‘’සිංහරාජෙට යමු’’ දෑස් මානා අහසට

සිංහ රාජය දෙපළු වෙයි ‘ යන පුවත අද කණ වැකුණු , කවීන්ද්‍ර මංජුල වෙඩිවර්ධන සිය සන්තාන ගීතිකාවෙන් උදෘතයක් එවා තිබිණි.

මෝසම් දෙකිඳ
ඉදින් ඈ ළඟ
ගලන සඳකැන් මෝසම
ඇහැ ළඟ.
ඒ අත්ල
මේ අත්ල මෙන්
සිය සිය සියවරක්
පිරිපහදු වර නංවා
සුළැඟිලි තුඩ පවා
සිලිටි මැටියෙහි සනහා
ඇහැ අගට ළං කර
උණුහුම විඳින්නට
මෝසමට නො හැකි ද?
ඇඳ මත
පළඟ බැඳ
සිහින දකිමින්
නිදන්නට හැකි
ඇයට පමණ ය.
විටෙක ඇය,
සිහිනයෙන් හිනැහෙයි.
මහදෙහි නිරිතදිග
‘නිවර්තන’ එළඹුම
ඒ සිනහවේ නවතියි.
‘අන්තර් නිවර්ථන’
‘අභිසරණ කලාපය’
කැළඹෙන මොහොත වන විට
සිහිනයෙන් ඇය ඇහැරෙයි.
‘’සිංහරාජෙට යමු’’
දෑස් මානා අහසට
අහස් යානා මවනට
හැකි ළඳක් වෙත්නම්
ඇය ම පමණ ය.
මූකලන්බත්වුණු
ඇහි පිල්ලමක් යට
ගිම්හාන මැත දොඩවන
වස්සාන කවියක
නටඹුන් දකින මෝසම
‘වැහි මූකලන්’ සොය සොය
වෙන කොහේ යන්නද?
ඉදින් මොහොතින් අපි
සිංහරාජය මැද
යෝධ මීවන ගසක් යට
තුරුලු වී ඉන්නෙමු.
‘’ආං කුණකටුවෙක්’’
ඇය තිගැස්සී කීව ද
තිගැස් ම පමණ ම ය
සරුපයෙක් නම් නැත.
පිනිබරු ගසක ඉත්තක
සොඳුරු දම්පැහැ කුසුමින්
හිස මෑත් කළ අං කටුස්සා
හිනාවෙන්නේ ඇයට ද?
වත රතු මල් කොහා
කළු සුදු පෙඳය විහිදා
හොට අගින් අත්හළ
විප්පලාපී ගීයේ
අරුත කවරක්දැයි
මා දෙතොලින් මිදෙන ඇය
විස්සෝපයෙන් අසයි.
පෙර දිනක රාත්‍රියක
මා දුටු නිවර්ථන සිහිනෙක
වත රතු මල් කොහා
ඔය ගීය ගැයූ බව මතක ය.
ඒ නිවර්ථන සිහිනය
මහ වනය මැද
යළි වරක් පෙනෙයි.
දෙපලු වන වන මැදින්
මාවතක් මැවෙයි.
දිවි පුදන තුරු වලින්
මිනිපෙට්ටි තැනෙයි.
‘’ඉබන් බතුතාවන්
සමනොළ තරණයෙහි පසු කළ
ඒ අඩි පාර වද
මෙසේ මහ මං ව ඇත්තේ?’’
දැන හෝ නො දැන හෝ
ඇය එහෙම අසයි.
අවසාන හොර ගහත්
අහසට ම උසයි.
ඉදින් ඈ ළඟ
ගලන සඳකැන් මෝසම
ඇහැ ළඟ.
‘’ගිරිස්මය කළඹවා වෙවුලුවා බිඳ දමා වහින වැහි අඛන්ඩය
සොභාවික මහ පුරුෂ සුලක්ෂණ වුව තවම විතණ්ඩය
නිවර්තන අභිසරණ කලාපය හැමවිටෙම ප්‍රචණ්ඩය
ඉදින් හද ගුගුරුවා ඇස පුරා වහින වැහි අඛන්ඩය’’
(සන්තාන ගීතිකා)
මංජුල වෙඩිවර්ධන

Leave A Reply

Your email address will not be published.

17 − 8 =