ජාතික ක්‍රීඩා සභාවට මහේල මාස 3 ක් නෑ – IPL වෙනුවෙන් ඩුබායි යයි

මෙවර ඩුබායි හි පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය (IPL) ට සහභාගී වීමට පසුගියදා පත් කළ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මෙන්ම හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ඊයේ (21) එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබේ.

අඛණ්ඩව සිවුවැනි වරටත් මහේල මෙවර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.
ගියවර IPL කුසලානය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ජයග්‍රහණය කෙළේය.
ඩුබායි හි පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය (IPL) සැප්තැම්බර් 19 වැනිදා ආරම්භ වන අතර නොවැම්බර් 08 වැනිදා අවසන් වේ.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් පසුගිය 20 දා මහේල ජයවර්ධන ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස පත් කළේය. එහෙත් IPLහේතුවෙන් ලබන නොවැම්බර් 08 වැනිදා දක්වා මාස තුනකට වැඩි කාලයක් මහේලට එම සභාවේ කටයුතු සඳහා සෘජුව දායක නොවන බවද වාර්තා වේ.
මේ අතර, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකයා ලෙස කටයුතු කරන මුත්තයියා මුරලිදරන් සැප්තැම්බර් 04 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්වීමට නියමිතයි.

Leave A Reply

Your email address will not be published.

15 + one =