“මන්ත‍්‍රීකම මගේ නෙමෙයි”

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක

 ඔබ 2000 වසරේ සිට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු නියෝජිතයෙක්. වසර ගණනාවක පාර්ලිමේන්තු අත්දැකීම් ඇති අයෙක් ?
ඔව්, හරියටම කිව්වොත් අවුරුදු 15ක් විතර පාර්ලිමේන්තු මන්ත‍්‍රීකම දරලා තියෙනවා. මුලින්ම මම පාර්ලිමේන්තුවට තේරුණේ 2000දී. එතැන දී මම නියෝජනය කළේ කුරුණෑගල දිස්ත‍්‍රික්කය.
අවසන් වූ මහා මැතිවරණයේ දී ඔබ නියෝජනය කළේ ඔබේ පක්ෂයත් අයත් වූ ජාතික ජන බලවේගයේ මාලිමාව යටතේ. ඔබ අයත් වුණේ එහි ජාතික ලැයිස්තුවට ?
ඔව්.
ඔබ එම ජාතික ලැයිස්තුවේ අංක එකට හිටපු කෙනා?
ඔව්.
මහ මැතිවරණයට පස්සේ පවත්වපු පළමු ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදීී අනුර කුමාර දිසානායකගෙන් මාධ්‍යවේදීන් ප‍්‍රශ්නයක් අහනවා, මාලිමාවට හිමි එකම එක ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයට කවුද නම් කරන්නේ කියලා. එතැන දී අනුර කුමාර දිසානායක කියන්නේ, ජාතික ලැයිස්තු අනුපිළිවෙළ අනුව ඒක සිදු කරනවා කියලා ?
ඔව්, අනුර සහෝදරයා එහෙම කිව්වා.
ඒත්, ඒ මාධ්‍ය හමුවෙන් දින කිහිපයකට පස්සේ මේ වෙන කොට මාලිමාවට හිමි ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයට නම් කරන්නේ ආචාර්ය හරිනි අමරසූරියව ?
ඔව්. අනුර සහෝදරයා ඒ මොහොතේ ප‍්‍රකාශ කළේ අපි හිටපු ස්ථාවරය තමයි. මැතිවරණ ප‍්‍රතිඵලවලින් පස්සේ අපි පක්ෂය ලෙස තීරණය කළා මේ මන්ත‍්‍රී ධුරය පක්ෂයෙන් පිටත ජාතික ජන බලවේගය නියෝජනය කරන අයකුට දීම මේ මොහොතේ වැදගත් වන බව. ඒ තීරණය ගත්තේ බොහෝ කරුණු කාරණා සලකා බලලයි. ඉන් පස්සේ ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයට අපේ යෝජනාව ඉදිරිපත් කරලා, එහි සාකච්ඡා කරලා තමයි ආචාර්ය හරිනි අමරසූරිය සහෝදරියට ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය ලබා දුන්නේ.
අපි දැක්ක දෙයක් තමයි, පසුගිය මහා මැතිවරණයේ දී මාලිමාව කණ්ඩායම විදිහට එහි වැඩි බරක් දැරුවේ ජනතා විමුක්ති පෙරමුණේ අය බව. ඉතින් එහෙම වටපිටාවක දී ලැබුණු එකම එක ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය ජවිපෙට ගන්නේ නැතුව ඇයි මාලිමාවේ වෙනත් අයෙකුට දුන්නේ ?
ඔබ කියන සමහර දේ බැලූබැල්මටම ඇත්ත වගේ පේනවා තමයි. උදාහරණයක් විදිහට මාලිමාවේ අයගෙන් ඡන්දය වෙලාවේ දී වැඩිපුරම වැඩ කළේ ජවිපෙ ය කියන එක ඉන් එකක්. ඔව්, අපිට පක්ෂයක් විදිහට මැතිවරණවල දී වැඩ කරලා මාලිමාවේ අනෙක් අයට වඩා බිමේ අත්දැකීම් තියෙනවා. හැබැයි, මාලිමාවේ අපි කණ්ඩායමක්, සන්ධානයක්, පෙරමුණක්. එතැන දී අපි එකිනෙකාට සාමුහිකවත්, වෙන් වෙන්වත් කරන්න වැඩ කොටසක් තිබුණා.
අපෙන් පිටත ඉන්න අයට ඒක පේන්න ඇත්තේ ඔබ කියන විදිහට වෙන්න ඇති. හැබැයි, මාලිමාවේ හැම සංවිධානයක්ම, හැම පුද්ගලයෙක්ම, හැම අපේක්ෂකයෙක්ම තමන්ගේ වගකීම් අඩුවක් නැතුව උපරිමයෙන් කළා. ඒ නිසා ලැබුණු හැම ප‍්‍රශංසාවක්ම, හැම සුබ පැතුමක්ම, හැම අගය කිරීමක්ම අපි හැමෝටම අයිතියි. ඒ විදිහටම ලැබුණු එකම එක ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයත් මාලිමාවේ හැමෝටම අයිතියි.
ඒත්, යෝජිත ජාතික ලැයිස්තුවේ අංක එකට හිටපු ජවිපෙ ජාතික සංවිධායක වගේම වසර ගණනාවක පාර්ලිමේන්තු මන්ත‍්‍රි ධුරයේ වැඩ කරලා අත්දැකීම් තියෙන බිමල් රත්නායකට වඩා ඒක වෙනත් අයකුට දීම බැලූබැල්මට අසාධාරණයි නේ ද?
මම නැවතත් කියන්නම්. මේ තීරණය ප‍්‍රමුඛතා අතර ප‍්‍රමුඛතාවක්. ඉදිරි දේශපාලන තත්ත්වයන් සැලැකිල්ලට ගත්තහම ජනතා විමුක්ති පෙරමුණට විශාල භූමිකාවක් තිබෙන බව ඇත්ත. ප‍්‍රතිගාමී කඳවුරට එරෙහිව සක‍්‍රියව කටයුතු කරන්න වෙනවා. ඒත් ඒ වගේම අපි දන්නවා මේ සමාජය යහපත් තැනකට ගෙන යන්න වුවමනාව තිබෙන, මහන්සි වන අය ජවිපෙන් පිටතත් ඉන්නවා. අපි ජාතික ජන බලවේගය ගොඩනැඟුවේ ඒ සියලූ දෙනාට එකතු වෙන්න පුළුවන් මධ්‍යස්ථානයක් අවශ්‍ය නිසයි. ඒ පුළුල් මහජන ව්‍යාපාරය ගොඩනැඟීම පිළිබඳවත් අපි වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. මෙවැනි කරුණු ගණනාවක් සලකා බලලා තමයි, අපි මේ තීරණයට ආවේ.
ඒ අතර ඇතැම් අය මේ අවස්ථාවේ දී බලන්නේ, ජාතික ලැයිස්තුවෙන් ආචාර්ය හරිනි අමරසූරිය සහෝදරියව පත් කිරීම අරගෙන මාලිමාව අතරේ අර්බුදයක් තියෙනවා කියලා මවාපාන්න. එහෙම උදවියට මේ වැඩේ බැලූබැල්මට ම ඒ වගේ පේනවා ඇති. අපි හිතනවා සන්ධානයක්, සමූහයක්, පෙරමුණක් වැඩ කරන්න ඕනේ එහෙමයි කියලා.
අනෙක් පක්ෂ සියල්ලම දැන් තමන්ගේ ජාතික ලැයිස්තුවට කාවද පත් කරන්නේ, කාගේ කෝටා එකෙන්ද කපන්නේ, කාවද අයින් කරන්නේ කියලා ප‍්‍රසිද්ධියේ මරා ගන්නවා. මාලිමාව මොකද කළේ ? අපේ මාලිමාවේ හැමෝම එකපයින් පළමු සාකච්ඡාවේ දීම කිව්වේ, එකම එක ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය අපිට එපා. ඒක ජනතා විමුක්ති පෙරමුණට ම ගන්න කියන එක. වෙනෙකක් තියා හරිනි සහෝදරියත් එහෙම කිව්වා.
ඒ තමයි, ‘තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සුන්’ගේ ගුණය, ආදර්ශය.
ඇත්ත දේශපාලන පෙරමුණක් සාමුහිකව තීන්දු ගන්නේ කොහොමද කියලා මාලිමාවේ අපි ක‍්‍රියාවෙන්ම සමාජයට පෙන්නුවා. 145ක් ගත්ත අයගේ ඉඳන් ජාතික ලැයිස්තුවෙන් එකම එක ආසනයක් විතරක් ගත්ත සමහර උදවිය දක්වා වූ සියල්ලන් ම මන්ත‍්‍රීකමට මරා ගනිද්දී, මාලිමාවේ හැමෝම, ලැබුණු එකම එක ජාතික ලැයිස්තු මන්ත‍්‍රීකම ගැන කිව්වේ “අපිට නෙමෙයි, ඕක අයිති ඔයාලට” කියන එක.
මේ මජර දේශපාලනයේ දී ඔවැනි ආදර්ශයන් දෙන්න පුළුවන් වෙන කාට ද? මේ ආදර්ශය අසාධාරණයි, වැරදියි, ව්‍යාජයි කියලා කියන්න පුළුවන් කාට ද?
අලූත් කෙනකුට වඩා වසර ගණනාවක් අත්දැකීම් තියෙන, පාර්ලිමේන්තු ක‍්‍රියාවලිය හුරුපුරුදු, එහි කාරක සභා පවා නියෝජනය කරපු ඔබ අවංකවම විශ්වාස කරනවා ද ඔබට වඩා ජාතික ලැයිස්තුවෙන් පත් කළ ආචාර්ය හරිනි අමරසූරිය මාලිමාව අපේක්ෂා කරන පාර්ලිමේන්තු කාර්යභාරය හොඳින් ඉටු කරයි කියලා ?
ජාතික විද්වත් සංවිධානය තුළත්, ජාතික ජනබලවේගය තුළත් ඇය සමඟ අපි සමීපව කටයුතු කර තිබෙනවා. ඒ වගේම සරසවි ආචාර්යවරුන්ගේ අරගලය, සයිටම් අරගලය වගේම තවත් බොහෝ සමාජ ප‍්‍රශ්නවලදී යුක්තිය පැත්ත නියෝජනය කරමින්, ජනතාවගේ පැත්ත නියෝජනය කරමින් ඇය ක‍්‍රියාකාරීව මැදිහත්වී හඬ නගා තිබෙනවා. ඒ වගේම සමාජ අර්බුද පිළිබඳව ඇයට පුළුල් අවබෝධයක් තිබෙනවා. මේ සියලූ කාරණා සැලකිල්ලට ගත් විට මේ කාර්යභාරය ඇයට කරන්න පුළුවන් බව ජාතික ජන බලවේගයේ සියලූ දෙනාට විශ්වාසයක් තියෙනවා.
ඔබ මම ගැන අහන නිසා මම මගේ අත්දැකීම කියන්නම්. මම 2000දී කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් විදිහට තේරී පත් වෙන කොට වයස අවුරුදු 28ක කෙනෙක්. සාමාන්‍ය තරුණයෙක්. මට කලින් මගේ පවුලේ කවුරුවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙනකු වෙලා උන්නේ නැහැ. ඒත්, පක්ෂය විසින් ඊට අවශ්‍ය ධෛර්යයත්, ම`ගපෙන්වීමත් අපිට දුන්නා. ඒ නිසා අපිට ආධුනික බවක් දැනුණේ ම නැහැ,
ඊටත් වඩා විශේෂ කාරණයක් තියෙනවා. ඒ තමයි, අපි පාර්ලිමේන්තු ගිය අරමුණ. අපිට තිබුණේ තනි තනි පුද්ගල අරමුණු වෙනුවට පොදු සාමුහික අරමුණක්. ඒ අරමුණට යටත්ව අපි අවුරුදු ගණනාවක් පාර්ලිමේන්තුවෙන් එළියේ වැඩ කරලා තිබුණා. මම ජනතා විමුක්ති පෙරමුණ තෝරාගත්තේ සමාජවාදය වෙනුවෙන්. පක්ෂය තුළ විවිධ වගකීම් දැරැවේත්, දරන්නේත් ඒ වෙනුවෙන් තමයි. පාර්ලිමේන්තුවට ගියෙත් ඒ වෙනුවෙන් තමයි.
ඒ නිසා සමහරුන්ට වගේ අපිට පාර්ලිමේන්තුව මැජික් එකක් වුණේ නැහැ. සාමාන්‍ය තැනක් විතරයි. මන්ත‍්‍රීවරු වුණා කියලා අපි අසාමාන්‍ය මිනිස්සු නොවුණු බව අපිව ආශ‍්‍රය කළ පක්ෂයේ අයත්, අපේ පවුල්වල අයත්, සාමාන්‍ය මිනිස්සුත් දැනගෙන අවසන්. ඒ නිසා ‘මන්ත‍්‍රීවරු’ විදිහට අසාමාන්‍ය හැසිරීමකට හුරුවෙන්න අපිට ඕනෑ වුණේ නැහැ.
ඒ නිසයි මේ එකම එක ජාතික ලැයිස්තු මන්ත‍්‍රීකම මට අයිතියි කියලා මටත් හිතෙන්නේ නැත්තේ.
ඒ නිසා මාලිමාවට අයිති ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරයට පත් කරපු ආචාර්ය හරිනි අමරසූරිය සහෝදරිය කිසිම අඩුවක් නැතුව මාලිමාවේ අපේ වගකීම් ඉෂ්ට කරන එක මාලිමාවේ අනෙක් අයට වගේම මටත් විශ්වාසයි.

-සිසිර යාපා

Leave A Reply

Your email address will not be published.

eight − eight =