පාතාලය වෙනුවෙන් ගිනි අවි ප්‍රවාහණය කළේ මාධ්‍යවේදීන් !

රටේ තැන් කිහිපයක ආයුධ ගබඩා ඇත් දැයි සැක - පරිස්සම් වන්නැයි කොස්ගොඩ තාරක බන්ධනාගාර නිලධාරීන්ට තර්ජනය කරයි'

අංගොඩ ලොක්කා හා එස්. එෆ්. ලොක්කා ඝාතනය වෙද්දී, පාතාලය සමඟ එක්ව ආයුධ ප්‍රවාහණය කළ මාධ්‍යවේදීන් පිරිසක් සම්බන්ධයෙන් ද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

ඉන්දියාවේ කොයිම්බතූර්වල දී අංගොඩ ලොක්කා මිය ගිය බව පැවසෙන්නේ විෂ ශරීරගත වීමකිනි. සැබෑ ලෙසම ඉන්දියාවේ දී ඝාතනය වූයේ, අංගොඩ ලොක්කා හෙවත් මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා ද යන්න පිළිබඳව තහවුරු කර ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ග මේ වන විට ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න කීවේ අංගොඩ ලොක්කාගේ මවගේ රුධිර සාම්පල හා ඔහු පොලිස් අත්අඩංගුවට පත් වූ අවස්ථාවක දී ලබා ගන්නා ලද ඇඟිලි සලකුණු පොලිසිය සතුව පවතින බැවින්, ඒවා ද ඉන්දියානු පොලිසිය වෙත රාජ්‍ය තාන්ත්‍රිකව භාර දී ඇති බවයි.

අංගොඩ ලොක්කා මරා දමා ඇති බවට තොරතුරු මෙරටට ලැබෙන්නේ ඔහුගේ සමීපතමයකුව සිට වෙන් වූ ‘ලඩියා’ නම් පාතාල සාමාජිකයා හරහාය. කළුතර දී බන්ධනාගාර බස් රථයට වෙඩි තබා ‘සමයං’ නමැති පාතාල කල්ලි නායකයා මරා දැමීමට අංගොඩ ලොක්කා යන්නේ ලඩියා සමඟ ය. සමයං ඝාතනය කිරීමෙන් පසු මොවුන් දෙදෙනාම ඉන්දියාව බලා පලා යන අතර එහි සිට ව්‍යාජ පාස්පෝට් මඟින් ඩුබායි බලා යාමට තැත් කරද්දී ඉන්දියානු පොලිසිය දෙදෙනාවම අත්අඩංගුවට ගත්තේය.

පසුව ඇති වූ හිත් අමනාපයක් මත ලඩියා අංගොඩ ලොක්කාගෙන් වෙන් වී සිට ඇත. කෙසේ නමුත්, අංගොඩ ලොක්කා ඝාතනය කිරීමට ඔහුගේ අනියම් බිරිඳ විෂ යෙදූ පානයක් ඔහුට දී රෝගාතුර වූ පසුව හෘදයාබාධයක් ලෙස හඟවා රෝහල්ගත කර ඇත. ඔහුගේ ඝාතනයෙන් පසු අනියම් බිරිඳ වූ අමානි තන්ජි නමැත්තිය ද රෝහල්ගත වන අතර, මොහු ලංකාවේ අපරාධ කල්ලි නායකයකු බව දැනගැනීමෙන් පසු මේ වන විට ඉන්දියානු පොලිසිය විසින් ඇය ද අත්අඩංගුවට ගෙන තිබේ.

 සුදු පැහැති හයිරූෆ් වෑන් රථයක ‘මීඩියා’ යනුවෙන් පුවරුවක් ද ඉදිරිපස වීදුරුවේ අලවාගෙන තරුණ ජනමාධ්‍යවේදියකු සමඟ තමන් කොළඹට ගිනි අවි ප්‍රවාහණය කළ බව  වැඩි දුර ප්‍රශ්න කිරීම්වල දී නාරාහේන්පිට අමිල නමැත්තා හෙළි කර තිබේ. වෑන් රථයේ ආසන යට සඟවා කොරෝනා හේතුවෙන් ඇඳිරි නීතිය පනවා තිබු කාලයේ දී මාතලේ දිස්ත්‍රික්කයේ සිට කොළඹට ගිනි අවි අවස්ථා කිහිපයක දී ගෙනා බවත්, පොලිස් මුරපොළවල දී වාහනය නැවැත් වූ විට මාධ්‍ය හැඳුනුම් පත භාවිත කොට පරීක්ෂාවකින් තොරව එම ස්ථානවලින් පිටව ගිය බව ද ඔහු හෙළිදරවු කර ඇත.

ආර්. ප්‍රදීප් සිං නමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටි අංගොඩ ලොක්කා ඝාතනය වීමෙන් පසුව ව්‍යාජ ලිපි ලේඛන සකස් කොට ඔහුගේ දේහය ආදාහනය කළැයි නීතිඥවරියක වන සිවාකාමි සුන්දරී (36) සහ ඇයට සහාය දුන් ඊරෝඞ් එස්. තියනේෂ්වරන් යන අය අත්අඩංගුවට ගෙන ඇති කොයිම්බතූර් පොලිසිය සිද්ධියට අදාළ තොරතුරු රැසක් මෙරටට ලබා දුන්නේ ය. අංගොඩ ලොක්කාගේ දේහය රෝහල් මෘතශරීරාගාරයේ තිබෙන පින්තූර කිහිපයක් ද ඒ අතර ඇත. එහි එක් පින්තූරයක සිරුරේ පච්චයක් ඇති අතර, මෙරට දී ඔහු ගෙන ඇති පින්තූරයක ද අතේ පච්චයක් තිබේ. නමුත්, ඉන්දියානු පින්තූරයේ පච්චයත් සමඟ දෙමළ අකුරු කිහිපයක් ද කොටාගෙන තිබීම පිළිබඳව ද පොලිස් අවධානය යොමුව ඇත.

එසේම ඉන්දියාව ලබා දුන් පින්තූරයේ සිටින තැනැත්තාගේ බඩ ප්‍රදේශයේ කැපුම් ලක්ෂණ පෙන්වන අතර හෘදයාබාධයකට ලක්ව ඇතුළත් කළ කෙනකුගේ උදරයේ කැපුමක් ඇත්තේ මන්ද යන්න පිළිබඳව පොලිස් ඇස යොමුව තිබේ. එය ඉදිරි පරීක්ෂණ සඳහා උදරයෙන් ජෛව පටල සාම්පල ගැනීමට කළ කැපුමක් ද යන්න දැනගැනීමට ද පොලිසිය තොරතුරු විමසමින් සිටී.

මරණකරු පිළිබඳව නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ඉන්දියාවේ සහාය පතා ඇත. ඒ අතර මූල්‍ය විශුද්ධිකරණ පනත යටතේ අංගොඩ ලොක්කා සතු මුදල් හා දේපොළ අත්පත් කර ගැනීමට ද පොලිසිය කටයුතු යොදා ඇත. ඔහු භාවිත කළ බව කියන රුපියල් කෝටි 50ක පමණ දේපොළ රාජසන්තක කිරීමට පොලිසිය විසින් පියවර ගෙන තිබේ.

මීට අමතරව මිය ගිය එස්. එෆ්. ලොක්කාගේ ඝාතනය සම්බන්ධයෙන් ද අංශ කිහිපයක් ඔස්සේ පොලිස් පරීක්ෂණ පැවැත්වේ. මෙහි දී පොලිස් ඇස යොමුව ඇත්තේ, ඔහුගේ පෙම්වතියගේ සැමියා සම්බන්ධයෙනි. ඝාතනය වූ දින එස්. එෆ්. ලොක්කා කායවර්ධන මධ්‍යස්ථානයට ගොස් ඇත්තේ, ඔහුගේ පෙම්වතිය සමඟ ය. එක්දරු මවක් වන ඇය හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් වූ තැනැත්තකුගේ බිරිඳකි.

ඔහු බන්ධනාගාරගත වූ පසු එම තැනැත්තිය එස්. එෆ්. ලොක්කාගේ පෙම්වතිය වී ඇති අතර, මැයගේ ස්වාමිපුරුෂයා බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණිය ද, ඔහු ළඟට ඇය නොයැවීමට එස්. එෆ්. ලොක්කා වගබලා ගත්තේ ය. කෙසේ නමුත්, මොහු කායවර්ධන මධ්‍යස්ථානයට ගොස් පැමිණෙද්දී, දහයියාගම දුම්රිය හරස් මාර්ගය අසල දී වෙඩි තබන්නේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකි.

එහි දී මෝටර් රථයේ පෙම්වතිය අසුන් ගත් ස්ථානය පිළිබඳව පොලිසිය විමර්ශනය කරද්දී සොයාගෙන ඇත්තේ, ඇය හිඳගෙන පැමිණ ඇත්තේ රියැදුරුට පසුපස අසුනේ බව ය. රිය පදවාගෙන පැමිණි එස්. එෆ්. ලොක්කාට වෙඩි තබන අවස්ථාවේ ඇය රියැදුරු අසුනට යාබද අසුනේ සිටියේ නම්, ඇයට ද වෙඩි ප්‍රහාර එල්ල වීම වැළැක්විය නොහැකි බව වෙඩි තැබූ ආකාරය පිළිබඳව කළ විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

වෙඩි තැබීමට ඝාතකයන් පැමිණි යතුරුපැදිය අතරමඟ දමා ගොස් තිබිය දී පොලිසිය සොයාගෙන ඇති අතර, එය හසලක ප්‍රදේශයේ හිටපු හමුදා සෙබළකුට අයත් එකක් බවට තහවුරු වී තිබේ. මීට මාසයකට පෙර යතුරුපැදියේ දෝෂයක් හේතුවෙන් ගරාජයකට දමා තිබිය දී, එය සොරකම් කර ඇති බවට හිමිකරු පැවසුව ද, ඔහු ඊට අදාළව පොලිස් පැමිණිල්ලක් දමා නැත. එම නිසා සියලු අංශ කෙරෙහි පොලිස් අවධානය යොමුව ඇති අතර, තවමත් ඊට අදාළ නිශ්චිත සැකකරුවන් සොයාගෙන නොමැත.

පාතාල අපරාධකරුවකු සතුව තිබූ ලොකු ම ගිනි අවි තොගය විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් මීට මසකට පමණ පෙර හෝමාගම ප්‍රදේශයේ දී සොයා ගනු ලැබුවේ, ආරක්ෂක අංශ මවිත කරමිනි. හෝමාගම, පිටිපන ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක තිබී ගිනි අවි 12ක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සොයා ගන්නේ ය. පාතාල නායකයකු වන කොස්ගොඩ තාරකගේ ගෝලයකු වන පොට්ට කපිල මෙම ගිනි අවි ව්‍යාපාරික ස්ථානයේ සැඟ වූ බවට තොරතුරු හෙළිදරවු විය.

අපරාධ කල්ලියක් සතුව පැවැති විශාලම ගිනි අවි තොගය මෙය බැවින්, මෙහි වැඩි දුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරීමට වැඩ බලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න කටයුතු කළේ ය. වැඩි දුර පරික්ෂණයේ දී පොට්ට කපිලගෙන් ලත් තොරතුරු මත තවත් ටී.  56 ගිනි අවි දෙකක්  පොලිස් ගරාජයේ කොස්තාපල්වරයකු ළඟ සඟවා තිබිය දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සොයා ගනු ලැබී ය.

මෙතරම් ගිනි අවි සංඛ්‍යාවක් ලැබුණේ කෙසේ ද යන්න පිළිබඳව කළ විමර්ශනයේ දී පොලිස් විශේෂ කාර්ය බළකායට මෙම ඔත්තුව දුන් නාරාහේන්පිට අමිල නමැති සැකකරුවකු ද පොලිස් භාරයට ගනු ලැබී ය. එහි දී ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් ගත් ගිනි අවි 30කට ආසන්න සංඛ්‍යාවක් පිට පළාතක සිට කොළඹට ප්‍රවාහණය කළ බවට හෙළි වන අතර, ගිනි අවි කොළඹට ගෙන ඒමට තමන් ද සම්බන්ධ වූ බව අමිල විසින් පොලිසියට කියා තිබිණි.

තමා තනිව මෙය නොකළ බවත්, පොට්ට කපිල විසින් තවත් තරුණයකු ගමනට සම්බන්ධ කර දුන් බවත් නාරාහේන්පිට අමිල නමැත්තා පාපොච්චාරණය කර තිබේ. සුදු පැහැති හයිරූෆ් වෑන් රථයක ‘මීඩියා’ යනුවෙන් පුවරුවක් ද ඉදිරිපස වීදුරුවේ අලවාගෙන තරුණ ජනමාධ්‍යවේදියකු සමඟ තමන් කොළඹට ගිනි අවි ප්‍රවාහණය කළ බව ඔහු වැඩි දුර ප්‍රශ්න කිරීම්වල දී හෙළි කර තිබේ. වෑන් රථයේ ආසන යට සඟවා කොරෝනා හේතුවෙන් ඇඳිරි නීතිය පනවා තිබු කාලයේ දී මාතලේ දිස්ත්‍රික්කයේ සිට කොළඹට ගිනි අවි අවස්ථා කිහිපයක දී ගෙනා බවත්, පොලිස් මුරපොළවල දී වාහනය නැවැත් වූ විට මාධ්‍ය හැඳුනුම් පත භාවිත කොට පරීක්ෂාවකින් තොරව එම ස්ථානවලින් පිටව ගිය බව ද ඔහු හෙළිදරවු කර ඇත.

සැකකරු කළ හෙළිදරවු කිරීම් නිවැරදි දැයි සොයාබැලීම සඳහා අමිලගේ හා අදාළ තරුණ මාධ්‍යවේදියාගේ දුරකථන ජාල පරීක්ෂා කිරීමේ දී මේ කියන දිනවල ඔවුන් කොළඹින් බැහැර අදාළ ස්ථානවල සිට ඇති බවට තොරතුරු හෙළිදරවු වී තිබේ. තරුණ මාධ්‍යවේදියා තවමත් අත්අඩංගුවට ගෙන නැති අතර, ඔහු සම්බන්ධයෙන් පොලිසිය තව දුරටත් කරුණු අධ්‍යයනය කරමින් සිටියි.

ගිනි අවි ලබා දුන් බව කියන ආරක්ෂක අංශ නිලධාරීන් පිළිබඳව කළ විමර්ශනයේ දී තහවුරු කර ගන්නා ලද කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යුද්ධ හමුදාපතිට දැනුම් දී තිබේ. එහි දී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා විසින් හමුදා නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබේ. හමුදා නිලධාරීන්ගෙන් කරනු ලැබූ ප්‍රශ්න කිරීමේ දී ගිනි අවි 30ට වඩා දෙතුන් ගුණයක ගිනි අවි අපරාධකරුවන්ට දී ඇති බවට හෙළිව තිබේ.

ඊට අමතරව පාතාල කල්ලි සමඟ ගනුදෙනු කරන මාධ්‍ය සගයන් රැසකගේ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ලැබී ඇත. ඔවුන් ඉදිරියේ දී අත්අඩංගුවට ගැනීමට නියමිත නමුත්, එය වළක්වා ගැනීමට විවිධ දේශපාලන හස්ත හරහා දැඩි බලපෑමක් පොලිසියට එල්ල වෙමින් පවතියි. මාධ්‍ය ආයතනවල කීර්ති නාමයට හානියක් වන බව පවසමින් අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීමට උත්සාහ කළත්, ඉහළ ආරක්ෂක හා දේශපාලන ප්‍රධානීන් දැනුම් දී ඇත්තේ මෙය මාධ්‍යයේ කීර්ති නාමය පිළිබඳ ප්‍රශ්නයකට වඩා ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් බවයි.

මෙලෙස මහා පරිමාණ අවි රැස් කිරීම පිටුපස සිටින්නේ අපරාධ කල්ලි නායක කොස්ගොඩ තාරක ය. ඔහු මේ වන විට බූස්ස බන්ධනාගාරයේ සිටින අතර, තමන් කොළඹට මාරු කරන ලෙස ඉල්ලා ඔවුන් විසින් උපවාසයක් ද ආරම්භ කරන ලදී. මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ගිය බන්ධනාගාර කොමසාරිස්වරුන් දෙදෙනකුට කොස්ගොඩ තාරක තර්ජනය කළේ “එළියේ අපේ පිරිස් ඉන්නවා – ආයුධ තියෙනවා ඒ නිසා පරිස්සම්ව ඉන්න” යනුවෙනි. මෙම තර්ජනය බන්ධනාගාර නිලධාරීන්ට සීමා නොවී ජනාධිපතිට හා ආරක්ෂක ලේකම්ට ද එල්ල කිරීමට ඔවුන් පසුබට නොවූයේ මෙලෙස විශාල ආයුධ තොගයක් ඔවුන් සතු වීම නිසා දැයි පොලිසිය සැක පහළ කරයි.

ලසන්ත වීරකුලසූරිය

Leave A Reply

Your email address will not be published.

3 + 6 =