අපි දැනටමත් විකිණිලා

ජිනිදු පද්ම ශ්‍රී බණ්ඩාර

නාට්‍යකාරයෙක් වීම කෙරෙහි උපහාසාත්මකව බලන සමාජයක් පවතින රටක ජිනිදු කියන්නෙත් නාට්‍යකාරයෙක්. මරදාන ටවර් හෝල් රඟහලෙන් අධ්‍යාපනවේදී නාට්‍ය හා රංග කලාව පිළිබඳව උපාධිය ලබාගන්න ජිනිදු, පසුව කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ නාට්‍ය ගුරුවරයකු විදිහට කටයුතු කරනු ලබනවා. මේ වන විට බැංකුකරුවකු ලෙස රැකියාව කළද, තවමත් ඔහු තමන්ගේ ප්‍රකාශන මාධ්‍යය අත්හැර දමා නොමැති නමුත්, දිනෙන් දින කලාකරුවාගේ පැවැත්ම ගැන ප්‍රශ්න කෙරෙන සමාජයක් ඉදිරිපිට අභියෝගයට ලක්වෙන ජිනිදු යම් මොහොතක තමන්ගේ ප්‍රකාශන මාධ්‍ය වෙනස් කරමින් නිර්මාණ එළිදක්වන්න පෙළඹෙනවා. මේ නවකතාවක් ලියූ නාට්‍යකාරයෙක් වන ජිනිදු පද්ම ශ්‍රී බණ්ඩාර සමඟ කළ කතාබහක්.

  • නාට්‍යකාරයෙක් කොහොමද නවකතාකාරයෙක් කියන තැනට එන්නේ ?

ඔෆිස් එකේ පැය අටක් වැඩ කරලා ගෙදර ගියාම නාට්‍ය වැඩ කරන මට දවසකට පැය හතරක් තමයි අලුතෙන් ඉගෙන ගන්න, ලියන්න ලැබෙන්නේ. ඒ තමයි ටේ්‍රන් එකේ ගෙදර යනකම් ලැබෙන පැය හතර. මේ සම්පූර්ණ කතාවම ලියවුණේ කෝච්චියේ යන ගමන් මිනිස්සු අතරේදීම තමයි. නාට්‍යකාරයෙක් විදිහට මේකත් මට නාට්‍යයක් ගැන තිබුණ ප්ලොට් එකක්. හැබැයි තවත් වේදිකා නාට්‍ය දෙකක් විතර ලියල ප්‍රඩක්ෂන් කරගන්න බැරුව ඉන්න වෙලාවක මම කල්පනා කළා තවත් නාට්‍යයක් අමාරුවෙන් කුසේ දරුවෙක් හදනවා වගේ හිත ඇතුළේ වදලා වදලා ඒ දරුවාව ලියල ජාතක කරලා, මට ඒ දරුවට පණ දෙන්න බැරි නම් වැඩක් නෑ කියල. ඊට පස්සේ තමයි තීරණේ කළේ මේක නවකතාවකට ගේනවා කියන එක.

  • වේදිකා නාට්‍යයක් වෙනුවෙන් ගොඩනගපු කතාවකින් නවකතා පොතක් කිරීමේ අත්දැකීම මොන වගේද ?

ඇත්තෙන්ම නවකතාවකට ගේනකොට මට හරි නිදහසක් ලැබුණා කතාව හැසිරවීම ගැන. මොකද අපි නාට්‍යයක් වේදිකාවකට ගේනකොට විවිධ න්‍යායන් මත තමයි කටයුතු කරන්න වෙන්නේ විශේෂයෙන්ම ඇරිස්ටෝටල් විසින් හඳුන්වලා දීපු ත්‍රිවිධ ඒකීයත්වය වගේ න්‍යායන්. පොතක් ඇතුළේ එහෙම න්‍යායික නීති නැහැ. හැබැයි මේක මහන්සි වෙලා කියවන්න වෙන පොතක්. මොකද වෙනත් පරිච්ඡේදයක මම තියන සංකේතයක් තවත් පරිච්ඡේදයකදී පුපුරලා යන්න පුළුවන්. මේ කතාවට වස්තු විෂය වෙන්නේ ජනාධිපති මන්දිරය ඇතුළේ වෙන කුමන්ත්‍රණයක්.

  • “විකිණී අවසන්” අනිත් නවකතාවලින් වෙනස් කියල ඔබ කියන්න හේතුව ?

මම මේක නාට්‍ය ලෝකයෙන්ම පටන් ගන්නම්. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් නාට්‍යවේදියා හඳුන්වාදුන්නා “දුරස්තීකරණය” නම් න්‍යායක්. ඔහු මෙතනදී අදහස් කරන්නේ “ප්‍රශ්නයත් එක්ක අනන්‍ය නොවී, ප්‍රශ්නයෙන් දුරස් වෙලා බැලුවොත් පහසුවෙන් ප්‍රශ්නය තේරුම් ගන්න පුළුවන්” කියන කාරණය. මොකද එතනදී අපි සවිඥානිකයි. බ්‍රෙෂ්ට් තමන්ගේ නාට්‍ය අතරතුර සෙට් චේන්ජ් එක ඇඳුම් මාරු කරන එක පේන්නම කරනවා. එතකොට බලන් ඉන්න මිනිස්සුන්ට තේරෙනවා මේ අපි බලන්නේ නාට්‍යයක් කියල. ඒ තාක්ෂණය තමයි මම මේ නවකතාවට භාවිත කළේ.

  • නවකතාවකදී සාමාන්‍යයෙන් අපි ඒ චරිතත් එක්ක ජීවත් වෙනවා, ඒ ප්‍රශ්නත් එක්ක ඉන්නවා. නමුත්

“විකිණී අවසන්” නවකතාව කියවන පාඨකයාට නම් ඒ මනෝලෝකෙ ජීවත් වෙන්න ඉඩක් ලැබෙන්නේ නෑ. මම දන්නා විදියටත්, පොත කියවපු ප්‍රොෆෙසර් චන්ද්‍රසිරි පල්ලියගුරු සර්ගේ අදහසටත් අනුව නම් ලංකාව ඇතුළේ “දුරස්තීකරණ” න්‍යාය නවකතාවකට යොදාගන්ත පළමුවෙනි අවස්ථාව තමයි මේ.

  • වර්තමානයේ කලාව තුළින් පාඨකයන්ට යහපත් දේශපාලනික බලපෑමක් කරනවද ?

1978 ට කලින් මමත් අහල තියන සිනමාව, නාට්‍ය ඇතුළු විවිධ කලා කෘතීන් මුදල් අරමුණු කරගෙන බිහි වුණේ නැහැ. විවෘත ආර්ථිකයත් එක්ක තමයි මේ මුදල කියන සංකල්පය සමාජයට දැඩි බලපෑමක් කරන්නේ. ඉතින් මේ මුදල වෙනුවෙන් ඉක්මනටම විකිණෙන දේ මොකද්ද කියල බලන්න පටන් ගත්තා. ඒකත් එක්ක තමයි කලාව වාණිජ වෙලා දේශපාලනිකමය, සාහිත්‍යමය ගැඹුරක් නැති නිර්මාණ බිහිවෙන්න පටන් ගත්තේ. අතීතයේදී ග්‍රීසියේ මිනිස්සු ක්‍රි.පූ. හයවෙනි සියවසේදී නාට්‍ය බැලුවේ තමන්ගේ මානසික හැඟීම් සංතුලිත කරන්න කියල අපි අහල තියනවා. එකට කියන්නේ ක්‍ Catharsis කියලා. ඒ කියන්නේ මිනිස්සුගේ ශරීරය ඇතුළේ තියෙන වෛරය, දුක වගේ හැඟීම් නාට්‍යයවලින් උච්චත්වයට පත් කරනවා, ඒ කරලා සමනය කරනවා. හරියට භාවනාවක් වගේ. දැන් ඉන්න මිනිස්සුන්ගේ ආතතිය වැඩි වෙලා තියෙන්නේ ඉස්සර තිබුණ ගැඹුර ඒ කලාව තුළ නැති නිසා. එහෙම කලාවක් මගින් මිනිස්සුන්ගේ චින්තන ශක්තිය තවත් වැඩි කරනවා. හැබැයි එහෙම විචාරශීලී ජනතාවක් පාලනය කරන්න පාලකයන්ට අමාරු වෙනවා. ඒ නිසා පාලකයන් කැමතියි අඬල, දොඩලා, වැටිලා තෘප්තිමත් වෙන ටෙලිනාට්‍යම මිනිස්සු බලනවට. හැමදේම සල්ලි කියල ලෝකේ කැරකෙනකල්ම මේක මෙහෙම යනවා. නමුත් මෑතකදී මම දකිනවා ගැඹුරක් තියන නිර්මාණ ලංකාව ඇතුළෙන් බිහිවෙනවා. ඒක දිගටම සිද්ධ වුණොත් ලංකාවේ වෙනසක් වෙයි.

  • නාට්‍යකාරයෙක් සහ නවකතාකාරයෙක් විදිහට ඉදිරි වැඩ කටයුතු කොහොමද සැලසුම් කරලා තියෙන්නේ

මගේ කුළුඳුල් නවකතාව විදිහට “විකිණී අවසන්” කෘතිය පහුගිය 11 වෙනිදා grantha.lk හරහා නිල වශයෙන් ජනගත වීම සිදු වුණා. ඒ වෙනුවෙන් ග්‍රන්ථ ආයතනයට විශේෂයෙන් ස්තුතිවන්ත විය යුතුයි. අගෝස්තු දාසය වෙනිදට මගේ නාට්‍ය කිහිපයකුත් වේදිකාගත වෙන මොහොතක “විකිණිලා අවසන්” නවකතාව ගැන සහෘද කතිකාවතක් එක්ක මුණගැහෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ අවුරුද්දේ අන්තිමට මගේ දිගු නාට්‍ය දෙකක් නිෂ්පාදනය වෙනවා. තවත් නවකතාවක් ගැන හිතේ අදහසක් තියෙනවා. බොහෝදුරට මේ අතරතුර මම ඒ කතාව ලියයි. ඒ හැරුණාම නාට්‍ය පාසලක් ආරම්භ කරන එක ගැන පොඩි හීනයක් තියෙනවා

  • තව දුරටත් විකිණෙයිද ?

ඇත්තටම මං හිතන්නේ දැනටමත් විකිණිලා ඉවරයි. ඒත් ඒක නෙවෙයි පොයින්ට් එක අපි තවමත් දන්නේ නෑ අපි විකිණිලාද ඉන්නේ කියලවත්, අඩුම ගාණේ කාටද විකිණුණේ කියලවත්. භයානකම දේ තමයි අපි හිතන් ඉන්නවා අපි කාටවත් විකිණිලා නෑ කියලා. හැබැයි අපි දන්නෙම නැතුව ඒ දේ වෙලා ඉවරයි. මම මේ පොතෙන් කියන්න හදන්නේ විකිණෙන්න එපා කියන්න නෙවෙයි. අපි දැනටමත් විකිණිලා ඉන්නේ කියන එක මිනිස්සුන්ට කියන්න. අඩුගාණේ තමන් විකිණිලා කියන එක මිනිස්සුන්ට දන්වන්න. ■

 

සංවාදය : වරුණ උදේශ් ජයසිංහ

Leave A Reply

Your email address will not be published.

10 + 20 =