ඩයන් ගෝමස් නිතරගයෙන්…

ශ්‍රී ලංකා බොක්සිං වාර්ෂික මහ සභා රැස්වීමේ දී සභාපති ලෙස මෙවරත් හිටපු සභාපති ඩයන් ගෝමස් පත් වෙතැයි පැවසේ. අගෝස්තු 20 වැනිදා පැවැත්වීමට නියමිත නිලවරණය සඳහා නාමයෝජනා කැඳවීම පසුගිය 18 වැනිදා නිමාවට පත් විය. එහි දී නාමයෝජනා ඉදිරිපත් කර ඇත්තේ, ඩයන් ගෝමස් ප්‍රමුඛ කණ්ඩායම පමණකි. එම හේතුව මත ඉදිරි වසර හතරේ දීත් ඩයන් බොක්සිං සභාපතිවරයා ලෙස යළි කටයුතු කරනු ඇතැයි සඳහන් වේ.

ඩයන් ගෝමස් මීට පෙර 2017දී බොක්සිං සභාපතිවරයා ලෙස පත් වූයේ ද නිතරගයෙනි. මෙවරත් සභාපති වුවහොත්, ඔහු සභාපති ධුරයට පත් වන තෙවැනි අවස්ථාව මෙයයි. ඩයන් ගෝමස් 2004දී පළමුවරට බොක්සිං සභාපතිවරයා ලෙස පත්ව 2007 වසර දක්වා කටයුතු කළේ ය. අනතුරුව 2017 සිට මේ දක්වා ද එම තනතුරෙහි කටයුතු කරයි.

බොක්සිං සඳහා නාමයෝජනා භාර දුන් ඩයන් ගෝමස් පාර්ශ්වයේ උප සභාපතිවරුන් ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් ගුණරත්න සහ හිටපු ජාතික පුහුණුකරු වසන්ත කුමාර සිටිති.

බොක්සිං නව ලේකම්වරයා ලෙස ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ තාක්ෂණික නිලධාරියකු සහ ආසියානු බොක්සිං විනිසුරු සංගමයේ ලේකම්වරයා මෙන්ම හිටපු ජාතික ශූරයකු ද වන විශ්‍රාමික ලුතිනන් කර්නල් හේමන්ත වීරසිංහ පත් වීමට නියමිත ය. ඔහු 2008 සිට 2010 දක්වා කාලසීමාවේ දී ද බොක්සිං ආයතනයේ ලේකම් ලෙස කටයුතු කළේ ය●

සිසිර යාපා

Leave A Reply

Your email address will not be published.

five − three =