නොකල්හි දිවිතුරෙන් ගිලිහී වැටුණු – මිනිස් මහිමාවක සුගන්ධ කුසුම

 

දීපිකා සදහට දෙනෙත් පියාගත්තා’ය යන පණිවිඩය ඊයේ සන්ධ්‍යාවේ මෙතරම් දුරකතර‍ ගෙවාවිත් සවන්පත් මත වැකි මොහොතේ, අප හදවත් දිගු විරාමයකට නැවතිණි.
ඊයේ ගෙවුණේ වදන් විරහිත රැයකි. වදනට හසුනොවන ගැඹුරු වේදනා අන්ධකාරයක් එහි විය.
හිම බැඳුණු අතක කැපුමකින් වෑස්සෙන අසීරු රුහිරු බිඳු මෙන්, මඳින් මඳ මෙහෙමවත් වදන් රූරා බසින්නේ දැන්ය.
දීපිකා සහෝදරියක නම්, සහෝදරත්වයේ සියලු සීමා මායිම් අතික්‍රමණය කළ ඉමක හමුවන අසීමාන්තික සහෝදරත්වයට ඇගේ නම පර්යාය ය.
දීපිකා මිතුරියක නම්, මිත්‍රත්වයටම උරුම සකලවිධ කෙලෙස්මළ වියැකීගිය අඩවියක හමුවන නිකැළැල් මිත්‍රත්වයකට ඇගේ නම පර්යාය ය.
සාපේක්ෂව කෙටිවූ සිය දිවිසැරියෙන් ඇය තමන් වටා සිටියවුන්ට බෙදාදී ගියේ ඒ මිනිස් මහිමාව ය.
සුදු ඇඳුම සිය සදාකාලික වස්ත්‍රය ලෙස ඇය තෝරාගත්තේ ඇගේ ප්‍රභාමත් යෞවනයේදීම ය. ඒ සිය දිගුකාලීන ප්‍රේමවන්තයා ද, පෙම්පුවත අවසන දයාබර ස්වාමියා ද වූ විජය පත්තර නිවසේ සේවය කළ චිත්‍රශිල්පී, අප මිත්‍ර වසන්ත ජයවර්ධන අකලට දිවියෙන් සමුගත් තැන් පටන් ය. අවසන් මොහොත දක්වා ඇය ඒ ශ්වේත වස්ත්‍රය අත්නොහැරියා පමණක් නොව, සිය අහිමි වූ ආලය වෙනුවෙන් කැපකළ ආත්මයේ සුද ද බිඳකුදු වියැකෙන්නට නොදුන්නා ය. ඒ වූකලී, ඇගේ ම ස්වයංවරය යි, දශක දෙක හමාරකට වැඩි ඒ සුදට කැපකළ දිවියේ ප්‍රභාව යි.
අනෙකා උදෙසා කැපවීමත්, පොදු අරමුණක් කෙරේ වූ විශ්වාසයත්, සාමූහිකත්වය හා සටන්කාමීත්වයත් සුදු හැඳි ඇගේ දිවියේ අතිදීප්ත වර්ණරටා විය. අනූ ගණන්වල මුල විජය පුවත්පත් ආයතනයේ දියත් වූ වෘත්තීය අරගලය වෙනුවෙන් එළියට බටුයේ, එහෙයින්ම රැකියාද අහිමිකරගත්තේ ආයතනයේ සේවිකාවන් අතරින් පස්දෙනෙක් පමණි. ඒ ස්ත්‍රීන් පස්දෙනාගෙන් අයෙකි දීපිකා.
ලේක්හවුසියේ සේවයට ආ තැන් පටන් සිය දිවි අත්හරින තෙක් ලේක්හවුස් සේවක සංගමයේ ක්‍රියාකාරී සාමාජිකාවක ද, ඉනුත් වැඩි කාලයක් එහි විධායක සභිකාවක ද වූ ඇය, එහි දියත් වූ හැම වෘත්තීය අරගලයකම පෙරමුණේ හිඳ සටන් වැදුණා ය. ඒ හේතුවෙන්ම ඇයට ලැබුණු තරමක් ලැබුණේ තාඩන පීඩන ය. ලැබෙන්නට නියමිතව තිබූ, හිමිකම් තිබූ වෘත්තීය අවස්ථාවන් පවා අහිමිවී යාම් ය. එහෙත් පොදු සේවක උන්නතිය උදෙසා කැපවීමෙන් ඇය ඈත්කර තබන්නට ඒ කිසිවක් හේතු නොවිණි.
දෙදාස් ගණන් මුල එජාප ආණ්ඩුවක් යටතේ ආයතනයට පත්ව ආ එක් උඩඟු සභාපතිවරයෙක් ඇයට පෞද්ගලිකව පවා අපහාස උපහාස කළේ මේ ප්‍රතිපත්තිගරුකත්වය හා මිත්‍රත්වයට, සහෘදත්වයට ඇති අප්‍රමාණ කැපවීම බිඳදමන්නට ය. එහෙත් මහා පෞරුශයක් මවාගෙන සිටි සභාපති ආත්මය, සුදු හැඳි මේ කුඩා ගැහැනියගේ ඹෞදාර්යය හමුවේ බිඳී වැගිරුණු බව ඒ අතීතය දන්නෝ දනිති.
පෞද්ගලිකව ගත් කල, ඇගේ නික්මීමෙන් බිඳවැටෙන්නේ දසකයකට වැඩි කාලයක් තිස්සේ විගාමික අප දෙදෙන මව්බිමට බැඳතැබූ එක් බලවත් රැහැන්පටකි. ඇය ඒ මුළු කාලයටම දේවිකාට ඇමතුමක් නොදුන් තෙදිනක් එක දිගට ගතවිණි නම්, ඒ පිළිකා මාරයා සිය ග්‍රහණය අත්‍යන්තයෙන් දැඩිකළ අවසන් දින කිහිපය පමණි. එහෙත්, අවසන් හුස්ම හෙළන්නට දිනකට පෙර ද, රුදුරු පිළිකා සෛල විසින් ගොළුකර දමමින් සිටි කටහඬ පාලනය කරගනිමින් ඇය දුරකතනයෙන් කීවේ ”ඔව් අපට මේකට මූණදෙන්න පුළුවන්” කියා ය.
එහෙත් ඒ කටහඬ යළිත් උපන්බිමේ සිට අප සොයා එන්නේ නැත. අප ඇගේ අවසන් මොහොත දකින්නේත් නැත. අප හදවත්හි සුරැකිව ඇත්තේ මෙයින් දෙවසරකට පෙර අප දුටු ඇගේ පැහැදුල්, තෙදවත්, සිනාසපිරි මුහුණ යි.
දයාබර සොයුරිය, ඔබ වෙනුවෙන් තවත් වදන් ගොඩගසා පලක් නැත. ඔබේ සහෝදරත්වය, මිත්‍රත්වය, මිනිස් මහිමාව තිබෙන්නේ වචනවලට ගව්ගණනක් ඔබ්බෙනි. ඒ ඉසව්වට ඉනිමං බඳින්නට මේ ගොඩගසන කිසිදු බොල් වදනක් නොසමත් ය.
වැඩකොටසක් භාර දී කිසිවෙක් ඔබ මේ ලෝකයට එව්වේ නැත. මේ ලෝකය තුළ ඔබේ වැඩකොටස නිශ්චය කරගත්තේ ඔබ ය. ඒ අනුව දිවිය හැඩගස්වාගත්තේ ඔබ ය. ඒ වෙනුවෙන් අපමණ දිරියෙන් කැපවුණේ ඔබ ය. ඒ හේතුවෙන් ආ සියලු සුඛ-දුක්ඛ, සාර-අසාර ඵල සමසිතින්, එකම උපේක්ෂා සිනාවෙන් ඉවසුවේ ඔබ ය. එහි අසාර ඵල ඔබට තබාගෙන සාර ඵල අනෙකුන්ට රිසි සේ බෙදාදුන්නේ ඔබ ය.
අකලට මුත්, මේ දිවිය අත්හරින විට ඔබ තුළ ළතැවිල්ලක් නොවුණේ එබැවිනි.
ඔබේ අකල් නික්මීමෙන් ඔබ වටා සිටි මිනිස් ආත්ම එකවර මහා ශුන්‍යතාවකට ඇදවැටෙන්නේ ද එබැවිනි.
දීපිකා මල්ලවආරච්චි සොයුරිය, ඔබට අකාලික වූ සුවබර නින්දක්!
-සනත් බාලසුරිය

Leave A Reply

Your email address will not be published.

four + 16 =