පරාජයේ පොහොසත් බව

ප්‍රතික්ෂේප වෙන එක හරි, පරාජය වෙන එක හරි නෙවෙයි ජීවිතයේ වැදගත් දෙය. ඒ තමන් ප්‍රතික්ෂේප වෙච්ච එක හරි පරාජය වෙච්ච එක හරි ඇත්ත වශයෙන් පිළිගෙන ඒ පරාජය ම ජයග්‍රහණයක් කර ගන්න උත්සාහ කරන එක. ඇල්බට් අයින්ස්ටයින්, ඒබ්‍රහම් ලින්කන්, ස්ටීව් ජොබ්ස්, ස්ටීවන් ස්පීල්බර්ග්, බිල් ගේට්ස්, ජැක් මා වගේ ගොඩක් අය ජීවිතේ එක් වරක් හරි පැරදුන, ප්‍රතික්ෂේප වෙච්ච මිනිස්සු. හැබැයි අද ඒ චරිත සහ එයාලගේ ගමන් මාර්ගය නිතරම උපුටා දක්වනවා ළමා සහ තරුණ පරපුරේ ජීවන අරමුණු වල ආශ්වාදය වැඩි කරන්න. එක අරමුණක සිත පිහිටුවා ගන්න. ඒ අරමුණු හඹා යන්න. ඒවා අත්පත් කර ගන්න. ධෛර්යය වැඩි කරන්න. සාර්ථක වෙන්න. කෙටියෙන් කිව්වොත් ජයග්‍රාහකයෙක් වෙන්න.
එක අතකට ගත්තම පරාජය කියන්නේ නරක දෙයක් නෙවෙයි. හැබැයි ඒක නරක නොවෙන්නේ ඒ පරාජයෙන් ඉගෙන ගන්නවා නම් විතරයි. ඉහත නම් ලැයිස්තුව වැදගත් වෙන්නේ මෙන්න මේ පරාජය ජයග්‍රහණයක් කර ගන්න ප්‍රස්තුතයෙදී. පරාජයෙන් කුසීත වෙච්ච උකටලී මිනිහෙකුට ඒ නම් ලිස්ට් එකෙන් වැඩක් වෙන එකක් නැහැ.
පරාජයන් සඳහා නිශ්චිත හේතු තියෙනවා. ගොඩක් වෙලාවට අපි ඒ හේතු එකක හරි දෙකක හරි හිරවෙනවා. නමුත් හොඳින් පශ්චාත් නූතනත්වය ප්‍රගුණ කරපු කෙනෙකුට තේරෙන්න ඕනි ප්‍රපංචයකට තියෙන්නේ එක හේතුවක් විතරක් නෙවෙයි කියන එක. යමක් සිදුවීම හෝ නොසිදුවීම සඳහා ගොඩක් හේතු එකවිට බලපානවා. මේක පටිච්ච සමුප්පාදයේ කියවෙන දෙයක්.
යමක පරාජයත් එහි වේදනාවත් අප ‘පොහොසත් ලෙස’ තුරුළු කරගන්න ඕනි කියල නීට්ෂ කියනවා එයාගේ Will to Power පොතේ. එයින් අදහස් වෙන්නේ පරාජය කියන්නේ පොහොසත් දෙයක් කියන එක. ජයග්‍රහණය තුළ යම් විදියක බොරුවක්, මායාවක් වගේ දෙයක් අන්තර්ගත වෙන්න පුළුවන් උනත් පරාජය කියන්නේ තනිකරම නිරුවත් සත්‍යයක් කියන එක තමයි එයාගේ මතය.
කොවිඩ් වෛරසය නිසා මාස ගණනක් අපේ මනුෂ්‍ය ශිෂ්ටාචාරය එකතැන නතරවුණා. හැමෝම හිතුවා මේක තමයි අපේ පැවැත්මේ අවසානය කියල. ඒත් මිනිස්සු බලාපොරොත්තු අතහැරියේ නැහැ. නූතන විද්‍යාව ඒ බලාපොරොත්තු රහිත බව ඔස්සේ ම දිගටම ගියා. අද ඉන්දියාව කියනවා එන්නත් එකට තුනක් අත්හදා බලමින් ඉන්නවා කියල. ඔස්ට්‍රේලියාව කියනවා එයාලත් එකක් අත්හදා බලනව කියල. රුසියාවත් ඒ කතාවම කියනවා. එංගලන්තයත් එහෙමයි. කවුරුත් උත්සාහය අත්හැරියේ නැහැ. මට මතකයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පවා එහෙම එන්නතක් වෙනුවෙන් උත්සාහ ගත්ත කතාවක් එක වෙලාවක කණ වැකුණා. ඒකට තමයි උත්සාහය කියන්නේ. අද නැවතත් මිනිස් බලාපොරොත්තු දැල්විලා. ඒත් මේ එළඹෙන පැය අපි කල්පනාවෙන් පාවිච්චි කරන්න වෙනවා. පරිසරය, සංවර්ධනය ගැන සිතමින් මේ නව නිමේෂය ගත කරන්න ඕනි. මනා සිහිය උපදවා ගන්න ඔනි. පරණ විදියටම යනවා නම් අපි අතීතයෙන් පාඩමක් ඉගෙන ගෙන නැහැ.
ලෝකයේ ගොඩක් කතා බහට ලක් වුන ආසියාතික චරිතයක් වෙච්ච ජැක් මා වරක් මෙහෙම කියල තියනවා. ඔබ සමඟ තරඟ කරන තරඟකරුගෙන් ඉගෙන ගන්න. හැබැයි කවදාවත් එයාව කොපි කරන්න යන්න එපා කියල. කොපි කරන මොහොතේ ඔබ මියයනවා කියල එයා වැඩි දුරටත් කියනවා. ඔබ ඔබ ම වෙන්න. වෙන කෙනෙක්ගේ කොපියක් වෙන්න එපා. ඔරිජිනල් වෙන්න. මිනිස්සු බලන්නේ ඔරිජිනල් දේවල් දිහා.
‘තමන්ට මුලින් ම තිබ්බ සිහිනයට අවංක වෙන්න. වැඩේ කරගෙන යනකොට එන්න පුළුවන් පරාජිත හැඟීම් වලට අර සිහිනය මරා දමන්න ඉඩ දෙන්න එපා. ඔබගේ සාර්ථකත්වය ඔබට අනෙක් අය අරන් එන විවේචන ඇතුලෙම හැංගිලා තියෙනවා. ඒ නිසා විවේචන දිහා පරිස්සමෙන් බලන්න’. ඒ ජැක් මාගේ වචන.
කවදාවත් අත්හරින්න එපා. අද අමාරු වෙයි. හෙට ඊටත් වඩා අමාරු වෙයි. නමුත් හොඳින් ම හිරු එළිය පතිත වෙන්නේ අනිද්දා වෙන්න පුළුවන්. ජැක් මා තවදුරටත් කියනවා.
වැඩේ අමාරුව දන්නේ ඒ වැඩේ ඇතුලේ ඉන්න කෙනා විතරයි. වටේ ඉඳන් හිනාවෙන අය නෙවෙයි.
‘නර්තනයේ යෙදෙන්නා උමතුවෙන් යැයි සිතන්නේ සංගීතයේ හඬ නොඇසෙන වුන්ය’ කියල ‘සරතුස්තා මෙසේ කීය’ පොතේ ෆ්‍රෙඩ්රික් නීට්ෂ කිව්වේ ඒ නිසා වෙන්න ඇති.
-මහේෂ් හපුගොඩ

Leave A Reply

Your email address will not be published.

twenty − ten =