හීරෝ වුණු සීරෝ ස්ටුවට් බ්‍රෝඩ්

 

ක්‍රීඩාව නැවත පණ ලබා ඇත. ඒත් හුස්ම අල්ලන්නේ සෙමින් ය. ජාතික මෙන්ම ජාත්‍යන්තර පිටිය ද නැවත හුස්ම අල්ලන්නට පටන්ගෙන ඇත්තේ සෙමෙන් ය. එලෙස හුස්ම ගන්නා බොහොමයක් ක්‍රීඩාවන් අතර ක්‍රිකට් ක්‍රීඩාව ද වේ. මාස හතරක පමණ කාලයක් නිසොල්මන්ව තිබුණු ක්‍රිකට් පිටිය නැවත ප්‍රාණවත් වූයේ බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්ත කණ්ඩායම් දෙක අතර ඇරඹි ටෙස්ට් තරගාවලියත් සමඟය.

ගෙවුණු ජූලි අට වැනිදා ඇරඹි පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය හිමි වූයේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලටයි. දින හතරක විවේකයකින් පසු ජුලි දහසය වැනි දින මැන්චෙස්ටර් හි දී ඇරඹි දෙවැනි තරගයේ ජය සත්කාරක එංගලන්ත කණ්ඩායම හිමි කර ගත්තේ තරගාවලි ජයග්‍රහණ උණුසුම ඉහළ නංවමිනි. තෙවන සහ අවසානය සනිටුහන් කරමින් ඉකුත් විසිහතර වැනිදා ඇරඹි තරගය එංගලන්ත කණ්ඩායම ජය ගත්තේ තරගාවලි ජයග්‍රහණය ද අත්පත් කරගනිමිනි.

තරගාවලියේ වීරයා මෙන් ම අවසන් තරගයේ වීරයා ලෙසද සම්මාන හිමි කර ගත් ස්ටුවට් බ්‍රෝඞ් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ කඩුලු පන්සියයේ සමාජයට (ඔයැ 500 ක්‍කමඉ) ද ඇතුළත් විය. ඒ ටෙස්ට් ක්‍රීඩාවේ කඩුලු පන්සියය ඉක්ම වූ හත්වැනි ක්‍රීඩකයා ලෙස ය. එමෙන්ම ඔහු කඩුලු පන්සියයේ සීමාව ඉක්ම වූ හතර වන වේගපන්දු යවන්නා ද වේ.

මුත්තයියා මුරලිදරන්, ෂේන් වෝන්, අනිල් කුම්බ්ලේ, ජේම්ස් ඇන්ඩර්සන්, ග්ලේන් මැග්‍රාත් සහ කර්ට්නි වෝල්ෂ් බ්‍රෝඞ්ට පෙර කඩුලු පන්සියයේ සමාජයට ඇතුළත් වූවෝ ය. මොවුන් අතුරින් වේගවත් ම කඩුලු පන්සියය දවා ගත් ක්‍රීඩකයා වන්නේ මුත්තයියා මුරලිදරන් ය. ඒ තරග අසූහතක දී ය.

දෙදහස් හත වසරේ මංගල ටෙස්ට් තරගයේ දී ම තම මංගල කඩුල්ල දවා ගැනීමට ස්ටුවට් බ්‍රෝඞ්ට හැකි විය. බ්‍රෝඞ්ගේ පළමු ගොදුර ලෙස ඉයන් බෙල් අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යන්නේ චමින්ද වාස් ය. ඉන් පසු තම සිය වැනි ටෙස්ට් කඩුල්ල ලෙස ප්‍රසන්න ජයවර්ධනත්, දෙසිය වැනි කඩුල්ල ලෙස මයිකල් ක්ලාක්, තුන්සිය වැනි කඩුල්ල ලෙස ක්‍රිස් රොජර්ස්, හාරසිය වැනි කඩුල්ල ලෙස ටොම් ලේතම් දවා ගන්නා ස්ටුවට් බ්‍රෝඞ් තිස්හතර වැනි වියේ දී, තම එකසිය හතළිස් වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී පන්සිය වන කඩුල්ල ලෙස ක්‍රේග් බ්‍රේත්වෙයිට්ව දවා ගැනීමට සමත් විය.

ටෙස්ට් ක්‍රිකට් වංශකතාවේ නවතම පරිච්ඡේදය ලියවෙන මේ මොහොතේ ස්ටුවට් බ්‍රෝඞ් වෙනුවෙන් බොහෝ ක්‍රීඩකයන්,  හිටපු ක්‍රීඩකයන් විසින් සුබ පැතුම් පණිවුඩ තබා තිබිණි. ඒ අතුරින් යුවරාජ් සිංගේ පණිවුඩය සුවිශේෂ එකකි.

දෙදහස් හත වසරේ දකුණු අප්‍රිකාවේ පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩාවට ආදරය කරන අප සැමගේ මතකයේ ඇත. ඉන්දියානු ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ එක් පන්දු වාරයක් තුළ හයේ පහර හයක් එල්ල කළ පළමු ක්‍රීඩකයා ලෙස යුවරාජ් සිං ක්‍රිකට් වංශ කතාවට එක් වන්නේ මේ කියූ තරග වාරය අතරවාරයේ දීයි. අනුකම්පා විරහිතව යුවරාජ්ගේ දැඩි ප්‍රහාරයට ලක් වන්නේ එංගලන්ත ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඞ්ගේ පන්දු වාරයකි. එහෙත්, ඉන් වසර දහතුනකට පසුව ස්ටුවර්ට් බ්‍රෝඞ් කඩුලු පන්සියයේ සමාජයට ඇතුළත් වූ වහාම යුවරාජ් ඔහු අගයමින් සුබ පතයි.

යුවරාජ්ගෙන් අනුකම්පා විරහිත ප්‍රහාරයට ලක් වූ ස්ටුවර්ට් බ්‍රෝඞ් අද ටෙස්ට් ක්‍රිකට් කඩුලු පන්සියයක් දවා ගත් හත්වැනි ක්‍රීඩකයා ලෙස ඉතිහාස පොතට එක්ව අවසන් ය. එදා නොසෑහෙන්න බැට කෑ සීරෝ අද හීරෝ බවට පත්ව ඇත. ක්‍රීඩාවේ, විශේෂයෙන් අවිනිශ්චිත යැයි කියන ක්‍රිකට් ක්‍රීඩාවේ සුන්දරත්වය එය ම නොවේ ද?●

පසන් සංජය සමරතුංග

Leave A Reply

Your email address will not be published.

twenty + 12 =