පිකාසෝගේ සිතුවම් අතර ජනප්‍රියම සිතුවම Guernica

විසි වැනි සියවසේ වඩාත්ම ඉහළ ගණයේ සිත්තර ගොන්නේ අයෙක් Pablo Picasso (1881 – 1973). ඔහු ස්පාඤ්ඤ ජාතිකයෙක්.
ඔහු ඔහුගේ දීර්ඝ නිර්මාණ දිවිය තුළ නිම කළ නිර්මාණ ප්‍රමාණය 20,000 ක් තරම්.
ස්පාඤ්ඤයේ උපන්නත් පිකාසෝ තම නිර්මාණ දිවියේ වැඩි කාලයක් ගෙව්වෙ ප්‍රංශයේ.
ඔහුගේ නිර්මාණ දිවියේ විවිධ යුග කලා ඉතිහාසකරුවන් දක්වනවා. විචාරකයන් හඳුනා ගන්නා විදියට Blue Period (1900 – 1904), Rose Period (1904 – 1906), African Period (1907 – 1909), Analytical Cubism (1909 – 1912), Synthetic Cubism (1912 – 1919), Neo Classical Period (1920 – 1930) සහ 1926 න් පසු Surrelism කාලය ලෙස මේ කාලයන් දැක්වෙනවා. පිකාසෝගේ සමස්ථ නිර්මාණවලිය අධ්‍යයනය කරන්නෙකුට මේ යුග පහසුවෙන් හඳුනාගන්න පුළුවන්.

Guernica නම් මේ සිතුවම පිකාසෝගේ සිතුවම් අතර ජනප්‍රියම එක.
1936 -39 දක්වා පැවති ස්පාඤ්ඤයේ සිවිල් යුද්ධයේදී සංස්කෘතික වශයෙන් වැදගත් නගරයක් වූ ගුඑර්නිකාවට 1937 අප්‍රේල් 26 දා බෝම්බ හෙලා විනාශ කිරීමේ සිදුවීම තේමා කර ගනිමින් තමයි පිකාසෝ 1937 දී මේ සිතුවම ඇන්දේ.
මේක අති දැවන්ත චිත්‍රයක්. උසින් අඩි 11 කට වැඩියි, පළලින් අඩි 25 කට වැඩියි.
මේ සිතුවමට පිකාසෝ භාවිතා කළේ වර්ණ තුනක් පමණයි. ඒ සුදු, කලු සහ අලු පමණයි. ඒ ඇයි කියල පසුව කියන්නම්.
ඒ වගේම මේ සිතුවම නිම කරන්න ඔහු ස්කෙචස්, දළ සටහන්, ගණනාවක් ඇන්දා.
නමුත් අවසන් සිතුවම ඉතාම කෙටි කාලයකින් කළ එකක් බවයි කියවෙන්නෙ.
පිකාසෝ මේ සිතුවම අඳිද්දි එය අඳින අයුරු නරඹන්නට බොහෝ දෙනාට තම කලාගාරයට ආරාධනා කළා. ඒ අනුව චිත්‍රය සඳහා සමාජ අවධානය හා ලෝක අවධානය වැඩියෙන් යොමු වුණා.
ගුඑර්නිකා නගරයට බෝම්බ හෙළීමේ සිදුවීම හා ඒ තුළින් සිදු වූ ජීවිත හා දේපල හානියේ ප්‍රමාණයත්, යුද්ධයේ භයංකාර බවත් පිළිබඳ අලුත් අවදානයක් මේ සිතුවම නිසා යොමු වුණා.
පිකාසෝගේ Guernica සිතුවම ඒ යුගයේ බොහෝ නගර වල ප්‍රදර්ශනය කෙරුණා. එයින් ඉපැයූ ධනය ගුඑර්නිකා නගරය යළි ගොඩ නැගීමට පරිත්‍යාග කෙරුණා.
*
මේ සිතුවමේ කේන්ද්‍ර චරිත අතර අශ්වයන්, කුළු හරකුන් පවා සිටිනවා.
බොහෝ දෙනා දන්නවා ස්පාඤ්ඤ සංස්කෘතිය තුළ අශ්වයන්ට හා හරකුන්ට ඇති සුවිශේෂ ස්ථානය පිළිබඳව.
ඒ වගේම දරුවන්, මව්වරුන් වගේම මේ දරුණු බෝම්බ ප්‍රහාරය හමුවේ විනාශ වූ සෙසු පාත්‍රයන් වෙතත් පිකාසෝගේ අවධානය යොමු වී තිබෙනවා.
චිත්‍රයේ වම්පස කෙළවරේ ඉන්නේ කුළු හරකෙකු හා මියගිය දරුවෙකු දරා සිටින මවක්. කුළු හරකා ස්පාඤ්ඤ සංස්කෘතිය තුළ ශක්තිවන්ත භාවයේ සංකේතය. මේ කුළු හරකාගේ උඩට හැරුණු නැට්ට ගිනි ගනිමින් තිබෙන්නේ.
කුළු හරකාගේ මුහුණට පහළින් වන මවගේ මුහුණ හා ඇගේ කෑ ගැසීමේ ස්වභාවය තුළ මේ කුරිරු සිදුවීමේ භයංකාර බව හා රුදුරු බව පිකාසෝ අපට හඟවනවා.
ඊට පසෙකින් වන අශ්වයාගේ රුදුරු කෑ ගැසීම මේ බෝම්බ හෙළීමේ භයංකාර බව තවත් ඉස්මතු කර දක්වනවා පමණක් නොව යුද්ධය යනු මනව වර්ගයා පමණක් නොව සමස්ථ සත්ත්ව ප්‍රජාව වෙතම හෙළන රෞද්‍රතාවක් බව අපට චිත්‍ර ශිල්පියා හඟවනවා.
චිත්‍රය මධ්‍යයේ ඇති බල්බය එක් පසෙකින් ඇසක් හා සමානයි, තවත් අතෙකින් එය සූර්‍යයා හා සමානයි. මේ මුළු ඛේදවාචකය දෙසම අපගේ අවදානය හා බැල්ම යොමුවිය යුතු වීමේ වැදගත්කම පිකාසෝ මේ තුළ සංකේතවත් කරන අතර ඊට පසෙකින් වන තැතිගත් ගැහැණියක අත දරා සිටින පහන ක්‍රිස්තියානි සංකේතයන්ට අනුව බලාපොරොත්තුවේ හා දැනුවත් භාවයේ අරුත විදහා පානවා.
සිතුවමේ පහළ සිටින්නේ අසු පිටින් බිම වැටුණු සටන්කාමී සෙබළෙක්. ඔහුගේ අත රැඳි කඩුව කැඩී ගොස් තිබෙනවා. එම කඩුව පසෙකින් පිපුණු මලක් සිතුවමට නැඟීම තුළ බලාපොරොත්තුව පිළිබඳ තවත් සංකේතයක් පිකාසෝ අපට මතු කරනවා.
මේ සොල්දාදුවා විමුක්ති භටයෙක්. ඔහුගේ දෑත් දෙපසට විහිදී ඇති අයුරු බලන්න. එය ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත ඇණ ගසා සිටි ආකාරයට සම නොවේද?
චිත්‍රයේ හරි මැද දෙසද බලන්න. එහි පිකාසෝ අශ්වයාගේ හදවත පෙදෙස දැඩි ලෙස තුවාල වී ඇති අයුරු දක්වනවා. මා මුලිනුත් කී ලෙස ස්පාඤ්ඤ සංස්කෘතිය තුළ අශ්වයාට හා කුළු හරකාට හිමිවන තැන ගැන අපට හොඳ වැටහීමක් තිබිය යුතුයි මේ චිත්‍රය කියවා ගැනීමට. අශ්වයාගේ බෑඟිරිය කෙළින්ම යොමු වී ඇත්තේද කුළු හරකා දෙසට.
චිත්‍රයේ දකුණු කෙළවරේ ඉහළින් ඇති මිනිස් රූපය දෙස බලන්න. එය ස්ත්‍රී හෝ පුරුෂ ලෙස හඳුනාගත නොහැකි ලෙස පිකාසෝ ඇඳ තිබෙනවා. මේ දරුණු බෝම්බ ප්‍රහාරයෙන් පීඩිත වූවෙකු, ගින්නට හසු වූවෙකුගේ මොර දීම ඉතා භයංකාර ලෙස ඔහු සිතුවමට නගනවා. ඒ භයානක ගොඩුරු වීමට ස්ත්‍රී පුරුෂ බේදයක් නොමැති බවද එය සමස්ථ මානව හා සත්ව වර්ගයාද, මිනිසා ගොඩ නැගූ දේද අයත් බව ඔහු අපට හඟවනවා.
පැය තුනක් පුරා ගුවනින් හෙළූ මේ බෝම්බ ප්‍රහාරය ඉතා කෲර වූවක්. යළිත් බලන්න ඒ මිනිස් රුව දෙස. එහි වේදනාවේ මොර ගෑම.
එම මිනිස් රුවෙහි දකුණු අතෙහි ඇඟිළි පිකාසෝ ඇඳ ඇත්තේ බෝම්බ හෙළන ගුවන් යානයක ස්වරූපයෙන්.
පිකාසෝ සළකන්නේ චිත්‍ර කලාවේ ඝනිකවාදය හෙවත් Cubism හී ආරම්භකයෙක් ලෙස. මේ සිතුවම සම්පූර්ණයෙන්ම එකී කලා ප්‍රවේශයට අනුව නිමවූවක්.
මේ සිදුවීම සිදුවන කාලයේ පිකාසෝ ජීවත් වුණේ පැරීසියේ. ඔහු මේ බෝම්බ හෙලීම ගැන දැන ගත්තේ පුවත්පත් වාර්ථා මගින්. එනිසා පුවත්පතක කලු සුදු නිමාවට ගැලපෙන සේ සුදු, කලු සහ අලු වර්ණ වලින් පමණක් මේ සිතුවම කිරීමට ඔහු පෙළඹුණු බවත් කියවෙනවා.
එදා සිට අද දක්වා මේ Guernica සිතුවම යුද්ධයට, ප්‍රචණ්ඩත්වයට, ආක්‍රමණයට එරෙහි කලා කෘතියක් ලෙස මහත් සම්භාවනාවට පාත්‍ර වෙනවා.
දෙවන ලෝක යුද්ධයේදී නාසි හමුදාව ප්‍රංශය ආක්‍රමණය කළ වේලේ නාසි ජනරාල්වරයකු පිකාසෝගේ කලාගාරයට පැමිණ Guernica සිතුවම පෙන්නා “මෙය කළේ ඔබදැයි?” අසා ඇත.
පිකාසෝගේ පිළිතුර වී ඇත්තේ “එය කළේ මා නොව ඔබලායි.” කියාය.
-ජනක ඉනිමන්කඩ
‘විදසුන්’

Pablo Picasso

 

 

Leave A Reply

Your email address will not be published.

twenty − 11 =