චේතන් භගත්ගේ “ඉන්දියාව සහ අපි”

බටහිර සැලකෙන්නේ අධිකතර පරිභෝජනය නිසා පිරිහුණු සහ පවුලේ වටිනාකම් ඛාදනය වුණු අඩවියක් ලෙසටය. “බටහිර වටිනාකම්” සමාජයට බෙහෙවින් හානිකර බව සැලකේ. ඊට වෙනස්ව ඉන්දියානුවන් “වඩා මානුෂික, ආදරණීය, අනෙකා ගැන සැලකිල්ලෙන් යුතු, ආධ්‍යාත්මික සහ අවංක අය විය විය යුතු බව අපිට පොඩි කාලෙ ඉඳලා කිය දෙනවා.” මෙසේ කියන්නේ ජනප්‍රිය ඉන්දියානු නවකතාකරුවෙකු වන චේතන් භගත්ය. ඔහුගේ What Young India Wants කෘතියෙහි අඩංගු වන්නේ ඔහු ලියූ තීරු ලිපි එකතුවකි.
සියලු නපුරද දූෂිත දෙයද බටහිර ඇතැයි කියමින් හැදුණු ඉන්දියානුවන්ගේ වර්තමාන ඉරණම භගත් සාකච්ඡාවට ගනියි. ඔහු එහිලා පිවිසෙන්නේ අප කවුරුත් අසා ඇති එක් ප්‍රකට ඇමරිකානු නඩු තීන්දුවකිනි.
2011 වර්ෂයේ ඔක්තෝබර් 26 වෙනිදා ඉන්දියානු සම්භවයක් ඇති ඇමරිකානුවෙකු වූ රාජත් ගුප්තා අත්අඩංගවට ගැනිණි. ඔහු සමාගම් ක්ෂේත්‍රයේ ඉතා ඉහළ පුද්ගලයෙකි. රාජ් රාජරත්නම් නම් ලංකාවටද සම්බන්ධයක් ඇති ව්‍යාපාරිකයාට සමාගම් කොටස් වෙළඳපොළ අභ්‍යන්තර තොරතුරු හෙළි කිරීම ගුප්තාට එල්ල වූ චෝදනාව වූයේය. රාජරත්නම් ඇතුළු දහතුන් දෙනෙක් අවුරුදු 11කට හිරේට නියම විය.
බටහිර දූෂිතභාවය ගැන කුඩා කල සිට අපට කරුණු කියන වැඩිහිටියන්ද ජනමාධ්‍යයද මෙවන් දූෂණ කරන අයට බටහිර රටවල් ලබා දෙන දඬුවම් ගැන නොකියන්නේ ඇයි? අනෙක් පුද්ගලයන් රැවටීම, තමන්ට අයිති කොටසට වඩා වැඩියෙන් කඩා වඩා ගැනීම වෙනුවෙන් ඇමෙරිකාවේදී විඳින්නට වන දඬුවම් ඉතා දැඩිය. අර කතාවේ ගුප්තා කර ඇති වරද සිය මිතුරාට තොරතුරු සැපයීමට වැඩි දෙයක් නොවේ.
චේතන් භගත් මෙසේ කියයි: ඇමරිකාව භෞතික සම්පතට ඇලුම් කරන ද්‍රව්‍යවාදී බව ඇත්ත. බොහෝ දුරට වස්තු තණ්හාවෙන් යුක්ත බවද ඇත්තය. එහෙත් වෙහෙම මහන්සියෙන්, නව්‍යතාවෙන්, දක්ෂකමින්, සහ කාර්යශූරත්වයෙන් ධනය ඉපයිය හැකි ක්‍රමපද්ධතියක් ඇමරිකානුවන් විසින් සාදනු ලැබ තිබේ. මේ ගුණ ඇති අය ජීවිතයෙහි ඉහළ නගිති. ඇමරිකානුවන්ගේ කොපමණ වැරදි ඇතත් ඔවුහු මේ ක්‍රමපද්ධතිය ආරක්ෂා කරති. ඒ ක්‍රම පද්ධතිය බිඳින්නට තැත් කරන, ඉහත කී ගුප්තා සහ රාජරත්නම් වැනි අයට දැඩි දඬුවම් ලැබේ. කොතරම් ඉහළ, ප්‍රභූ තැනැත්තෙකුට වුවද වරදක් කළොත් පාඩමක් ඉගෙනගන්නට සිදුවේ.
මේ විස්තරය කරන භගත් ඉන් පසු ඉන්දියාවට යොමු වේ. ඔහු මෙසේ කියයි: “අර වැනි අභ්‍යන්තර වෙළඳ රහස් පැත්තකින් තියමු. අතිමහත් සේ දූෂිත අයට එරෙහිව පවා ක්‍රියා කරන්නට නීති අපට නැත. අර වැනි අභ්‍යන්තර වෙළඳ රහස් හුවමාරුව වරදක් සේ වත් අපි නොදකිමු. අප එය දකින්නේ ඉහළ තත්ත්වයක් සහ බලයක් ඇති අයට ඇති වරප්‍රසාදයක් ලෙසය.
අභ්‍යන්තර වෙළඳ රහස් වැනි දේ නොව ආණ්ඩුවේ මහ නගර සැලසුම් ගැන කලින් තොරතුරු දැනගන්නා අතිවිශාල ධනවතුන් අදාළ ප්‍රදේශවලි ඉඩම් කලින්ම මිලට ගැනීම නිතර සිදුවේ. එමගින් ඔවුහු විශාල වශයෙන් ධනය උපයති. එහෙත් එවැන්නවුන්ට කවදාවත් දඬුවම් ලැබෙන්නේ නැත.
භගත් මෙසේද කියයි: ඒ වෙනුවට අපේ ආණ්ඩු දූෂණ විරෝධී ක්‍රියාධරයන්ට පහර දෙයි. දූෂිතයන් ආරක්ෂා කිරීම ආණ්ඩුවේ කාර්ය වුවාක් මෙනි. දූෂිතභාවය කොතරම් යත් ආණ්ඩුවේ සිටින තරම්ම දූෂිතයෝ විපක්ෂවලද සිටිති. ඒ නිසා අද, අපට අවශ්‍ය වුවත් අවංක ආණ්ඩුවක් පත් කරගැනීම කළ නොහැකි දෙයකි.
භගත් මෙසේ අසයි: “නරක” යැයි “නපුරු” යැයි අපට කියූ බටහිර දූෂිතයන්ට දඬුවම් දෙන අතරේ යහපත් යැයි කියන ලද අපට වූයේ කුමක්ද?
අපට අවංක නායකයන් අවශ්‍ය නොවීය. අපට අවශ්‍ය වූයේ “අපේ ජාතියෙන්,” “කුලයෙන්,” “ආගමෙන්”නායකයන් පත් කිරීම මිස අවංක නායකයන් පත් කිරීම නොවේ. අපි ඔනස්ටි (අවංකකමින්) සන්නද්ධ වනු වෙනුවට ඩිනාස්ටි (රාජ පෙළපති) මගින් සන්නද්ධ වීමට උනන්දු වීමු.
භගත් මෙසේද අසයි: අපට මේ තත්ත්වය වෙනස් කළ නොහැකිද? ඔහු යම් යම් යෝජනා කරයි.
පාසලේදී හෝ විශ්වවිද්‍යාලයේදී ලියන පැවරුම් රචනාවේදී හොරකරමින්ද, දුම්රිය ටිකට් පත් ලබාගැනීමේදී දරුවන්ගේ වයස ගැන බොරු කියමින්ද ඉන්දියානුවෝ දෛනිකව බොරු කරති. දූෂණය දෛනික පැවැත්මේම කොටසක් වී ඇත. අවංකම ආදී අලුත් වටිනාකම් පද්ධතියක් නිර්මාණය කොට ඒවා අප ඇසුරු කරන සමාජය වෙත පැතිරවීම අත්‍යවශ්‍ය බව භගත් යෝජනා කරයි.
ඔහුගේ මේ රචනය ඉන්දියාව ගැන ලිව්වද මෙය කියවද්දී මේ ලංකාවේ අප ගැන කියන රචනයක් නොවේදැයි මට සිතිණි. දූෂණය දෛනික ජීවිතයේ කොටසක් වූ යුගයක් අපි පසු කරමින් සිටිමු.
හෝඩියේ පන්තියට දරුවන් ඇතුළු කිරීමේ සිට මහාචාර්ය උසස්වීම් අයදුම් පත්‍රය දක්වා බොරු කරන සමාජයක් මම ඇසුරු කරමි. එය ඉතා ස්වභාවික දෙයක් බවට පත් වී තිබේ.
භගත් යෝජනා කරන පෞද්ගලික යහපත්භාවයට පමණක් මෙය වෙනස් කළ නොහැකිය. එයද මේ වෙනසෙහි අවශ්‍යම කොටසකි. අප රට මනුෂ්‍යයන් ඡන්දය දෙන ආකාරයෙන් පෙනෙන්නේ මේ දූෂිත සමාජය පිළිබඳ කම්පාවක් හෝ ලජ්ජාවක් ඇති පිරිස ඉතා සීමිත බවය.
චේතන්ගේ භගත්ගේ පොතේ නම තරුණ ඉන්දියානුවන්ට අවශ්‍ය කුමක්ද? යනුවෙන් සිංහලට නැගිය හැකිය. තරුණ ලාංකිකයන් අතිබහුතරයකට අවශ්‍ය දේ පසුගිය මැතිවරණයෙන් ප්‍රකාශ විය. අපේ රටේ චේතන් භගත්ලාට බොහෝ වැඩ තිබෙන බව ඉන් පෙනේ.
චේතන් භගත්ගේ පොත මට ත්‍යාගයක් සේ එව්වේ කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රකට උගතෙකු වන කුලරත්න සූරියආරච්චි මහතාය. ෆේස්බුක් නිසා හඳුනාගත් ඒ මහතාට උපහාරයක් සේ මේ රචනය මෙහි බහාලමි.
-ලියනගේ අමරකීර්ති

Chetan Bhagat

Leave A Reply

Your email address will not be published.

1 × one =