නෙරපා හරින ලද මිනිසුන් වෙනුවෙන් නැගී සිටි හෙර්තා මුලර්

(හෙර්තා මුලර්ගේ අදට යෙදෙන උපන්දිනය වෙනුවෙන්)
කාව්‍යයේ ඒකාග්‍රතාවය හා ගද්‍යයේ අවංක භාවය සමඟින්, නෙරපා හරින ලද අයගේ හදවතේ පැතිකඩ දර්ශනය නිරූපණය කරන කාන්තාව” ලෙස විරුදාවලිය ලත් හංගේරියාවේ සුළුතර ජර්මානුවන් වෙනුවෙන් මෙන්ම “ලොව නෙරපා හරින ලද්දන්” වෙනුවෙන් පෙනී සිටින අභීත ලේඛිකාව,2009 වර්ෂයේ නොබෙල් සාහිත්‍යය සම්මානය හිමිකරගත් ලේඛිකා හෙර්තා මුලර් (Hertha Muller )ගේ 66 වන උපන් දින සැමරුම අදයි .
17/08/1953
ඇගේ විශිෂ්ට ම කෘතියක් ලෙස සැළකෙන The Passport ගැන කෙටි කතාබහාක් ඇගේ ජන්ම දින සැමරුම වෙනුවෙන්.

මර්ධනකාරී දූෂිත සමාජ ක්‍රමයනට එරෙහිව පෑන අවියක් කරගත් රුමේනියානු ගැහනිය, “හෙර්තා මුලර්”!
දෙවන ලෝක යුද්ධයෙන් බැටකෑ කොමියුනිස්ට් වාදීන්ගෙන් එලෙසම ආපසු බැට කෑ රුමේනියාවේ සුළුතර ජර්මානුවන් වෙනුවෙන් සටන් කළ එඩිතර ගැහනිය හා මහා සාහිත්‍යයවේදිනිය හෙර්තා මුලර්.

1953 දී රුමේනියවේ ජර්මානු සම්භවය සහිත පවුලක උපන් මුලර් දැඩි මතධාරී කොමිනිස්ට් පාලනයක් යටතේ ජර්මානු සම්භවයක් ඇති රුමේනියානුවන් මුහුණ දුන් දැඩි පීඩාකාරී පරිසරයක හැදී වැඩුණාය . එම පරිසර තත්ත්වය නිසා ම නිරන්තරයෙන් එයට විරුද්ධ හඬක් නැගීමට යොවුන් වියේ සිට ම කටයුතු කළ හෙර්තා, ඒ සඳහා අවියක් කර ගනු ලැබුවේ සිය නිසඟ සාහිත්‍යමය හැකියාවයි .ලේඛන කලාවට පිවිසි ඇය ඉතා දක්ෂ සාහිත්‍යය වේදිනියක් වූවාය. එමෙන් ම සමාජ විචාරිකාවක් ද වූ ඇය අති දක්ෂ නවකතාකාරිණියක්ද වූවාය.

නිකොලායි චවුචෙස්කිගේ දැඩි මතධාරී මර්දනකාරී කොමිනියුනිස්ට්‍ පාලනය නිසාත් රුමේනියාව තුළ වෙසෙන ජර්මානු සම්භවයක් ඇති සුළුතරය මුහුණ දුන් අනේක දුක්ගැහැට පිළිබඳ ව නිරන්තරෙන් සංවේදීව කතා කළ ඈ සිය සාහිත්‍ය කරණය තුලින් එයට එරෙහිව ප්‍රබල ලෙස හඬක් නැඟීය.
ජනතාව මොන අන්දමේ සුඵතර හෝ විශාල වුවත් අසාධාරණට ලක් වීම මොන රටක වුවත් කිනම් පාලනයක දී වුවත් සිදු නොවිය යුතු බව අදහමින් සාහිත්‍යයකරණයේ යෙදි ඈ,
කොමියුනිස්ට් පාලනය තුළ රුමේනියාව තුළ ක්‍රියාත්මකව පැවති ප්‍රචණ්ඩත්වය කෲරත්වය හා භීෂණය සිය කෘතීන් තුළින් මනාව ප්‍රති නිර්මාණය කරමින් ඒ පිළිබඳව ලෝක අවධානයට ලක් කර, ප්‍රබල සාධාරණයක් එම සුළුතර ජර්මානුවන් වෙනුවෙන් සිදුකරනු ලැබීය.
හිට්ලර්ගේ යුද්ධයේ දී ජර්මානුවන් අතින් අසාධාරණ ට ලක් වූ අන්‍ය ජාතීන් ගැන මෙන්ම ඉන් පසු ඔහුන් අතරින් අසාධාරණ ට ලක් වූ ජර්මානුවන් ගැනද ඇය එකසේ හඩ නැගීය. එමෙන්ම යම යම් ජනතාවාදී මත ඔස්සේ පාලනය ලබා ගන්නා ඇතැම් පාලකයන් ගේ පසුකාලීන කෘර හැසිරීම්ද ඇගේ නිර්දය විවේචනයට ද භාජනය විය.
2009 වසරේ දී නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලබන ඈ ඒසහා මහාත් කීර්තියක් සාහිත්‍ය ක්ෂේත්‍රයේ ලබා ගත්තේ අවංකව ම, රට තුළ ක්‍රියාත්මක වූ මර්දනයට හා භීෂණයට විරුද්ධ ව සිය අසහාය  ප්‍රතිභාව නොබියවව හැසිර වූ නිසා ය.
ඇය විසින් ලියන ලද බොහෝ කෘතීන් අතිශය පාඨක ප්‍රසාදය දිනා ගත් මෙන්ම ජාත්‍යන්තර අවධානය දිනා ගත්, බොහෝ භාෂා ගණනට ලොව පරිවර්තනය වූ කෘතින් ද වේ .
ඇය විසින් ජර්මානු බසින් ලියන ලද, මෙම කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය වන The Passport කෘතියේ “පිටු වහල් වීම” නමින් චූලානන්ද සමරනායකයන් ඒ අතින් පරිවර්තිත ව සුබාවී ප්‍රකාශනයක් ලෙසින් 2012දී ප්‍රකාශනයට පත් වූ මෙම පොත ද ඇගේ විශිෂ්ටතම කෘති අතරින් එකකි.
“නිලධාරිවාදය තුළින් ජන ජීවිතය මත පටවනු ලබන පීඩනයත්, ආගමික සංස්ථාව තුළ පවතින දූෂිත බවත් එම දූෂිත බවට හා පීඩනයට එරෙහි ව සටන් කිරීමට අසමත් වන පුරවැසියාගේ ඉතා කටුක ඉරනම ඉතා සංවේදී හා සංවාදාත්මක ව විවරණය කරන මෙම පොත ඒ පිළිබඳ ව ලියැවුණු ඉතා විශිෂ්ට ම කෘතියක් ලෙස ද ලෝක සාහිත්‍ය සම්භාවනාවට පාත්‍ර වී තිබේ.
නොබෙල් සාහිත්‍ය සම්මානය ඇතුළු ලෝකයේ පිළිගත් විශිෂ්ට සාහිත්‍ය සම්මාන රැසක් හිමිකරගෙන ඇති හෙර්තා මුලර් 1987සිට ජර්මනියේ වාසය කරමින් සාහිත්‍යකරණයේ යෙදුන ද නිරන්තරයෙන් සිය සාහිත්‍ය භාවිතාව අසාධාරණයට ලක් වන ලොව මානව වර්ගයා ගේ හිත සුව පිණිස ම යොදා ගනිමින් සිටී .
නිරන්තරයෙන් පීඩාවට පත් වෙමින් මර්දනකාරී වටපිටාවක ජීවත් වන “වින්ඩිස්ච්” නම් අප කතානායකයාගේ කටුක වූ ජීවිතය ඔස්සේ ප්‍රබලව රුමේනියානු සමාජ සංස්ථාව විවේචනයට බඳුන් කරන ඈ ඉතා නිර්මාණශීලී අයුරින් ආරම්භයේ සිටම අවසානය දක්වා පාඨකයා ගේ හදවත සංවේදී කළම්‍ඹනයකට ලක්කරමින් ඉදිරියට ගෙන යන අතර ලෝකයේ ඕනෑ ම රටක, මර්දනකාරී පාලනයක් තුළ ජනයා විඳින අනේක විධ දුක් ගැහැට සර්ව ජාතිකව ඇය මෙම පොතු තුළින් ප්‍රතිනිර්මාණය කරයි .

මෙය චවුචෙස්කිගේ රුමේනියානු පාලනය යටතේ වූ ජනයාගේ කතාවක් පමණක් නොව එවැනි පාලකයන් සිටින ලොවේ සෑම රටක ම ජනතාවගේ ද කතාව බව ඇය ලොව හමුවේ පවසයි.
හෙර්තා මුලර් ලාංකික පාඨකයන් හට ඉතා හොඳින් හඳුනා ගැනීමටත් ඇගේ සාහිත්‍ය භාවිතාවේ ඇති අනම්‍ය වූ දේශපාලනයත් හඳුනා ගැනීමටත් මෙම පොත මනා පිටුවහලක් ද ලබා දෙන අතර,ලංකාවේ ප්‍රකට පරිවර්තකයෙකු වන චූලානන්ද සමරනායකයන් ලාංකීය පාඨකයන් හට ඇය සමීප කරවීම ට ගනු ලැබ ඇති මෙම උත්සහය පාඨක ප්‍රසාදයට අනිවාර්යෙන්ම ලක් වනවා ද ඇත.
-ලලිත් රවීන්ද්‍ර බෝපිටිය

 

Leave A Reply

Your email address will not be published.

eight − three =