘක්ෂ විදිමින්, ඒවා තුළට විෂ රසායනික ද්‍රව්‍ය ඇතුළු කරමින් මෙම මහා පරිමාණ වන විනාශය සිදු කරනු ලැබේ. මෙම ප්‍රදේශය ජල පෝෂක කලාපයක් වන අතර, විෂ රසායනික ජලයට එකතු වීම නිසා උල්පත් ජලය ද පරිභෝජනය කළ නොහැකි තත්ත්වයකට පත් වෙමින් පවතී. වල්ලපට්ටා වගා කරන මුවාවෙන් මෙම මහා පරිමාණ වන විනාශය සිදු කෙරේ. මෙම මහා පරිමාණ ජාවාරම පිළිබඳව පොලිසිය දැනුම්වත් කළ ද, කිසිදු නිලධාරියකු ඒ පිළිබඳව පරීක්ෂා කිරීමටවත් පැමිණ නැත. වගකිව යුතු සියලු‍ ආයතන අනුගමනය කරන්නේ ද නිහඬ පිළිවෙතකි. වනය වනසන්නන් එතරම් ම බලවත් ය.

මේ සියලු‍ නොපනත්කම් දරා සිටි සිංහරාජය දැන් දෙපළු වන්නේ පවත්නා ආණ්ඩුවේ පූර්ණ ආරක්ෂාව මැද ආරක්ෂක හමුදා අතින් වීම ‘ජාතික ආරක්ෂාව’ වෙනුවෙන් මොරගෑවුනට නොදැනෙන්නේ දේවාලයේ කපුවා ඒ බිම මත පැහැරුවාට කම් නැති නිසා දැයි අපි නොදනිමු.

කෙසේ වෙතත්, පසුගිය 18 වැනි දින අංක MH/GEN/2020/1 යුතු මාධ්‍ය නිවේදනය නිකුත් කරමින්, මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්, ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි පවසා සිටින්නේ, මෙම මාර්ගයේ සංවේදී පරිසර කලාපය තුළ පිහිටි කිලෝමීටර් 1.1ක කොටසේ කිසිදු ඉදි කිරීමක් සිදු කොට නොමැති බවයි. එලෙස ම ඉදිරියේ දී ද එහි ඉදි කිරීම් නොකරන බව ඔහු පවසයි. ඔහුගේ මාධ්‍ය නිවේදනය අනුව ගාල්ල, නෙළුව සිට කිලෝමීටර් 18ක පමණ දිගින් යුත් මෙම මාර්ගය සංවර්ධනය කර දෙන ලෙස ගම්වාසීන් විසින් ඉල්ලා තිබිණි. එහෙත්, පරිසරයට හානි වන පරිදි මෙම මාර්ගය තැනීම සිදු නොකරන ලෙස ජනාධිපතිවරයා විසින් වනජීවී සහ වන සම්පත් අමාත්‍යාවරයා වෙත උපදෙස් ලබා දී තිබේ●

ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්

Leave A Reply

Your email address will not be published.

19 − 5 =