ඇමති අකිලගේ ටැබ් බෝම්බය


• ටෙන්ඩර් කොන්දේසි විකෘති කරලා
• අමාත්‍යාංශයේ නිලධාරීනුත් හවුල්
• කැබිනට් අනුමැතියත් හිමි වෙයි


පසුගිය කාලයේ මුළු රටම සිටියේ භීතියෙන් ඇලලී ගොසිනි. ඒ පසුගිය පාස්කු දිනයේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර නිසාය. සිදුවීමත්, සිදුවීමෙන් පසු ඇති වූ තත්ත්වය මෙන්ම ඇති කරන ලද තත්ත්වයන් ද ඒ භීතිය දෙගුණ තෙගුණ කිරීමට සමත් විය. අවසානයේ එහිම ප්‍රකාශනයක් ලෙස ජාතිවාදී ප්‍රවණතාවයන් ද රට තුළ උත්සන්න විය. ඒවා ගැටුම් මෙන්ම ම්ලේච්ඡ ප්‍රහාර දක්වා ද වර්ධනය විය. ඒ සියල්ලම තවම සම්පූර්ණයෙන්ම සමහන් වී නොමැත. පාසල් සිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද විශාල ගැටළුකාරී තත්ත්වයක් ඒ නිසා ඇති විය. පාසල් ආරම්භ කිරීම අවස්ථා කිහිපයකදීම කල් තැබුණු අතර පාසල් විවෘත කළ පසු ද සිසුන්ගේ පැමිණීම ඉතාමත් දුර්වල මට්ටමක පැවතුණි. සාමාන්‍ය පරිදි සිසුන් පාසල් වෙත පැමිණීම සිදු වූයේ මැයි මාසයෙන් ද භාගයක් ඉක්ම ගිය පසුය.


මේ සියලූ තත්ත්වයන්ටම ආණ්ඩුවේ මැදිහත් වීමේ ප්‍රමාණය ගැන බොහෝ දෙනා සෑහීමකට පත් වූයේ නැත. පාසල් සිසුන්ට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් ද ප්‍රමාණවත් මැදිහත් වීමක් නොකර බවට චෝදනා එල්ල විය. එක් පාසලකට එක් පොලිස් නිලධාරියෙක් ලබා දීම වැනි තීරණ නිසා සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳ වන මැදිහත්වීමේ තරම ඇස් පනාපිටම පෙනෙන්නට ගත්තේය. බොහෝ පාසල් වලට එක් පොලිස් නිලධාරියෙකු හෝ ලබා දිය නොහැකි විය. ඒ නිසා සිසුන්ගේ ආරක්ෂාව දෙමාපියන් පිටම පැටවිණි.


සියල්ල මෙසේ සිදු වෙද්දී සිසුන්ට ටැබ් පරිගනක ඛෙදීම ගැනනම් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් විශාල උනන්දුවක් දක්වන්නට විය. එකී උනන්දුව නිසා මීට පෙර ජනාධිපතිවරයා විසින් මේ කියන ටැබ් ඛෙදීම නතර කර තිබියදී, රට තුළ සිසුන්ගේ ආරක්ෂාව ප්‍රශ්නයක්ව පවතිමින් සිසුන් පාසල් නොඑවන තත්ත්වයක් තිබියදී ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් ටැබ් යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා ගන්නේ පසුගිය මැයි හත් වෙනිදාය. අකිලට ටැබ් ඛෙදීමට මේ තරම් කඩිමුඩියක් ඇත්තේ කුමන හේතුවක් නිසාද? ටැබ් ඛෙදීමේ ඇත්ත කතාව සොයා බැලිය යුත්තේ ඒ නිසාය.


මේ ටැබ් ඛෙදීමේ කටයුත්ත ක්‍රියාවට නැගෙන්නේ උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට නොමිලේ ටැබ් පරිගණක ලබාදීම සඳහා ආණ්ඩුවේ අයවැය පොරොන්දුවක් අනුවය. 2017 අයවැය යෝජනා අංක 92-උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීම එකී අයවැය යෝජනාවයි. එම යෝජනාවට අනුව උසස් පෙළ සිසුන්ට ඛෙදා දීම සඳහා වන ටැබ් පරිගණක ගෙන්වීමට ටෙන්ඩර් කැඳවීමට ඒ දින වලම ඇමති අකිල ලහි ලහියේ සූදානම් විය. ඒ අනුව 2017 වසරේ ජූලි 12 වන දිනෙන් අවසන් වන පරිදි මෙකී ටෙන්ඩර් කැඳවීම ප්‍රකාශයට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරනු ලබන්නේ 2017 ජුනි 05 වනදා පුවත්පත් දැන්වීමක් හරහා ටැබ් පරිගණක 195,148ක් සඳහා මිලගණන් කැඳවන බව දැනුම් දීමෙනි. බැලු බැල්මට මෙහි ඇති ගැටළුවක් නැත. එහෙත් ගැටළුව ඇත්තේ ඉන් පසුව දිග හැරෙන සිදුවීම් වලය. මෙය අකිල විරාජ් විසින් සැලසුම් සහගතව ගැසූ ගේමකි. ඒ සැලසුම ක්‍රියාවට නැගීම සඳහා අත්‍යාවශ්‍ය පියවරක් වශයෙන් අදාළ ටෙන්ඩරය නිකුත් කිරීම වෙනුවෙන් පත්කළ තාක්ෂණික ඇගයීම් කමිටුවේ සභාපතිවරයා ලෙසත් කමිටු සාමාජිකයන් ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් කිහිපදෙනෙකුත් පත් කරන්නේ තමන්ගේ දූෂිත ගණු දෙනුව බාධාවකින් තොරව ක්‍රියාත්මක කර ගැනීම සඳහාය.


තාක්ෂණික කමිටුව විසින් ටැබ් පරිගණක වෙනුවෙන් තිබිය යුතු ප්‍රමිතිය (පිරිවිතර) දක්වා ඇති අතර එම ප්‍රමිති ලේඛණ සහ ප්‍රසම්පාදන කොන්දේසි ඇතුලත් ටෙන්ඩර් ලියවිලි ලංසුකරුවන් වෙත නිකුත්කර ඇත්තේ නැවත නොගෙවන රුපියල් ලක්ෂ 5ක තැන්පතුවක්ද ලබාගනිමිනි. ටෙන්ඩරයට අදාළ තාක්ෂණ පිළිවිතර වල පැහැදිලිවම FCC (Federal Communication Commission) සහ CE (Certification for Export) සහතික අත්‍යවශ්‍ය වන බව සදහන්ව තිබුණි. එහෙත් ශ්‍රී ලංකාවේ සියලූම පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලින් උල්ලංඝනය කරමින් ලංසු කැදවා දින දහ හතරකට පසුව ටෙන්ඩර් පිලිවිතර වල ඊට පෙර සදහන් නොවූ FCC Identification Number නමින් අලූත් නිර්ණායකයක් එකතු කරන්නේ ටෙන්ඩර්කරුවන් ද තුෂ්ණීම්භූත කරමිනි.


මේ අතර ලංසුවල ඇති යම් අඩුපාඩු සාකච්ඡා කිරීම සඳහා පෙර ලංසු සාකච්ඡාවක්ද (per bid meeting) පවත්වා ඇති අතර, එසේම ටෙන්ඩරය විවෘත කිරීමට තිබු නියමිත දිනය ද සති දෙකකින් දීර්ඝ කරන්නටද ඉහත කී කමිටුව කටයුතු යොදා තිබේ. ඒ ටෙන්ඩරයේ පිරිවිතර කොන්දේසි සහ ප්‍රසම්පාදන කොන්දේසි වෙනස් කරගැනීම සඳහා විවිධ පාර්ශ්ව විසින් සිදුකර ඇති බලපෑම් නිසාය. ඉහත කී නව කොන්දේසිය එකතු වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මේ අතර නැවතත් අමාත්‍යාංශ පාර්ශ්ව සහ ලංසුකරුවන් ‘පෙර ලංසු සාකච්ඡාවක්’ සිදුකර ටෙන්ඩරය විවෘත කිරීමේ අවසාන දිනය ලෙස 2017 අගෝස්තු 22 වනදා නම් කරගෙන ඇති අතර ටැබ්ලට් පරිගණක වලට අදාළ පිරිවිතර මෙන්ම ලංසු කොන්දේසි සම්බන්ධවද අවසන් එකඟතාවක් ඇතිකරගෙන තිබේ. එම එකඟතා අනුව ටැබ්ලට් පරිගණක සඳහා වන තත්ත්ව සහතික ලෙස සඳහන්ව ඇත්තේ FCC සහ CE Certificate යන ඒවා පමණි. ඒ අනුව ටෙන්ඩරය විවෘත කිරීමේ අවසන් දිනයේදී එනම් 2017.08.22 වනදා ලංසුකරුවන් 10 දෙනෙකු අදාළ පිරිවිතිරවලට අනුව සැකසු අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදී තිබිණි. රුපියල් බිලියන 4.1 සිට 10 දක්වා වන අගය සහිත මිල ගණන් ඔවුන් විසින් ඉදිරිපත් කර තිබී ඇත. අනතුරුව ලංසුවේ සඳහන් පරිදි ටැබ්ලට් පරිගණක සාම්පල 2017 සැප්තැම්බර් 07 වනදා අමාත්‍යාංශයට ලබාදීමට නියමිත වූ අතර එහිදී අදාළ සාම්පල අමාත්‍යාංශය වෙත ලබාදී ඇත්තේ ලංසුකරුවන් 07 දෙනෙකු පමණි.


මෙසේ ලබාගත් සාම්පල තාක්ෂණික ඇගයීම් කමිටුව වෙත යොමුකර ඇති පසුබිමේ නැවතත් අමාත්‍යංශය වෙතින් ලංසුකරුවන් වෙත ලිඛිත නිවේදනයක් නිකුත් කර ඇත. එයින් දැනුම්දී ඇත්තේ ලංසුකරුවන් විසින් ඉදිරිපත් කළ ටැබ් පරිගණකයන්ට අදාළ FCC ID සහ Grantee Code ලිඛිතව ලබාදෙන ලෙසය. ලංසුකරුවන් නැවතත් අන්දමන්ද වන්නේ මේ නිවේදනය හමුවේය. ඒ, ටෙන්ඩරය විවෘත කිරීමට පෙර සඳහන්වූ පිරිවිතරවල තත්ත්ව සහතික වූ FCC සහ CE Certificate යන්න ටෙන්ඩරය විවෘත කිරීමට පසුව FCC ID සහ Grantee Code ලෙස වෙනස් කර ඇති නිසාය. මෙය අමාත්‍යාංශය පාර්ශවයෙන් සිදුකළ ටෙන්ඩර් කොන්දේසි අමුඅමුවේ විකෘති කරමින් කොන්දේසි උල්ලංඝනය කිරීමක් වුවද ලංසුකරුවන් තමන් ඉදිරිපත් කළ ටැබ් පරිගණකයට අදාළව පැහැදිළි කිරීම් අමාත්‍යංශය වෙත යොමුකර ඇත.


FCC ID යනු පරිගණක සහ ජංගම දුරකථන වැනි නිෂ්පාදන ඇමෙරිකා එක්සත් ජනපදයට අපනයනය කිරීමේදී ඒවා එක්සත් ජනපදයේ ප්‍රාන්ත වල භාවිතය සඳහා අනුමැතිය ලබාදී ඇති බව දක්වන්නට නිකුත් කරන හැඳින්වීමේ අංකයකි. එහිදී පිරිවිතිර වල සඳහන් CE Certificate යනු යුරෝපයට අදාළ එවැනි සහතිකයකි. ඒ අනුව මෙම සහතික බොහෝ දුරට එක සමාන පිළිගැනීමක් සහිතය. එහෙත් මෙතැන ඇති අරුම පුදුම කාරණය වන්නේ රෙන්ඩර් කොන්දේසිය තාක්ෂණික කමිටුව විසින් උල්ලංඝනය කිරීමෙන් පසුව අදාළ ටෙන්ඩරය වෙනුවෙන් ලංසු තැබූ ලංසුකරුවන් වෙතින් FCC ID යන්න ඉදිරිපත් කල හැකි එකම ලංසුකරුවා බවට Metropolitan සමාගම පත්වීමය. බළලා මල්ලෙන් පනින්නේ එවිටය.


මෙහිදී ඉතා පැහැදිලිව පෙනීයන කරුණක් වන්නේ තාක්ෂණික කමිටු සභාපතිවරයා එක් සමාගමක් ඉලක්කගත කර මෙසේ පිරිවිතර කොන්දේසි නැවත සකස්කර ඇති බවය. අවම වශයෙන් මෙවැනි අති විශාල රාජ්‍ය ගනුදෙනුවක ටෙන්ඩර් කැඳවීමේදී පිරිවිතර සැකසීම සඳහා විදුලි සංදේශන නියාමන කොමිසමෙන් නිර්දේශ ලබාගැනීමක් කල යුතුව තිබිණ. එහෙත් එවැන්නක් ද සිදුව නැත. ඒ වෙනුවට මෙම ටෙන්ඩරය රුපියල් බිලියන 6.89ක් වන අවම ලංසුවට වඩා බිලියන 2.7ක් වැඩි මිලකට Metropolitan ආයතනයට ලබා දීම සඳහා 2017 ඔක්තෝබර් 12 වන දිනැති ලිපිය මගින් අධයාපන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණි. මෙගින් අසාධාරණයෙ ලක්වූ සෙසු ලංසුකරුවන් හය දෙනෙකු විසින් රුපියල් 100,000ක් බැගින් වූ මුදලක් ගෙවා ජනාධිපති අභියාචනා කමිටුව හමුවෙ මෙම අසාධාරණය ඉදිරිපත් කරන ලදී. එහිදී ත්‍රිපුද්ගල අභියාචන මඩුල්ලක් හමුවේ විභාග වූ මෙම අභියාචනලේදී අමාත්‍යවරයාගේ අමාත්‍යාංශ ලේකම් ඇතුළු නිලධාරී පිරිස, තමුන් ගත් වැරදි තීරණය නිවැරදි ලෙස හුවාදැක්වීමට අවසාන මොහොත වන තෙක් අතිශය අසාර්ථක උත්සාහයක යෙදී ඇත. නමුත් අවසානයේ ත්‍රිපුද්ගල අභියාචන මඩුල්ලේ තීරණය වන්නේ ඉහත කී ටෙන්ඩර් ප්‍රදානය ගැටළු සහගත බවයි. මේ නිසා බිලියන 2.7ක දුෂණයක් වැරදුන තැන නැවතත් අවම ලංසුවට වඩා බිලියන 1.2ක වැඩි මිලක් ඉදිරිපත් කර තිබූ අබාන්ස් ආයත්නයට මෙම ටෙන්ඩරය ලබා දීමට පිඹුරුපත් සකස් කරනු ලදුව 2018 පෙබරවාරි 20වන දින අදාළ තීරණය අකිල විරාජ් ඇමතිවරයා විසින්කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලබන්නේ කිසිදු ලැජ්ජාවකින් තොරවය. එහිදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මේ සඳහා විරෝධය දක්වන අතර ඒ මත පදනම්ව ජනාධිපතිවරයා විසින් එම ටෙන්ඩර් ක්‍රියාවලිය අත්හිටුවීමට කටයුතු කරනු ලැබීය.


එහිදී මුදල් ඇමතිවරයා විසින් සදහන් කරනු ලබන බරපතල කාරණාව වනනේ තක්ෂණ ඇගයීම් කමිටුව මගින් පෙර Major Deviation යැයි සලකා ඉවත් කළ, අබාන්ස් සමාගම ඉදිරිපත් කර තිබූ මාදිලිය වන Lenovo වර්ගයේ ටැබ් පරිගනක, නැවත් දෙවැනි වර ඇගයීමේදී එම තාක්ෂණ කමිටුව විසින්ම වඩාත්ම සුදුසු ටැබ් මාදිලිය වශලයන් පිළිගන්ලන් කෙසේද යන්නයි. FCC හෝ CE Certificate මගින් ආවරණය වන අවම හානිකර කිරණ ඇති ටැබ් පරිගනකය මෙය බව හා කල් පැවැත්ම අතින්ද වැඩිම පරිගනකය මෙය බව අදාල තාක්ෂණ කමිටු නිලධාරීන් විසින් ප්‍රකාශ කරනු ලබන්නේ කුමන පදනමක් මතද යන්නත් එහිදී ප්‍රශ්න කෙරී ඇත. මෙවැනි තාක්ෂණ මෙවලම්වල හානිකර විකිරණ සම්බන්ධව සහතිකයක් ලබාදිය හැකි ශ්‍රී ලංකාවේ එකම ආයතනය වන්නේ විදුලි සංදේශ නියාමන කොමිසමයි. නමුත් මෙම තාක්ෂණ ඇගයීම් කමිටුව විසින් කිසිම විටක අදාල සාම්පල විදුලි සංදේශ නියාමන කොමිසම වෙත ඉදිරිපත් නොකළ අතර ඔවුන්ගේ අනුමැතියක් ලබා ගැනීමට තිබුණු සියලූ අවස්ථා හිතා මතා පැහැර හැර තිබුණි.


2018 අගෝස්තු මස 20 වන දින මෙම ටෙන්ඩරයේ කාලය ඉකුත් වන අතර පුදුම සහගත ලෙස ටෙන්ඩරය කල් ඉකුත්වී මාස 03 ක් ගිය තැන අධ්‍යාපන ඇමති අකිල විරාජ් විසින් නැවතත් මෙම ටෙන්ඩරයට අදාල කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබුණි. එයද කැබිනට් මණ්ඩලයේ අනුමතිලයකින් නොලැබුණි. ලැජ්ජා නැති කම මහමුදලිකමටත් වඩා ලොකු බව අමු අමුවේම පෙන්වමින් නැවත්ත් මෙම ගනුදෙනුව අධයාපන ඇමතිවරයාගේ දැඩි බලකිරීම මත් 2018 දෙසැම්බර් මාසයේදී හා 2019 පෙබරවාරි මාසයේදී කැබිනට් අනුමැතිය සදහා නැවත නැවතත් යොමු කරන ලදී. එහි ඇති තවත් පුදුමයක් වන්නේ 2019 පෙබරවාරි මාසයේදී ටෙන්ඩරය සඳහා අනුමැතිය ඉල්ලා සිටින්ලන් බදු රහිත රුපියේ බිලියන 6.2ක වැඩිකළ මිලකට වීමයි.

කෙසේ වෙතත් පසුගිය මැයි 07 වන දින ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා ගැනීමට ඇමතිවරයා මේ වන විට සමත් වී තිබේ. ඒ අනුව දූෂණයේ ඉදිරි පියවර ක්‍රියාවට නැගෙනු ඇත. එය එසේ සිදු වුවහොත් ඇමතිවරයා ප්‍රමුඛ දූෂිතයන් කණ්ඩායමට ලැඛෙන කෝටි ගණනක් වූ අත යට මුදලට අමතරව තවත් පාඩුවක් ටැබ් පරිගණක ලබන සිසුන්ට සහ ගුරුවරුන්ට සිදු වේ. සාමාන්‍යයෙන් මාස හයෙන් හයට නුතන පරිගණක මෙවලම් ආශ්‍රිත තාක්ෂණය වෙනස් වන අතර ඒ අනුව අදාළ ටෙන්ඩරය ක්‍රියාත්මක වුවහොත් සිසුන් සහ ගුරුවරුන්ට හිමිවන්නේ වසර දෙකකට වඩා පැරණි තාක්ෂණයෙන් යුතු ටැබ් පරිගණකයන්ය.

චතුර දිසානායක

Leave A Reply

Your email address will not be published.

eight − 3 =