‘පුටින්ගේ එන්නත’ වැඩ කරයි !

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නිල වශයෙන් නිවේදනය කළේ එරට ප්‍රධාන නගරය වන මොස්කව්හි පිහිටි ‘ගමාලියා’ ආයතනය මඟින් ලෝකයේ ප්‍රථම කොවිඞ් – 19 එන්නත භාවිතය සඳහා ලියාපදිංචි කර ඇති බවයි. තවත් වැදගත් කරුණක් ඔහු ඒ අතරම ලෝකයට කිව්වේය. ඒ තම දියණිය ද මුල් වටයේ දී  එම එන්නත ලබා දුන් පිරිස අතර සිටින බවයි. පුටින් මේ එන්නත සම්බන්ධයෙන් තබා ඇති විශ්වාසයේ තරම ගැන ලෝකයට කියන්නට තවත් උදාහරණ අවශ්‍ය ද?

රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ලෝකයේ පළමු කොවිඞ් 19 එන්නත සඳහා නියාමන අනුමැතිය ලබා දී ඇත්තේ මාස දෙකකටත් අඩු මිනිස් පරීක්ෂණයකින් පසුව ය. ඒ බව පසුගිය අඟහරුවාදා පුටින් මාධ්‍යයට කිව්වේ ය.

“අද උදෑසන, ලොව ප්‍රථම වතාවට රුසියාවේ නව කිරීටක වෛරසයට එරෙහිව එන්නතක් ලියාපදිංචි කරන ලදී”

තමන්ගේ රජයේ ඇමැතිවරුන් වටේට තියාගෙන පුටින් ඒ බව කිව්වේ, රූපවාහිනී වීඩියෝ සම්මන්ත්‍රණයක දී ය. මොස්කව්හි ‘ගමාලියා’ ආයතනය විසින් සකස් කරන ලද මෙම එන්නත පරීක්ෂණවල දී කාර්යක්ෂම බව ඔප්පු කර ඇති අතර, කිරීටක වෛරසයට එරෙහිව ‘තිරසර ප්‍රතිශක්තියක්’ ලබා දිය හැකි බව තහවුරු වී ඇතැයි ද පුටින් විසින් එහි දී අවධාරණය කර තිබිණි.

“එය අවශ්‍ය සියලු‍ පරීක්ෂණ සමත් වී ඇති බව මම නැවත කියන්නට කැමතියි”

පුටින් තම රටේ නිර්මාණය ගැන තව දුරටත් ලෝකයට විශ්වාසය පොම්ප කරන්නේ එසේ ය. වැදගත්ම දෙය වන්නේ එන්නත සම්බන්ධයෙන් වන ආරක්ෂාව තහවුරු කිරීමයි. සියල්ලට වඩා ජීවිතවල වටිනාකම ගැන තමන් වගකීමෙන් කටයුතු කරන බව රුසියාවේ රාජ්‍ය නායකයා එරට වැසියන්ට පමණක් නොව ලෝක වැසියන්ට ද කිව්වේය.

රුසියානු ජනාධිපතිවරයා ජනතාවට ලබා දී ඇති එන්නතේ තරම අනුව ඔහුට 2036 දක්වා බලයේ ඉන්නට අවස්ථාව ලැබී ඇති අතර, අලු‍ත් කොවිඞ් එන්නත ඔහුගේ තියරියට අනුව කොතරම් වැඩ කරයිද යන්න ඉදිරියේ දී දැකගත හැකි වනු ඇත.

2036 වන තුරු තමන්ගේ ධුර කාලය දීර්ඝ කර ගත් මේ රාජ්‍ය නායකයා තමා දැඩි ඒකාධිපතියකු බව ලෝකයට පෙන්වමින් සිටී. ලෝකයෙන් ඒ ගැන ඔහුට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඔහුට වගේ වගක් නැත. ඔහු දීර්ඝකාලීන රාජ්‍ය නායකයකු ලෙස පත් කර ගැනීමෙන් පසු ජනතා අදහස් විමසීමේ දී විශ්වවිද්‍යාල තරුණයන් පිරිසක් ‘අල්-ජසීරා’ පුවත් සේවයට පවසා තිබුණේ, පුටින් නරකක් නොකරන බවට තමන්ට විශ්වාස බවයි. එම නිසා ඔහුගේ කාලය දීර්ඝ කර ගැනීමට අදාළ කෙටුම් පත් කියැවූයේ නැතත්, ඊට පක්ෂව ඡන්දය දුන් බව ඔවුන් විසින් පවසා තිබිණි.

එසේ තම රටවැසියන් තැබූ විශ්වාසය පුටින් රකින්නේ මෙහෙම ය. තම දියණියට මුල් වටයේ දී එන්නත ලබා දෙන්නට පුටින් නම් තාත්තා කටයුතු කර ඇත.

“මගේ එක් දියණියක් එන්නත ලබා ගත්තා. මේ අර්ථයෙන් ඇය පරීක්ෂණයට සහභාගි වුණා.”

පළමු එන්නත ගැනීමෙන් පසු සිය දියණියට සෙල්සියස් අංශක 38ක පමණ උණ තත්ත්වයක් ඇති වූ බවත්, එය පසුදා සාමාන්‍ය තත්ත්වයට පත් වූ බවත් පවසා සිටි පුටින්, දෙවැනි එන්නත ලබා ගැනීමෙන් පසු සියල්ල සාමාන්‍ය තත්ත්වයට පත් වූ බවත්, ඇගේ ශරීරයේ ප්‍රතිදේහ සංඛ්‍යාව ඉහළ අගයක් ගන්නා බව පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවත් ඔහු විසින් අවධාරණය කර තිබිණි.

රුසියානු ජනාධිපතිවරයා මෙසේ අභිමානය වැපුරුව ද, සෞඛ්‍ය අංශ විශේෂඥයන් මේ පිළිබඳව ගැටලු මතු කරයි. ලොව පුරා රටවල් කොවිඞ් 19 වෛරසයට එරෙහි පළමු එන්නත නිපදවීමේ තරගයක සිටිය දී, කඩිනමින් මෙය ලියාපදිංචි කිරීමට ගත් තීරණය අවදානමක් ගැනීමක් බව ඔවුහු පෙන්වා දෙති. වේගය සහ ජාතික අභිමානය නිසා සෞඛ්‍ය ආරක්ෂාව අඩාළ විය හැකි බව ඔවුන්ගේ මතයයි.

මාස ගණනාවක් තිස්සේ පවතින වෛරස් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් කඩිනමින්, විශේෂයෙන්ම මිනිස් පරීක්ෂණ අවම සංඛ්‍යාවකින් පසු තීරණයක් ගැනීම ප්‍රශ්නකාරී නොවන්නේ දැයි එරට සෞඛ්‍ය විශේෂඥයන් බලධාරීන්ගෙන් ප්‍රශ්න කරන බව ජර්මනියේ සිට පවත්වාගෙන යන ෘඋ – ෘැමඑිජයැ උැකකැ පුවත් සේවය වාර්තා කරයි.

කෙසේ වෙතත්, රුසියානු රජයට අයත් ‘ස්පුට්නික්’ පුවත් සේවය වාර්තා කරන්නේ එන්නත මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට වසර කිහිපයක් ගත වනු ඇති බවයි. එසේ වුව ද, එන්නත අවශ්‍ය සියලු‍ පරීක්ෂාවන්ට භාජනය කර සුරක්ෂිතතාව තහවුරු කර ඇති බවත්, ස්වේච්ඡාවෙන් එය ලබා දීම සිදු කෙරෙමින් පවතින බවත් ය. මේ වන විට එන්නත ලබා ගැනීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 38 දෙනකුට එය ලබා දී ඇති බවත්, ඒ සියල්ලන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය සාර්ථක බවත් එරට සෞඛ්‍යසේවා විසින් පෙන්වා දී තිබිණි. එයින් පළමු කණ්ඩායම පසුගිය ජුලි 15 වැනිදාත්, දෙවැනි කණ්ඩායම ජුලි 20 වැනිදාත් නිදහස් කළ බව ප්‍රකාශයට පත් කර තිබිණි.

සැප්තැම්බර් මාසයේ දී පමණ මෙම එන්නතේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ද එම පුවත් සේවය විසින් වැඩිදුරටත් වාර්තා කර තිබිණි. රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරෂ්කෝ පවසා ඇත්තේ, එන්නත ‘ගමාලියා’ පර්යේෂණ ආයතනය සහ ‘බිනෝෆාම්’ යන සමාගම් දෙකකින් නිපදවීමට අපේක්ෂා කරන බවයි. රුසියානු සෞඛ්‍ය ඇමැතිවරයා විසින් එම පුවත් සේවයට පවසා තිබුණේ, රටවල් රැසක් දැනටමත් එන්නත පිළිබඳව අවධානය යොමු කර ඇති බවත්, රුසියාවේ සෘජු ආයෝජන අරමුදල මඟින් එන්නත නිෂ්පාදනය හා ප්‍රවර්ධනය සඳහා වන ආයෝජන ලබා ගන්නා බවත් ය. 2021 ජනවාරි 01 වැනිදා සිට සිවිල් සංසරණයට එන්නත යොමු කිරීමට අපේක්ෂිත ය.

රුසියානු ජනාධිපතිවරයා ජනතාවට ලබා දී ඇති එන්නතේ තරම අනුව ඔහුට 2036 දක්වා බලයේ ඉන්නට අවස්ථාව ලැබී ඇති අතර, අලු‍ත් කොවිඞ් එන්නත ඔහුගේ තියරියට අනුව කොතරම් වැඩ කරයිද යන්න ඉදිරියේ දී දැකගත හැකි වනු ඇත●

 

ශාලික විමලසේන

Leave A Reply

Your email address will not be published.

nine + 8 =