සංස්කෘතික ජීවිතය සහ ස්වාභාවික ජීවිතය, පාලකයා සහ කොවිඞ් 19ට පෙර රතු වෙස් මුහුණු

රතු වෙස් මුහුණු’ ප්‍රියංකර රත්නායකගේ නවතම වේදිකා ප්‍රකාශනයයි. ලෝකප්‍රකට සම්භාව්‍ය ග්‍රීක නාට්‍ය රචක සොෆොක්ලීස්ගේ ‘ඊඩිපස් රජ’  නාට්‍යයේ සිරි එදිරිවීරගේ සිංහල පරිවර්තනය ආශ්‍රය කොට ගනිමින් අනුවර්තනයක් ලෙසට ‘රතු වෙස් මුහුණු’ නාට්‍යය ලාංකේය ප්‍රේක්ෂකාගාරය වෙත රැගෙන එයි. එහි මංගල දර්ශනය 2020 මාර්තු 05 සහ 06 දෙදින කොළඹ 07, ලයනල් වෙන්ඞ්ට් රංගශාලාවේ දී පවත්වන්නට යෙදිණි. කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගකලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකයේ ඉදිරිපත් කිරීමක් වන ‘රතු වෙස් මුහුණු’ නාට්‍යය සඳහා රංගනයෙන් ගිහාන් ප්‍රනාන්දු, නිරෝෂන් විජේසිංහ, සමාධි ලක්සිරි, උමයංගනා වික්‍රමසිංහ, මධුරංග ශ්‍රී ලාල්, ප්‍රේමරත්න තෙන්නකෝන්, නයෝමි ගුණසිරි සහ අසංක කෝදාගොඩ ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් ද, විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන් ද දායක වේ. ‘රතු වෙස් මුහුණු’ නාට්‍යය සඳහා සංගීත සංයෝජනයෙන් මිලින්ද තෙන්නකෝන් දායක වේ. මෙම ව්‍යායාමය ‘රතු වෙස් මුහුණු’ (එනම් ඊඩිපස්) නාට්‍යයේ තේමාවත්, ලෝකයම බියට පත් කරමින් පැතිරෙන කොවිඞ් 19 නව කොරෝනා වසංගතයේ ස්වභාවයත් විවරණය කරමින් සංස්කෘතිය, ස්වභාවධර්මය සහ මානව සබඳතා පිළිබඳ විමර්ශනයක යෙදීමටයි.

ඕනෑම මනුෂ්‍යයකු තම ජීවිත කාලය තුළ අඩු-වැඩි වශයෙන් ගැටුම් ත්‍රිත්වයකට මුහුණ දෙන බව බර්ට්‍රන්ඞ් රසල් පවසා සිටී.

1. තමා සමඟ

2. අනෙකා සමඟ

3. ස්වභාවධර්මය සමඟ

‘ඊඩිපස් රජ’ නාට්‍යයෙහි මෙකී ගැටුම් අවස්ථා ත්‍රිත්වයම අන්තර්ගත වී තිබීම එය විශිෂ්ට නාට්‍ය කෘතියක් ලෙස විද්වතුන්ගේ පිළිගැනීමට ලක් වීමට හේතු වී තිබේ. ඊඩිපස් රාජ්‍යත්වය දරන තීබ්ස් වාසීන් දරුණු වසංගතයකට මුහුණ දී සිටින මොහොතකින් නාට්‍යය ආරම්භ වේ.

“පූජක නායක – මා වැනි වූ සව්වෝ ද, සවිබලැති තරුණයෝ ද රටෙහි සෑම දෙවොලකම දෙවියන්ගේ උදහසින් මාතෘභූමිය මුදාගැන්මට බලිබිලි පවත්වති; දෙවි පිහිට අයදිති. දුබික්, රෝ, යක් බියෙන් මුළු නුවර පිරී ඇත. ඵල දැරූ මල් දැරූ සියලු ගහකොළ වඳව ගොස් ඇත. කිරි දෙනුන් ගැබ් මවුන් උන් සැණින් වඳව ගොස් ඇත. වසංගත පැතිර ඇත. නුවණින් අනෙක් සැම කෙනෙකුන් ම පරදවන ඔබතුමා ඉදිරියට වැසියනුත් සමඟ මා මේ පැමිණියේ මේ සියලු පැන විසඳවා ගැනීමටයි.”

මේ වන විට කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ගෝලීය මානව සමාජය මුහුණ දී ඇත්තේ ද, තීබස් සමාජය පත් වී තිබූ අර්බුදකාරී තත්ත්වයට සමාන තත්ත්වයකට ය- තීබසය එම අර්බුදයට ඇදවැටීමට හේතුව පූර්ව රජ වූ ලායුස් රජුගේ ඝාතකයා තවමත් නිදැල්ලේ රට තුළ හැසිරීමයි. ඊට දඬුවම ලෙසට දෙවියන් සිදු කළ දේව ශාපයයි.

තමන්ට අනෙක් ජීවීන්ට වඩා බලසම්පන්න හැකියාවන් සහිත බවට මිනිසා විශ්වාස කරයි. ජනතාව පාලකයා පිළිබඳව විශ්වාස කරති. ජනතාව පාලකයා පිළිබඳව විශ්වාස තබන්නේ මේ හේතුවෙනි. තමන් වෙනුවෙන් සේවය කරන නියෝජිතයා ලෙසට ජනතාව තමා සතු පරමාධිපත්‍ය බලය ලබා දී පාලකයාව බලවතකු බවට පත් කොට තිබේ. වර්තමානයේ සෑම රාජ්‍ය නායකයකු ම සතුව ඒ ඒ ආණ්ඩුක්‍රම ප්‍රකාරව ජනතා බලය හිමි වී ඇත.

“ක්‍රයෝන් – දෙවියන්ගේ ශාපයට මුල් කරුණක් රජුගේ මරණයයි. ඔහුගේ දිවි තුරන් කළ මිනීමරුවන් වෙතින් හැකි අයුරු පළිගැනීම දෙවියන් විසින් අපට දුන් අවවාදයයි.”

මනුෂ්‍ය ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක් වන මනුෂ්‍ය ඝාතනයක් හේතුවෙන් දඬුවම පමුණුවනු ලැබ ඇත්තේ දෙවියන් විසිනි. මිනිසාට දඬුවම් පැමිණ වීමට දෙවියන්ට ඇති හැකියාව කුමක් ද? මනුෂ්‍ය සමාජය සමඟ ගනුදෙනු කරනු ලබන දෙවියන් යනු කවුරුන් ද? කොවිඞ් 19 ද දෙවියන් විසින් මිනිසාට දුන් දඬුවමක් ද? දෙවියන් යනු මිනිසුන් මෙන් ම ස්වාභාවික ලෝකයේ ජීවත් වන ජීවීන් කොටසක් ද? දෙවියන් වාස්තවික පැවැත්මක් ද? නැතිනම් මනෝමූලික පැවැත්මක් ද?

දේව සංකල්ප පිළිබඳ ඵෙතිහාසික සහ නූතන මතවාද

දේව සංකල්පය පිළිබඳ පැරණිම සාක්ෂි හමුවන්නේ මිසර ශිෂ්ටාචාරයේ හිරු දෙවියන් ඇදහීම සම්බන්ධයෙනි. එමෙන්ම ‘රා’ නමින් දේව සංකල්පයක් ද මිසරයේ පැවත තිබේ. ඇතැම් උගතුන්ගේ මතය වන්නේ මොහෙන්ජදාරෝ සහ හරප්පා සංස්කෘතියේ පැවති ශිව දේව ඇදහීම පැරණිම දේව සංකල්පය බවයි. ලතින් භාෂාවෙන් ව්‍යුත්පන්න වූ භාෂාවල දෙවියන් යන්න හැඳින්වෙන්නේ ඬේයුස් :ෘැමි* හා ඩිවුස් :ෘසඩ්ි* යන්නෙන් බිඳුණු වචනවලිනි. පැහැදිලිවම ඒ වචන හා ‘දේව’ යන වචනය අතර සමාන බවක් වෙයි. ඒ සියල්ල ඉන්දු යුරෝපීය ප්‍රකාශනයක ඩෙයිවෝස් :ෘැසඅදි* යන්නෙන් බිඳී ඇතැයි ඇතැම් උගත්තු පවසති. ඩෙයිවෝස් යන්න ඩිවයින් :ෘසඩසබැ* එනම් ‘දිව්‍යමය’ යන අරුත සමඟ බැඳෙයි. ග්‍රීක සංස්කෘතියේ මහා දෙවියා ලෙස හඳුන්වන සියුස් :’ැමි* යන ග්‍රීක වචනය ද ඬේයුස් යන වචනය සමඟ බැඳී ඇත.

දේව සංකල්පය පිළිබඳ සිග්මන් ෆ්‍රොයිඞ් ප්‍රමුඛ නූතන මනෝ විශ්ලේෂණවාදීන්ගේ අදහස වන්නේ ලිංග රූප අවධියේ පසුවන දරුවා තුළ ඇති වන දෙමාපියන් කෙරෙහි ඇති කර ගන්නා බියමුසු ගෞරවය ළමයා වැඩි වියට පත් වීමේ දී දෙවියන් වෙත විතැන් වන බවයි.

මානව විද්‍යාවේ පියා වන ටයිලර් දේව සංකල්පය පිළිබඳව පැහැදිලි කිරීමට ආගමේ පරිණාමීය අවධි 03ක් පෙන්වා දෙයි.

1. ප්‍රාණවාදය හෙවත් සර්වෝත්තමවාදය

2. බහු දේවවාදය

3. ඒක දේවවාදය

මුල් අවධියට අනුව ප්‍රාථමික ජනයා සජීවී හා අජීවී ඕනෑම වස්තුවකට දේවත්වය ආරෝපණය කළෝ ය. භෞතික රූපය හැරුණු විට ආත්මයක් ද පවතින බව විශ්වාස කළෝ ය. දෙවන අවධිය වන විට සමාජ අවශ්‍යතා අනුව අදහන දෙවියන් වර්ග කොට විවිධ විෂයයන්ට බෙදා වන්දනාමාන කරන ලදී. එමඟින් බහු දේවවාදය බිහි විය. එය සමාජ විකාශනයත් සමඟ ඒක දේවවාදයක් බවට තෙවන අවධිය වන විට පරිවර්තනය විය. ඊඩිපස් රජ නාට්‍යය ලියවෙන ග්‍රීක සංස්කෘතික සමාජය තුළ බහු දේවවාදයක් පවතියි. සියුස් දෙවියන් ප්‍රමුඛ 12 දෙනකුගෙන් යුතු දේව මණ්ඩලයක් විය. විවිධ සමාජයීය අවශ්‍යතා මත එම දේව මණ්ඩලය සකස් වී තිබිණි.

මෙම වර්ගීකරණය දෙස අවධානය යොමු කිරීමේ දී එය වර්තමාන ආණ්ඩුවක අමාත්‍යවරුන්ට තම අමාත්‍යංශයට අදාළ විෂය බෙදා දීමකට සම වන්නේ යැයි හැඟේ. ක්‍රි.පූ. 09 වන සියවසේ රචනා කරන ලදැයි විශ්වාස කෙරෙන අන්ධ හෝමෝර් කවියාගේ ‘ඉලියඞ්’ හා ‘ඔඩිසි’ වීර කාව්‍ය ද්විත්වයේ ඔලිම්පියානු දේව මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය සහ ඔවුන් මිනිස් සමාජය සමඟ පැවැත් වූ සම්බන්ධතාව පිළිබඳ සාහිත්‍යමය විග්‍රහයක් ඉදිරිපත් කර සිටියි. ග්‍රීක මානවයා, සංස්කෘතික භාවිතය මඟින් තම දෛනික අවශ්‍යතා සහ පොදු මානව අවශ්‍යතා ඉටු කර ගැනීම උදෙසා භෞතිකව අවබෝධ කර ගත නොහැකි ස්වභාවධර්මය අධිමානුෂීය බලවේගයක් ලෙසට දේවත්වයට පරිවර්තනය කොට තිබේ. තීබස් ජනයාගේ සංස්කෘතික කියවා ගැනීම අනුව තමන්ට දඬුවම ලබා දී තිබෙන්නේ දෙවියන් විසින් ම ය.

මනුෂයාගේ සංස්කෘතික ජීවිතය ස්වභාව ධර්මය සහ කොවිඞ්

කොවිඞ් 19 වසංගතය දේව කෝපයක් ද? නූතන විද්‍යාවට දේව සංකල්පය විද්‍යාත්මකව පැහැදිලි කර ගැනීමට තවම හැකියාව ලැබී නැත. මානව විශ්වාසයන් පදනම්ව ගොඩනැඟුණු දේව සංකල්පය ඒ ඒ ජන සමාජයේ සංස්කෘතික භාවිතය මත පදනම් වේ. ඒ සඳහා මිනිසාගේ සංස්කෘතික ජීවිතය සහ ස්වභාවධර්මය අතර ඇති සම්බන්ධතාව වටහා ගැනීම වැදගත් වේ.

සංස්කෘතිය යනු කුමක් ද? සංස්කෘතිය යන්න කුමක් ද යන්න පිළිබඳව විමසීමේ දී එයට ලබා දී ඇති නිර්වචන විශාල ප්‍රමාණයක් හමු වේ. ඒ අතුරින් තෝරා ගත් නිර්වචන කිහිපයක් විමර්ශනය කර බලමු. ටෙයිලර් නම් දාර්ශනිකයාගේ අදහස වන්නේ “සංස්කෘතිය යනු කලාව, ආචාර විධි, නීතීන්, චාරිත්‍ර සහ අනෙකුත් ශක්‍යතාවන්/හැකියාවන් හා පුරුදුයි.” රැල්ෆ් ලින්ටන්ට අනුව සංස්කෘතිය යනු සමාජයීය ප්‍රවේණියකි. නැත්නම් එක් පරම්පරාවක් අත් කර ගත් සමාජීය ගතිලක්ෂණ, ගුණාංග පසු පරම්පරාව වෙත ගෙන යාම හෝ දායාද කිරීමයි. ලොවිස් :ඛදඅසි* සංස්කෘතිය යන්න පැහැදිලි කරන්නේ “සංස්කෘතිය යනු සමාජීය සම්ප්‍රදායයන්ගේ සමස්තය” යන්නයි.

සතුන්ගෙන් වෙනස් වන මිනිසා සතු වන නිර්මාණාත්මක හැකියාව නිසාවෙන් ස්වභාව ධර්මය වෙනස් කිරීමේ හැකියාව පවතියි. එම වෙනස් කිරීමේ ප්‍රතිඵලය සංස්කෘතික ජීවිතයක් ගොඩනඟා ගැනීමයි. එය අඩු-වැඩි වශයෙන් ස්වභාව ධර්මයට අනුගත වූ ක්‍රියාවලියක් ද වේ. මිනිසා සතු භාෂා හැකියාව, දෑත්වල ක්‍රියාකාරීත්වය සහ චින්තන හැකියාව හේතුවෙන් මිනිසා සංස්කෘතික ජීවියකු බවට පත් වී ඇත. රෙනේ ඬේකාර්ට් පැවසූ ලෙස “මම හිතමි. ඒ නිසා මම පවතිමි.”

මිනිසාගේ සියලු ම ක්‍රියාවන් සංස්කෘතික පර්යායකි (Cultural Code). සංස්කෘතික නොවන කිසිදු ක්‍රියාවක් මිනිසා සතු නොවේ. කිසිම දේශපාලනික ව්‍යාපෘතියකට හැකියාව නැහැ මිනිසාව ස්වාභාවික තත්ත්වයෙන් (ලෝකයෙන්) ඉහළට ඔසවා තැබීමට. එම නිසා මිනිසාට සිය සංස්කෘතික ක්‍රියාකාරකම් හේතුවෙන් තමන් පවත්වාගෙන යනු ලබන පරිසරය විනාශ කළ හැකි ය. නමුත්, පෘථිවිය විනාශ කළ නොහැකි ය. යම් දිනෙක පෘථිවිය විසින් මිනිසාව විනාශ කරනු ඇත. සංස්කෘතිය මිනිසා සහ ස්වභාව ධර්මය අතර ඇති අර්බුදය පෘථිවියේ පැවැත්ම ඇති තාක් පවතියි.

පාලකයා රාජ්‍ය තන්ත්‍රය ඊඩිපස් රජ සහ කොවිඞ්

ඊඩිපස් නාට්‍යයේ තීබස් වැසියන්ට පැමිණි වසංගතය ඔවුන්ගේ සංස්කෘතික අර්ථකථන අනුව දේව දඬුවමකි. දෙවියන් තමන්ට ඉහළින් පවතින ස්වභාවධර්මයේ ධර්මතාවන්ට ලබා දුන් අධිමානුෂීය මනෝමූලික පැවැත්මකි. වසංගතය සොබාදහම මිනිසාට දුන් දඬුවමකි. එය පරාජය කිරීම උදෙසා එනම්, දෙවියන් පිනවීම පිණිස දෙවි පිහිට අයදිමින්, විවිධ බලිබිලි පවත්වමින් බොහෝ ආගමික ක්‍රියාකාරකම් සිදු කළත්, ඉන් ඵලයක් නොලැබේ. ලායුස් රජුව ඝාතනය කිරීම සහ එකී ඝාතකයා නිදැල්ලේ සිටීම තීබස් වැසියන්ට සොබාදහමට එරෙහි වීම නිසා ලැබුණු දඬුවමයි. වසංගතයට දරුණු ලෙස මුහුණ දී සිටින්නේ සාමාන්‍ය ජනතාවයි. නමුත්, ඝාතනයට ඍජුව ඔවුන්ගේ සම්බන්ධයක් නොමැත. එසේ නම්, ඔවුන් ඊට වගකිව යුත්තේ ඇයි?

වැරදිකරු ඊඩිපස් රජු ය. නමුත් ජනතාව වක්‍රව ඊට සම්බන්ධ වන්නේ ඔවුන් විසින් නියෝජනය කරනු ලබන පවත්වාගෙන යනු ලබන නඩත්තු කරනු ලබන සංස්කෘතික ජීවිතයේ නායකයා ‘රජු’ ය.

කොවිඞ් 19 වසංගතයට මේ වන විට රටවල් 200කට ආසන්න ප්‍රමාණයක ජීවත් වන ජනතාව ගොදුරු වෙමින් සිටිති. ලෝ වැසි සෑම මනුෂ්‍යයකුම ස්වභාව ධර්මයේ දඬුවමට වගකිව යුතු ද? වසංගතය ආරම්භ වූයේ චීනයේ වූහාන්වල ය. ගෝලීයකරණයත් සමඟ තවදුරටත් භූගෝලීය සාධක පදනම්ව රාජ්‍යන්හි දේශසීමාවන්ට කොටු වූ සංස්කෘතික පැවැත්මක් මිනිසාට නොමැත. ගෝලීය වෙළෙඳාම, ගෝලීය ජන ව්‍යාප්තිය, ගෝලීය තාක්ෂණය ආදිය හේතුවෙන් මිනිසාට හුදෙකලා පැවැත්මක් නොමැත. මිනිසෙක් එක් රටකින් තවත් රටකට රෝග වාහකයකු ලෙස පැමිණීම රෝග ව්‍යාප්තියට හේතු වී ඇත. සෑම රටකම ජන කොටස් තම සංස්කෘතික සාධක අනුව රෝගයෙන් ගැලවීමට විවිධ උපක්‍රම තෝරමින් සිටිති. ශ්‍රී ලාංකීය ජනයා තම ආගමික විශ්වාස මත ගම්මඩු, දෙවොල් මඩු වැනි ශාන්තිකර්ම පැවැත්වීම, බෞද්ධ ආගමික ඇදහිලි මත බෝධි පූජා පැවැත්වීම, පිරිත් දේශනා පැවැත්වීම වැනි බොහෝ ආගමික කටයුතු සිදු කරති. අනෙක් ආගම් අදහන්නෝ ද ඒ ඒ ආගමික විශ්වාස මත බොහෝ දේ කරන්නට වූහ. ඇතැම් ඉන්දියානු ජනයා තම ආගමික විශ්වාස මත ගව මුත්‍රා පානයට පෙළඹිණි. තම සංස්කෘතියට අනුකූලව විවිධ බෙහෙත් වර්ග, ආහාර වර්ග භාවිතයට පෙළඹීම බහුලව දක්නට විය. තමන්ට හැකි පමණින් ක්‍රියාමාර්ග ගැනීමෙන් පසු පිළිසරණක් නොවන තැන ජනයා පාලකයාගේ පිහිට සොයා පැමිණෙති.

“පූජක නායකයා – නුවණින් අනෙක් හැම කෙනෙකුන් ම පරදවන ඔබතුමා ඉදිරියට වැසියනුත් සමඟ මා මේ පැමිණියේ මේ සියලු පැන විසඳවා ගැනීමටයි. වරක් ඔබතුමාගේ නුවණෙහි බල මහිමයෙන් සියලු පැන විසඳා මහත් වූ විපතකින් අප මුදාගෙන අපට සැනසුම ළඟා කර දුන් ඔබ අපේ දිවමන් වූ දෙවියෙකි. දෑ හිතැති රජතුමනි, ඔබේ දෙපාමුල වැටී යැද සිටින අප වෙතට සෙත ළඟා කර දෙන්න. ප්‍රබල දෙවි කෙනකු හෝ එබඳු අන් කෙනකුගේ පිහිට අප සැම දෙනා හට ලැබ ගන්න සලසන්න. ක්‍රියාවෙන් මිනිසා සියලු බල පරදවයි. උතුම් වූ ඊඩිපස්, රට නැසෙන්නට නොදී වරක් ඔබ ගොඩගත් වළේ නැවතත් අපි වැටෙන්නට පළමු අප රැකගන්න.”

තමන්ට අනෙක් ජීවීන්ට වඩා බලසම්පන්න හැකියාවන් සහිත බවට මිනිසා විශ්වාස කරයි. ජනතාව පාලකයා පිළිබඳව විශ්වාස කරති. ජනතාව පාලකයා පිළිබඳව විශ්වාස තබන්නේ මේ හේතුවෙනි. තමන් වෙනුවෙන් සේවය කරන නියෝජිතයා ලෙසට ජනතාව තමා සතු පරමාධිපත්‍ය බලය ලබා දී පාලකයාව බලවතකු බවට පත් කොට තිබේ. වර්තමානයේ සෑම රාජ්‍ය නායකයකු ම සතුව ඒ ඒ ආණ්ඩුක්‍රම ප්‍රකාරව ජනතා බලය හිමි වී ඇත.

“ඔබ මෙරට රජ කරයි. අප සැවොම මිය ගියහොත් ඔබ හට රාජ්‍යයක් නැත. මුඩු බිමක රජකමෙන් ඔබට ඇති ඵලය කුමක් ද?”

අරාජික රාජ්‍යයකින් ජනතාවට හෝ ජනතාවක් නොමැති මුඩු බිමකින් රජකුට ද ඇති ඵලයක් නොමැත. ජනතාවගේ සේවය වෙනුවෙන් කැපවීම තම වගකීම් නිසි ආකාරයෙන් ඉටු කිරීම රාජ්‍ය නායකයා සතු වගකීමක් වේ.

මහාචාර්ය අස්ගර් වජාහත් තම ‘ගොඞ්සේ@ගාන්ධී,com’ නාට්‍යයේ ගාන්ධිගේ මුවට නංවා ඇති දෙබසක මෙසේ සඳහන් කරයි. “ගාන්ධි – ආණ්ඩුව පාලනය කරනවා ජවාහර්- සේවයක් ඉටු කරන්නේ නෑ- ආණ්ඩුව කියන්නේ බලයේ සංකේතය- බලය කරන්නෙ තමන්ට සේවය කර ගැනීමයි”

නායකයකු සහ පාලකයකු අතර වෙනස මෙම දෙබස මඟින් හෙළිදරවු කරයි- තීබස් වැසියන්ට නායකත්වය ලබා දෙන ඊඩිපස් නායකයකුගේ ගති ලක්ෂණ ප්‍රකට කරයි.

නාට්‍යයට අනුව ඊඩිපස් සිය ඉරණම් ප්‍රකාරව පියා මරා මව සමඟ විවාහ වී දරුවන් ද ලබා අවසානයේ ශාපලත් පව්කාරයකු ලෙස තම දෑස අඳ කර ගනිමින් තමන් කළ වරදට තමාගේ සියතින් ම දඬුවම් ලබා දේ- ඊඩිපස් ගොදුරු වන ඉරණම යනු ස්වභාව දහමේ නීතියයි. එය වෙනස් කිරීමට ඊඩිපස් කුඩා කාලයේ පියා වන ලායුස් රජ සහ මව වන යොකෙස්ට්‍රා  උත්සාහ ගත්ත ද, අවසන සියල්ල ඉරණම් ප්‍රකාරව සිදු වේ. සොබාදහමත්, මිනිසාගේ සංස්කෘතික ජීවිතයත් පිළිබඳ මනා ලෙස වැටහීමක් ඇති තයිරේසියස් පැමිණ උපදෙස් ලබා දුන්න ද, එය පිළිගැනීමට ඊඩිපස්ගේ උද්දච්ච ගතිය ඉඩ ලබා නොදේ.

“තයිරේසියස් – අප කිසිවෙකුටවත් තවත් අයකුගේ ඉරණම වෙනස් කළ නොහැකියි. අපගේ ම ක්‍රියාවන් අපගේ ඉරණම වෙත අපව කැඳවාගෙන යනු ඇත.”

අපි සොබාදහමට අනුකූලව කරන ක්‍රියා යහපත් ප්‍රතිඵල අපට අත්කර දෙනු නියත ය. නාට්‍යය තුළ නායකයකු සතු යහපත් ක්‍රියාකාරීත්වයක් ඊඩිපස් පෙන්නුම් කරයි. නාට්‍යය විකාශනයේ දී අරමුණ තමා කවුරුන් ද යන්න සොයාබැලීම හා බැඳී පැවතිය ද, අවසානයේ ඔහු තීබස් වැසියන්ට ලබා දුන් පොරොන්දු ප්‍රකාරව වසංගතයට හේතු වූ ඝාතකයා සොයා ගනියි. ඊඩිපස් රාජ්‍ය නායකයන්ට ආදර්ශ නායකත්ව ගතිගුණ ප්‍රකට කරයි. නායකයා කොන්දේසි විරහිතව ජනතාවාදී පාලනයක් උදෙසා කැප විය යුතුම ය.

කොවිඞ් 19 පරාජය කිරීමට ලොව සෑම රටකම නායකයෝ මේ වන විට විවිධ උපක්‍රම සොයමින් සිටිති. එය වසංගතය පරාජය කිරීම සඳහා ම විය යුතුම ය. එහි දේශපාලනික උප්පරවැට්ටි නොතිබිය යුතුම ය.

මිනිසාට ස්වභාව ධර්මය විනාශ කළ නොහැකි ය. ස්වභාව ධර්මය මිනිසාව විනාශ කරනු ඇත ■

සංජීව ගුණරත්න

Leave A Reply

Your email address will not be published.

13 + fourteen =