ගුඩ්බායි MSD

දවස දෙදාස් එකොළහේ අප්‍රේල් දෙවෙනිදා. තැන වෙන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඉන්දියාව. ඔව්! මේ දවස මේ තැන කියද්දී අපට මෙන් ම ඔබටත් ඒ තරඟය මතකයට නැගෙනවා ඇති. ඒ තමයි දෙදාස් එකොළහ එක්දින ලෝක කුසලාන අවසාන තරඟය.
ලාංකීය ක්‍රීඩා ප්‍රේක්ෂයකයන් ජයග්‍රාහී බලාපොරොත්තු සහගතව තිරයක් ඉදිරියේ හිටිය දවසක්. එත් ඒ හැමදේම අනිත් අත පෙරලන්න, අනිත් ඇත පෙරලෙන්න ගත වුනේ ඉන්දීය කඩුලු තුනක් විතරයි. ලෝක ශුරයෝ වෙන්න ලකුණු දෙසිය හැත්ත පහක ඉලක්කයක් තියෙද්දී හතරවන කඩුල්ලට පිටියට පිවිසෙන පිතිකරුවා ආයෙම ක්‍රීඩාගාරය ට යන්නේ නොදැවුණු ලකුණු අනු එකක් එක්ක ම විතරක් නෙවෙයි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දෙදහස් එකොළහ ලෝක ශුරයන් බව ට පත් කරලා. ඉතින් ඒ තමයි ඔබ අප කව්රුත් දන්න කියන එම.එස් දෝණි.
එක්දාස් නවසිය අසූ එකේ ජුලි හත්වෙනිදා ඉන්දියවේ බිහාර්වල තමයි දෝණි ඉපදෙන්නෙ. ඉන්දීය ජාතික කණ්ඩායම ට අමතරව චෙන්නායි සුපර් කින්ස්, රයිසින් පුනේ සුපර් ජයන්ට්ස්, ඉන්දියා ඒ වගේ කණ්ඩායම් නියෝජනය කරන්න දෝණි ට හැකියාව ලැබුණා.දෙදාස් හතර අවුරුද්දේ බංග්ලාදේශය සමග පැවතිච්ච තරගෙකදී එක්දින වරම් හිමි කරගන්න ඔහු පසුව දෙදාස් පහ අවුරුද්දේ චෙන්නායි වලදී ඉන්දීය ටෙස්ට් වරම් හිමි කරගන්නවා . ඒ ශ්‍රී ලංකාව සමග පැවති තරගයකදි. ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා විදියට වසර ගණනාවක් කටයුතු කරපු දෝණි එක්දින තරඟ තුන්සිය පනහකදී ස්ටම්ප් කිරීම් එකසිය විසිතුනක් ලබාගෙන තියෙන්නේ උඩපන්දු තුන්සිය විසි එකක් ද රැක ගනිමින්.
ටෙස්ට් තරඟ අනුවකදී ස්ටම්ප් කිරීම් තිස් අටක් , උඩ පන්දු දෙසිය පනස්හයක් සමග දවාලීම් දෙසිය අනුහතරක ට ඔහුගේ දායකත්වය හිමිවෙලා තියෙනවා. කඩුල්ල පිටුපස මෙන්ම ඉදිරිපස හිඳ ද දක්ෂතා පෙන්නපු දෝණි එක්දින ලකුණු දස දහස පසු කරේ පනහ ඉක්මවූ සාමාන්‍යක් පවත්වාගනිමින්. ඔහු ටෙස්ට් තරඟ අනුවකදී ඉනිම එකසිය හතලිස් හතරකදි ලකුණු හාරදාස් අටසිය හැත්ත හතරක් රැස් කරගනිනිද්දී ඒ අතරට ශතක හයක්, අර්ධ ශතක තිස් තුනක් ද ඇතුලත් වුණා.
පුද්ගලයෙක් විදියට දෝණිගේ ජිවිත කතාව එහෙම නැත්නම් දෝණි කියන ක්‍රීඩකයා ජාත්‍යන්තර මට්ටම ට එනකන් නිර්මාණය වුණු මාර්ගය ඔහුට ආදරය කරන අප සැම ට M.S Dhoni – The untold story හරහා දැකගන්න කියවගන්න ලැබුණා යැයි අප හිතනවා. ඉතින් ඔහුගේ ඒ කතාව එහෙමම තිබියදි එම්. එස් දෝණි ගේ සමුගැනීම අපට දැනෙන, හැඟෙන විදිය ක්‍රීඩාදරණිය ඔබ සමග බෙදා ගන්නට හිතුවා.

– ක්‍රීඩකයෙක්ගෙන් එහා ගිය නායකයෙක් –

බොහෝ විට පාසල් මට්ටමේ සිට කණ්ඩායම් ක්‍රීඩා තුල සිද්ද වෙන දෙයක් තමයි දක්ෂතම ක්‍රීඩකයා නායකයා වෙන එක. සරලවම ක්‍රිකට් ක්‍රීඩාවේ කණ්ඩායමේ ඉන්න හොඳම පිතිකරුවා කණ්ඩායම් නායකයා වෙනවා. මෙහෙම නොවෙන අවස්ථා නැතුවම නෙවේ. කොහොම උනත් කණ්ඩායමක ඉන්න හොඳම පිතිකරුවත්, හොඳම පන්දුයවන්නවත් වුණු පමණින් ඔහු හෝ ඇය නායකත්වය ට සුදුසු වෙන්නේ නැහැයි කියන්න ඔප්පු කරන්න ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳම උදාහරණයක් විදිය ට දෝණි ව පෙන්නල දෙන්න පුළුවන් කියල අපි හිතනවා.
2011 එක්දින ලෝක කුසලානය, 2007 විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගැනීම ට ඉන්දීය කණ්ඩායම ට හැකි වෙන්නේ දෝණි ගේ නායකත්වය යටතේ. සචින් ටෙන්ඩුල්කාර්, විරේන්ද්‍ර ෂෙවාග්, ගෞතම් ඝම්බීර්, වි.වි.එස් ලක්ෂ්මන් වගේ පිතිකරුවන් ඇතුළුව දක්ෂයන් රැසක් නිසි ආකාරයට මෙහෙයවන්න ඒ වගේම සහීර් ඛාන්, ආර්.පි සිංග්, හර්භාජන් සින්ග් වගේ පන්දුයවන්නන් යොදාගන්නත් අවශ්‍ය ඒ නායකත්ව හැකියාව ඔහු සතු වුණා. ඒ වගේම තමයි විවිධ වෙනස්කම් කරමින් නවකයන්ට වැඩි අවස්ථාව ලබා දෙමින් තරඟ ජයග්‍රහණ මාවත නිමවන්නත් වැඩි බරක් දෝණි දරුවා. විස්සයි විස්ස ලෝක කුසලාන හයක ට නායකත්වය ලබා දීමත් ඔහුගේ නම ඉදිරියේ ලියවුණු සුවිශේෂී කාරණාවක්.

– නායකයෙක් ගෙන් එහා ගිය තීරකයෙක් –

බැලු බැල්ම ට තීරණ ගැනීමේ හැකියාව එහෙත් නැත්නම් හොඳ තීරකයෙක් වෙන එක නායකයෙක් ගේ ලක්ෂණයක් විදියට අපට දැනෙන්න ට පුළුවන්. ඒ උනත් තාක්ෂනය එක්ක ක්‍රීඩාවේ නීති රීති අලුත් වෙද්දී වෙනස් වෙද්දී ඒ එක්ක එකට තරඟ කිරීම ලේසි වෙන්නේ නෑ. උදාහරණයක් විදියට Review කිරීම බොහෝම සුක්ෂම විදියට භාවිත කරන්නෙක් තමයි දෝණි. පන්දු රකින අවස්ථාවලදී නම් ඔහු කඩුලු රකින නිසා එහි වැඩි වාසියක් හිමිවෙනවා ඇති. ඒ කෙසේ වුවත් ඒ අවශ්‍ය ම අවස්ථාවේ නිවැරදි ලෙස Review කිරීම ඔහුගේ වෙනස් ම හැකියාවක්. ජාත්‍යන්තර පිටියේ පවා නායකයන් මේ Review ක්‍රමය නිසි ප්‍රයෝජනය නොගන්නා අවස්ථා බහුලව දකින්න ලැබුනත් දෝණි ව එහි හඳුන්වන්නේ ‘Perfect Review Maker’ ලෙස.
ඒ වගේම තමයි ඒ ඒ තරඟ රටාව ට අවශ්‍ය කරන පන්දුයවන්නන් පිතිකරුවන් යොදාගැනීම ද ඔහුගේ සාර්ථකත්වයේ එක් පැතිකඩක්. රවිචන්ද්‍රන් අශ්වින් එක්ක රවින්ද්‍ර ජඩේජා ටෙස්ට් තරඟ දිනවන පන්දු යවන්නන් වෙද්දී දෝණි එක්දින රටාව ට ගැලපෙන යුස්වෙන්ද්‍ර චහල්, කුල්දිප් යාදෙව් සුසංයෝගය නිර්මාණය කරනවා. ඉතින් මෙවැනි සියුම් එත් ගත යුතුම වර්ගයේ තීරණ ගන්නෙකු එහෙම නැත්නම් තිරකයකු විදියට දෝණි අප ට හමුවෙන්නේ. අවුරුදු දා හතරක කාලයක් ජාත්‍යන්තර පිටියේ දකින්න ලැබුණු ඒ සුවිශේෂී ක්‍රීඩකයා අගෝස්තු මාසේ පහළොස්වෙනිදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව දැනුම් දීල තිබුණා. අවසාන තරඟයක ඒ ප්‍රේක්ෂක ආදරය, අවසන් තරඟයේ හැඟීම නොවිඳ මේ සමුගැනීම පිලිබඳ පෞද්ගලිකව අප තුල පවතින්නේ වේදනාකාරී බවක්. මේ කාරණා කෙසේ වුවත් නැවත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ගුවන් යානා ප්‍රහාරය එලෙසම කිසි දිනෙක ගුවන්ගත නොවේවි .
ඉතින්, GOOD BYE M.S
– පසන් සංජය සමරතුංග

Leave A Reply

Your email address will not be published.

three + 3 =