‘ඔඩෙන්’ කඳුකර වනසැරියකට නික්මන

අවසන් වරට මා වන කඳුකරයක් ඔස්සේ යෙදුණු හුදෙකලා පා ගමන තෙවැනි දිනයේ දී අතහැර දමන්නට සිදුවූයේ කාරණා දෙකක් හේතුවෙනි. ඉන් ප්‍රධාන කාරණාව එදින සිය ප්‍රතිකාර සඳහා මහරගම අපේක්ෂා රෝහලට ගිය දීපිකාගේ තත්ත්වය බරපතල බව‍ත්, ඇය වහා රෝහලේ නේවාසික විය යුතු බවත් වෛද්‍යවරුන් දැනුම්දී තිබීම ය. මේ ආරංචිය ලද නිවසේ තනිව සිටි දේවිකාගේ ළතැවුල බෙහෙවින් වැඩි වූ බැවින්, ඈ හුදෙකලාවේ නොතබා ආපසු ඒමට මම තීරණය කළෙමි. කඳුකර වනමැදින් තැන්නට බැස, වගාබිම් හා ගම්බිම් දිගාවූ තැනිතලාව මැදින් තවත් පැය ගණනක් ඔහේ ඇවිද ආ මම අනතුරුව දුම්රියක නැඟී ආපසු ආවෙමි. (අප්‍රධාන දෙවැනි හේතුව මෙතැනට වැදගත් නැත.)
ඒ හරියටම මෙයින් මාසයකට පෙර ය. කොරෝනා වසංගතය නිසා ඒ වනවිට මට බලහත්කාර නිවාඩුවක් ලැබී තිබුණත් දේවිකාට සතියට දින දෙකතුනක රැකියාකාරියක් යෙදී තිබූ නිසා කොහොමත් ඇයට ඒ ගමනට එක්වන්නට හැකියාවක් නොතිබිණි.
එවර මගේ සැලසුම වී තිබුණේ රාත්‍රී පහක්වත් ඒ හුදෙකලා වන කඳුකරයේ ගෙවාදැමීම ය. ඉදින්, අතරමග අත්හැර දමන්නට සිදුවූ ගමන යළි අරඹන්නට මට කොතෙක් වුවමනා වී තිබුණත්, ලංකාවෙන් ආ ආරංචි දිගින් දිගටම කනස්සලු උපදවන බැවින් මම දේවිකාත් සමග ගෙදරටම වී සිටියෙමි.
එහෙත් මම අද නැවතත් පිටත්වෙමි. පෙරේදා රාත්‍රියේ සිය අවසන් සුසුම වාතලයට එක්කළ දීපිකා හෙට සිය ප්‍රාණය නිරුද්ධ සිරුරද පොළෝගැබ තුළ මිහිදනට කැපකරන්නී ය. අපට ඇය ඒ ග‍මනට ඇරලවන්නට යන්නට විදියක් නැත.
ඉතින්, මෙවර මේ විකාර වන කඳුකර පා ගමනට දේවිකා ද එක්වන්නී ය.
ඇයත් මාත් එක්ව මේ නොරට දී රාත්‍රියකින් ඔබ්බට යන පළමු වනාන්තර පා ගමන මෙයයි. වනාන්තර මැද අප කොතෙක් හුදෙකලාවේ ඇවිද ඇතත්, බොහෝවිට සිදුවූයේ රැය දැඩිවෙද්දී වනයෙන් එළියට ඒමයි. එහෙත් මනුස්සාස්සරයෙන් ද, මනුස්ස වියෝගයන්ගෙන් ද ගිලන් වන මනුස්සාත්ම සුවපත් කිරීමේ බලයක් පාළු නිහඬ වනඅරණ සතුව ද ‍ඇතිබැවින් අහුවෙන තැනක රැය පහන්කරමින් යා යුතු මේ දුෂ්කර ගමන මේ මොහොතේ අරඹන්නට ඇයට ද අවශ්‍යව ඇත. මේ ආගන්තුක රටේ බිත්ති හතරකට කොටුව සිය ප්‍රාණසම මිතුරිය ගැන සිතමින් ළතැවෙනවාට වඩා ඒ දුෂ්කර ක්‍රියාව තැවුල් සුවපත්කරන ඔසුවක් වෙතැයි මම ද සිතමි.
කලින් වතාවේ මගේ පළමු රාත්‍රී නවාතැන වූයේ වන මැද හමුවූ අගුළු ලෑ පාළු පල්ලියක අගුපිල යි. එය 11-12 ශතවර්ෂ‍වල වන්දනා ස්ථානයක්, තාපසාරාමයක් හා ශුද්ධ ජලඋල්පත් සංරක්ෂිතයක් ලෙස තිබූ පුරාවිද්‍යා ස්ථානයක් මත අලුතින් ඉදිකරන ලද කුඩා පල්ලියකි. ඒ අතීත කාලයේ ම එක් වකවානුවක මෙම ස්ථානය සොහොන් බිමක් ලෙස ද භාවිතා වී තිබූ බව කියැවෙයි. දැනට ද පල්ලියේ මිහිදන් කළ කිහිපදෙනකු ගේ නම් සහිත පුවරු දෙකක් මිදුලේ වෙයි. අලුතෙන් එහි එන මළවුන්ට ද ඒ පුවරුවල යහමින් හිස්තැන් තිබේ.
පළමු සේයාරුවේ ඇත්තේ ඒ කුඩා පල්ලිය යි. දෙවැනි සේයාරුවේ ඇත්තේ එහි මා නිදාගත් අගුපිල යි.
දෙවැනි රාත්‍රියෙන් වැඩි හරියක් වනමැද ඉදිවූ කිසියම් කලානිර්මාණයක් බඳු, දැවයෙන් තනා, දැව පොතුවලින් අලංකාර කරන ලද කුටියක මිදුලේ දැමූ බංකු දෙකක් මත ගෙවාදැමීමි. තෙවැනි සේයාරුවේ දැක්වෙන්නේ ඒ වන කුටිය හා මා නිදාගත් බංකු දෙකයි. සිව්වැනි සේයාරුවේ ඇත්තේ ඒ වනකුටියේ ලෑලි බිත්තිවලට සවිකළ ගස්වල පොතුරටාවන් ය. බිත්ති කොටස් දේවදාර වැනි පොතුවර්ගයකින් ද, කවුලු පියන්පත් බර්ච් පොතුවලින් ද සරසා ඇත.
අසල දියපාරට ආ වල්ඌරු රංචුවල ගෝරනාඩුවත්, වනකුටිය මිදුලේ මා නිදාසිටි බංකුව හා කැලෑව අතර වූ බිම්තීරුව සුරක්ෂිතභාවය පිළිබඳ මනුස්ස ඉවට බධාකරන තරම් පටුවීමත් නිසා, මම පාන්දර ජාමයේ එතැනින් නැගිට වෙනත් තැනක නිදන්නට ගියෙමි. වෙලාව කීයදැයි නොදත්තෙමි. ජංගමය විදුලි පණ අහිමිව මැරී සිටි බැවිනි. (මේ කතා වෙනම ලියාතැබිය යුතු ඒවා බැවින් දැනට මෙතැනින් නවතිමි. ඒ රාත්‍රීන් දෙකම සඳක් අහසට නොපැමිණි, අනන්ත තරු අහස් ගඟ ඔස්සේ ගලාගිය අමාවක සරි අන්ධකාර රාත්‍රීන් වූ බව පමණක් කියමි.)


එහෙත්, ඇය කොතෙක් කැමැති වුවත්, ඇයත් සමග යන මේ ගමනේ දී සොහොන් බිමක් අද්දර පල්ලි අගුවක හෝ වල්ඌරන් ගෝරනාඩු කරන දියමංකඩක් අසල එළිමහනේ රැය පහන්කිරීමේ කැමැත්තක් මවෙත නැත. දඩයක්කාරයකුගේ දඩයම් අට්ටාලයක් හෝ මෙවැනි සංචාරවල ගමන් වෙහෙස නිවාගැනීම පිණිසම වනමැද ලීකොටන්වලින් ඉදිකැරුණු අම්බලම් පැලක් හෝ හමුවන්නේ නම් මා වඩා කැමැති ය. අහුවෙන තැනක නිදන්නට සූදානම් නමුත් මේ දෙකෙන් ඇගේ වැඩි කැමැත්ත ඇත්තේ දඩයම් අට්ටාලයකට ය. එහෙත් දෙදෙනකුට කිසියම් පහසුවකින් සැතපියහැකි දඩයම් අට‍ල්ලක් සොයාගත හැකිද යන්න ගැන මට නිසැක නැත.
කී‍ දිනක්, කොතෙක් දුරක් අප දෙදෙනාම එක්ව යන මේ වනාන්තර පාගමන සිදුවනු ඇතිදැයි ද නොදනිමු.
ගමන අරඹන්නට සිතාසිටින්නේ ඔඩෙන් වන කඳුකරයේම මා කලින් ගමන නැවැත්වූ තැනිනි. එතැන් දක්වා දුම්රියෙන් ගොස් ඉතිරි දුර පා ගමනිනි. යන දිශාව කල්පනාවේ ඇත. එය දකුණුදිග බලා වැටෙනු ඇත.
ඊට වැඩිමනත් සැලසුමක් දැනට ඔලුවේ නැත. අතට හසුවූ පහසු ඇඳුුම්කෑලි කිහිපයකුත්, දවසකට දෙකට පිරිමසාගත හැකි කෑමබීම ප්‍රමාණයකුත්, ඉතා සුළු මුදලකුත්, නිදන මලු දෙකත් හැරෙන්නට එහෙමකට බඩු භාණ්ඩද ඇත්තේ නැත.
වනාන්තරයත් ඉන් වැසුණු කඳු‍පෙළත් හැමවිටම මෙන් අප එනතුරු බලාසිටිනු අප වසන මේ කුඩා නිවසේ සඳැල්ලට දැනුදු ඈතින් පෙනේ.
එහෙත් අප ඒ වනයට මුහුවනු ඇත්තේ තවත් සැතපුම් ගණනාවක් දුරිනි.
-සනත් බාලසුරිය

Leave A Reply

Your email address will not be published.

five × 5 =