දිගු ගමනක් වෙනුවෙන් ‘ඒ ඇස්’ භාවිතා කරන්න

‘‘මෙන්න මෙතන තමයි මට දැනෙන තැන. ඒක හරි අමුතුයි. වෙනස්. මොකද මම එහෙම කියන්නේ කෙටිකතාවට නිමාවක් නැහැ කියල මම කියනවා. ‘ඔව්’ ඔබ කියයි. ‘නැහැ නිමාවක් තියෙනවා’ කියලා. මම අදහස් කළේ, ඒ නිමාව නොවෙයි. කෙටිකතාව ආකෘතිමය වශයෙන් නිමා වන තැන තමයි අර්ථමය හා චින්තනමය වශයෙන් එහි ප්‍රබලව සිදුවන්නේ. මට හිතෙන්නේ එහෙමයි.
හරි ඒක මම මෙහෙම කියන්නම්. ඔන්න අපි කෙටිකතාවක් කියවල ඉවර වෙනවා.ඒත් ඒකෙ නිමාවක් නෑ. මොකක්දෝ අඩුවක් දැනෙනවා. එතැන ඉලා අපි සමහර වෙලාවට ලේඛකයට බනිනව. ඇයි ඒ එයාට තව ටිකක් ලියන්න තිබුණා කියලා.
නවත්තපු තැන ඉල අපි ඉවරයක් නැතුව හිතන්න ගන්නවා. එතකොට ප්‍රඥාවට ඉඩක් ලැබෙනවා. එය ටිකෙන් ටික විකසිත වෙන්න ගන්නවා. මෙය තමන්ගේ දැනුම් සීමාව, පරිචය අනුව වෙනස් වෙනවා. අත්දැකීම් සමුදායක් ඇති පාඨකයා බොහෝ දුර යනවා. අඩු අය ඒ ඒ සීමාවල නතරවෙනවා.’’
ඒ ඇස්: මනෝජ් ප්රතසන්න: පිටු 04, 05
කිසියම් පුද්ගලයකුගේ සාහිත්ය නිර්මාණයක් පිළිබඳ යමක් ලිවීම (විචාරය හෝ විවේචනය) සඳහා එම ලේඛකයාගේ හෝ ලේඛිකාවගේ අදහසක් ම උපුටා ගැනීම ඇතැම් විට ‘ඌරගෙ මාළු ඌරගෙ ඇඟේ තබා කැපීමක්’ ලෙස කිසිවකු දකැකිය හැකි ය. එසේත් නැතිනම් ලේඛකයාගේ හො ලේඛිකාවගේ නිවසේ ගල් ගලවා ඔහුට ම පහර දීමක් ලෙස දැකිය හැකි ය. එම ලිවීම අදාළ ලේඛකයාගේ හෝ ලේඛිකාවගේ අනාගත සුබ සිද්ධිය සඳහා කළ මගපෙන්වීමක් ලෙස ද කිසිවකු දැකිය හැකි ය.
මා මෙසේ සඳහන් කරන්නේ මනෝජ් ප්‍රසන්න විසින් රචිත ‘ඒ ඇස්’ කෙටිකතා සංග්‍රහය පිළිබඳ මගේ කියවීම ලිවීමට පෙර ඔහුගේ ම අදහසක් පළ කළේ කුමන අරමුණකින් ද යන්න තීරණය කිරීම අදාළ ලේඛකයා හෝ ලේඛිකාවගේ මෙන් ම මෙම ලියවීම කියන පාඨක ප්‍රජාවගේ අයිතියක් ලෙස සලකමිනි.
ඔහු සිය අදහස් දැක්වීමේ දී සඳහන් කරන විශේෂිත ම අසහස වන්නේ ‘කෙටි කතාවක නිමාවක් නැහැ කියල මම හිතනවා’ යන්නයි. මේ අදහස මම ද පිළිගනිමි. 2020 රජත පුස්තක සම්මානයෙන් පුද ලද අනුරසිරි හෙට්ටිගේ විසින් රචිත ‘මැරින් ඩ්රයිව්’ කෘතිය සම්බන්ධයෙන් මගේ කියවීමේ දී මම මෙය පැවසුවෙමි.
වැඩි දුර දැනගැනිම සඳහා මම එය මතු සඳහන් කරමි.
{‘‘ජීවිතයට සමීපව’’ නිර්මාණය කියවන මොහොතේ දී පාඨකයා හෝ පාඨකාව නොසන්සුන් වන අතර කියවා අවසන් වීමෙන් ඉක්බිති එකී නොසන්සුන්තාව වඩ වඩාත් වර්ධනය වන බව මගේ පුද්ගලික විශ්වාසය යි. සාහිත්යන නිර්මාණයකින් සිදුවිය යුත්තේ ද එය යි. මන්ද හොඳ සාහිත්ය ය නිර්මාණයක් යනු ‘‘කියවා අවසන් කළ නොහැකි’’ ප්රිපංචයක් යන්න මගේ අදහස ය.’}
2020/05/21: facebook
කෙටි කතාව සම්බන්ධයෙන් මනෝජ් ප්‍රසන්න දැක්වූ අදහසට එකඟ වෙමින් ම එහි අන්තර්ගත පළමු නිර්මාණය වන ‘නිසලි’ කෙටිකතාව කියවා අවසන් වූ සැණින් සිතට නැගුණේ වික්ෂිප්තභාවයකි. මන්ද ‘කෙටි කතාවක නිමාවක් නැහැ කියල මම හිතනවා’ යැයි එම කෘතියේ ම සඳහන් කළ මනෝජ් ප්රෂසන්න කතුවරයා ම මෙම නිර්මාණය (‘නිසලි’) අවසන් කර ඇති බැවිනි. එය අවසන් කර ඇතැයි මා පවසන්නේ එහි අවසන් වාක්යන වන ‘‘ඒ උඹෙ තාත්තා මයෙ රත්තරං….’’ ලෙස සටහන් කිරීම හේතුවෙනි.
කතුවරයා සිය නිර්මාණය ආරම්භයේ සිට ම නිසලි නමැති චරිතය සහ ජයරත්න නමැති චරිත ද්වය පාඨකයාගේ කුහුල දනවන ලෙස වර්ධනය කරන අතර අවසානයේ එය කඩා බිද දමන්නේ සිත් පිත් නැති පියෙකු හෝ මවක සිය දරුවා ඝාතනය කරන ආකාරයෙනි.
මගේ පුද්ගලික අදහස නම් එම නිර්මාණයේ අවසන් වැකිය වන ‘‘ඒ උඹෙ තාත්තා මයෙ රත්තරං….’’ යන්න වෙනුවට වෙනත් රූපකයක් භාවිත කළ යුතුව තිබුණා ය යන්න ය. නවක කවි කිවිඳියෝ අතින් ද මෙවන් වැරදි සිදුවන ආකාරය මම අනන්තවත් දැක ඇත්තෙමි. ඔවුන් විවිධ කාව්යෝකක්ති භාවිත කරමින් සිය: මව, පියා හෝ දරුවකු පිළිබඳ පවසා අවසානයේ ‘ඒ මගේ තාත්තා ය, ඒ මගේ අම්මා ය හෝ ඒ මගේ දරුවාය’’ යනුවෙන් යොදයි. එවිට ඔහු හෝ ඇය කළ නිර්මාණයේ වටිනාකම සම්පුර්ණයෙන් ම අඩාළ කෙරේ.
ඉදින් මනෝජ්ගේ පළමු නිර්මාණ සමුච්චයේ අන්තර්ගත පළමු කෙටිකතාව වන ‘ඒ ඇස්’ සම්බන්ධයෙන් මගේ මේ අදහස ප්රවකාශ කළ යුතු ම ය. මන්ද එසේ නොවුණ හොත් අනාගතයේ ද ඔහු සිය නිර්මාණ ප්‍රෙහෙලිකාවේ විසඳුම එම නිර්මාණයේ ම අග සටහන් කරනු නියත ය. නිර්මාණයක එය එසේ විය යුතු නැතැයි යන්න මගේ අදහස ය.
පළමු කෙටිකතාව එසේ වුව ද ‘ඒ ඇස්’ කෘතියේ අන්තර්ගත දෙවන කෙටිකතාවේ දී කතුවරයා සිය වෘත්තීය අත් දැකීම් ඇසුරෙන් ම ඉදිරිපත් කරන ‘වරද ?’ නම් නිර්මාණය තුළ ගුරු භුමිකාවේ දුර්වලතා මෙන් ම සාධනීය කරුණු ද පිළිබිඹු කිරීමට සමත්ව ඇත. ඒ හැරුණු විට මෙරට සමාජයේ පවත්නා තවත් ව්‍යසනකාරී ක්‍රියාවක ඇතුළාන්තය හෙළි කිරීමට කතුවරයා සමත්ව ඇත. ඒ කිසිවක් මෙසේ යැයි වාර්ථාකරණයෙන් ඉදිරිපත් නොකර කෙටි වාක්‍යයක්  තුළින්, කෙටි දෙබසක් තුළින් ඉදිරිපත් කිරීමට සමත්වීම කතුවරයාගේ දක්ෂතාවක් ලෙස සැලකිය හැකි ය.
‘‘වෙන්නැති වෙන්නැති. ඊටත් වඩා අමාරුවක තමයි මාත් වැටිලා ඉන්නේ. චේතියගේ ලකුණක් වැරදිලා. ලකුණු පොතත් හැදුවට පස්සෙ දැක්කේ. ප්‍රින්සිපල් දැන් ඉතිං ඔළුව කාවි.’’
මෙම දෙබස් ඛණ්ඩය තුළ ගුරු භූමිකාවේ බොහෝ කරුණු සැඟව පවතී. එය ඇතැම් විට ගුරුවරයකුගේ හෝ ගුරුවරියකගේ අතපසුවීමක් ද, නොසැලකිලිමත්භාවය ද යන්න පාඨකයාට යමක් සිතන්නට ඉඩ – කඩ විවර කර ඇත.
එමෙන් ම මෙම නිර්මාණයේ ප්‍රධාන චරිතය වන ගෞතමී මුහුණ පා ඇති ඛේද ජනක තත්ත්වය පිළිබිඹු කෙරෙන, ගෞතමීගේ මව විසින් පවසන එම ලද දෙබස් ඛණ්ඩය ඉතා ප්‍රබල ය. කතුවරයා දැනුවත්ව හෝ නොදැනුවත්ව ලියැවී ඇති දෙබස් ඛණ්ඩය අභ්‍යන්තරයේ සැඟව පවත්නා ඛේදවාචකය සමස්ත කතාවේ ම අරටුව යැයි මට සිතේ.
‘‘කෙල්ල ගෙදරින් පැනල එන්නත් හිතලා. ආච්චි එහේ හිටපු නිසා ඇවිත් නෑ. අනික තාත්ත ඇවිත් මට ආයි කරදර කරයි කියලා දු ඔක්කොම ඉවසගෙන ඉ‍ඳලා.. අනේ මහත්තයෝ කීප සැරයක් පංතියේ මිස්ට කියන්නත් හදලා.’’
ගුරුවර ගුරවරියන් දරුවන් කෙරෙහි දක්වන ආකල්ප වෙනස් කරන්නැයි නොපවසා පවසන්නට කතුවරයා මෙහි දී සමත්ව ඇත. අවම වශයෙන් වසන්ත සර් බඳු ගුරුවරු පස් හය දෙනෙකුවත් පාසලක සිටින්නේ නම් දරුවන් සහ ගුරුවර ගුරුවරියන් අතර පවත්නා සබඳතාව වැඩි දියුණු කරගත හැකි බවට ද මෙම නිර්මාණය අපට පසක් කරයි.
‘‘මෙතෙක් වේලා පොළොවට පහර දෙමින් සිටි හිරු වලාකුළු අතරට වූයේ කෙටි විරාමයක් ගැනීම සඳහා ය. මෙතෙක් වේලා සැඟව සිටි මඳනල තුරු හිස් අතරින් පැමිණ අව් රශ්මියෙන් පීඩා විඳිමින් සිටි සිරුරුවල දාහය නිවාලන්නට විය.’’
යට සටහන් කළේ ‘වරද ?’ කෙටිකතාව අවසන් කරන ආකාරය යි. ‘නිසලි’ කෙටිකතාව අවසානය සනිටහන් කරද්දී මෙවන් සංකේතාත්මක ක්‍රමයක් භාවිත කිරීමට කතුවරයා සමත් වූයේ නම් ලිපියේ පළමු අදියර යට සඳහන් ආකාරයෙන් නොලියවෙන බව ද මෙහි දී අවධාරණය කළ යුතු ය.
‘ඒ ඇස්’ නිර්මාණ සමුච්චයේ අන්තර්ගත කෙටිකතා අතුරෙන් වඩාත් මගේ සිත් බැඳගත්තේ ‘කන්යාමවි’ නමැති නිර්මාණය යි. එය නිතැතින් ම ‘‘කුස ජාතකය’ සිහිකරවන්නකි.
කුස ජාතකයේ යටි පෙළ විමසා බලන විට දක්නට ලැබෙන්නේ ගැහැනියක විසින් ම තවත් ගැහැනියක ඉතා සූක්ෂම ආකාරයට මුළා කරන ආකාරය යි. අනෙක් පසින් එහි පිළිබිඹු වන්නේ රාජ්‍යත්වය උදෙසා රාජකීයයෝ මිනිසුන්ගේ: විශේෂයෙන් ම කාන්තාවන්ගේ මුලික අයිතිවාසිකම් කෙතරම් දුරට කෙලෙසනවා ද යන්න ය. ‘කන්‍යාවී’ නිර්මාණය ද එබඳු නිර්මාණයකි.
පරම්පරාවේ නම්බුව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ගැහැනියක විසින් තවත් ගැහැනියක ඉතා ම්ලේච්ඡ ලෙස මුළා කරනු ලබන ආකාරය මෙම නිර්මාණයේ යටි පෙළ ඉතා සියුම් ආකාරයෙන් ඉස්මතු කරයි. අනෙක් පසින් මෙහි ඉතාමත් ඛේදජනක තත්ත්වය වන්නේ සිය සැමියාගේ ආත්ම ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමායේ අවමනට, ගැරහුමට ලක්වන කාන්තා නියෝජනය යි. එවන් සමාජ සුරාකෑම් පිළිබඳ සිය නිර්මාණ තුළින් සාකච්ඡා කිරීම ද නිර්මාණකරුවකගේ වගකීමක් යැයි මම අදහස් කරමි.
යට විමංසනයට බඳුන් කෙරුණු නිර්මාණ ත්රිකත්වය හැරුණු විට අනෙක් නිර්මාණ හුදු කතන්දර තත්ත්වය අභිභවා යන්නට අසමත් වන අතර ලේඛකයා තව තවත් සතතාභ්‍යසයේ  නිරත වන්නේ නම් සාම්ප්‍රදායික කෙටිකතාව අභිභවන නිර්මාණකරණයක නියැළිය හැකි බව සඳහන් කළ යුතු ය. එසේ නොවන්නේ නම් ඔහුට ද හැකි වන්නේ, ‘කෙටි කතන්දර’ ලියා පළකිරීම පමණි.
-ජයසිරි අලවත්ත(fb)

Leave A Reply

Your email address will not be published.

twenty − 13 =