ආයුබොවන්ඩ රනිල්,

ඉස්සර දවස්වල දියවන්නාව පිසගෙන එන හීතල හුළං පාරක පහස විඳ විඳ රාජ සබාවෙ සනීප පුටුවක දිග ඇදිලා මුන්නැහැ අලස සුවයෙන් මත් වෙලා උන්නු හැටි මේ දැනුත් අපිට මැවිල පේනවා. උන්හිටි ගමන් නින්දෙන් අවදි වෙලා පුරාණ කාලෙ රජ සබාවට විහි`ඵ සපයපු රාජකීය කවටයන්වත් පරද්දන තරමේ මාර ජෝක්ස් රඟදක්වපු විදිහත් අපිට කවදාවත් අමතක වෙන්නෙ නැහැ.

ඒ විතරක් නෙමේ ආයිබොවන්ඩ., බැඳුන්කර මගෝඩිය වගේ පුරස්නයක් සබාවෙ මතු වුණ වෙලාවට කෝට් බෑයේ සාක්කුවලට අත් දෙක ඔබාගෙන හොඳට දන්න ඉංගිරිසියි බාගෙට දන්න හිංගලයි කලවන් කරලා දීපු අපරබංස ටෝක්වලින් විපක්සෙයි ආණ්ඩු පක්සෙයි දෙකේම ඇත්තො අන්ද-මන්ද කොරපු ආකාරයත් මාරයි.

අවුරුදු තිස් ගාණක් තිස්සෙ තමුන්නැහැ රාජ සබාවෙදි මවාපාපු සෙප්පඩ විජ්ජා මැජික් ඔස්තාර් කෙනෙකුටවත් ලේසියෙන් පහසුවෙන් කොරන්න පු`ඵවන් කෙළි නෙවේ කියන එක මේ ටික දොහටත් කාට කාටත් තේරුන් ගිහිල්ලයි තියෙන්නෙ. හෙව් කෙරුවාවක් කොරපු මුන්නැහැ වගේ තෙම්පරාදු පොරක් දියවන්නා මන්දිරේට අහිමි වුණ එකනං මොන විදිහකින්වත් දරාගන්ඩ අමාරුයි රනිල්. ඇත්තම කියනවා නං ඔහේගෙන් තොර රාජ සබාවත් හරිහමන් බයිට්ටෙකක් නැති බාර් එකක් වගේය කියලයි සොමියට අඩියක් පුඩියක් ගහන ඇත්තොනං දැන් කියන්නෙ.

මුන්නැහැ වගේ තුරුම්පු කප්පිත්තෙක් ආයෙමත් මේ සම්මතේට රාජ සබාවට තියා සකල ලෝකෙටම පහළ වෙන එකක් නැහැ ආයිබොවන්ඩ. කොටින්ම කියනවානං දියවන්නාවෙ ඉන්න ගෙඹිරාලලා පාවා ඔහේට සිද්ද වෙච්චි අලකලංචිය ගැන කම්පා වෙනව කියල ආරංචියි. රාජපක්ස උන්නැහැ ජනාදිපති පුටුවෙන් කොන්ඩෑරුං ගැහුවට පස්සෙත්  විලි ලැජ්ජාව සාටකෙන් වහගෙන කුරුණෑගලින් මන්තිරි කට්ටක් ඩැහැ ගත්ත වගේ මුන්නැහැටත් දැන් ඉතිං කොරන්ඩ තියෙන නුවණක්කාරම වැඬේ තමා ඔය ළඟදිම එනවය කියන පළාත් සබා ඡන්දෙන්වත් ගොඩ යන එක. මොකද එහෙම කොර ගත්තොත් පළාත් ජාතික ආණ්ඩුවක් පිහිටුවලා හරි රාජපක්සලත් එක්ක තිබුණ පරණ ඩීල් ටික අලුත් කොරගන්න පොටක් පාදාගන්ඩ ඇහැකි නෙ.

පහුණු ඡන්දෙන් අර ටැලිපෝන් කල්ලියට අලි රාලහාමිව හතර ගාතෙන් වට්ටන්ඩ පු`ඵවන් වුණත් අඩු ගාණෙ සිරිකොත මන්දිරේවත් බේරුණේ  රනිල්ගෙ ටිකිරි මොළේට පින්සිද්ද වෙන්ඩ බව නායකත්ව පුටුවට කෙළ හලන හාදයන්ට මතක් කොරල දෙන්ඩ වටිනා කාරණයක්. ඒ වගේම ආයිබොවන්ඩ, පක්සයේ අසහාය නායකයා හැටියට හැම අබියෝගෙටම මුහුණ දෙන්ඩ තමුන්නැහැට තිබුණ දහිරිය හා බුද්දිය නොවන්ඩ මෙදා පාර වැටිච්ච වැටිල්ලට තුරුම්පු දේසපාලනේ ගැන මෙලෝ හසරක් නොදන්න හුරතලෙක් නායක පුටුවෙ උන්නනං මක්ක වෙයිද කියල දන්නෙ උඩ ඉන්න දෙයියො විතරයි නේද?

අලියගෙ නගුටවත් රැකගෙන හරි මුන්නැහැ ආරක්සා කරගත්තු ඔය ගාම්බීර පක්සයේ නායකකොම කොහෙවත් යන රස්තියාදුකාරයෙකුට එහෙමනං දෙන්ඩ එපා මහානායකතුමනි. කෙහෙල්වත්තේ සජිය වගේ හයිරන්කාරයෙකුටවත් බය නොවුණ තමුන්නැහැ ඔය නවින්ලා, වජිරලා, රවීලා, අකිලලා වගේ හාල් කෑලිවලට සෙකන්ඞ් නොවන බව රටම දන්නවා. අනිත් එක, අසනීප ගතිය, වයස්ගතකොම වගේ කිසිම බාදකයක් තුට්ටුවකටවත් මායිං නොකර මහින්ද මහ රජ්ජුරුවො නාමල් කුමරුන්ට මඟක් තනා දෙන්ඩ මේ තරං වෙහෙසෙද්දි අලියට හෙණ ගහල ගියත්, මුන්නහැලගෙ පරම්පරාව අරං යන්ඩ ඉතුරු වෙලා ඉන්න රුවන් කුමරුන්ට ඇර වෙන අපතයෙකුට නං නායක පුටුව දෙන්ඩ එපා සෑර්…?●

විශ්වමිත්‍ර

Leave A Reply

Your email address will not be published.

20 − nineteen =