ආයුබොවන්ඩ අගමැති මහින්ද,

සිරිලංකා පාර්ලිමේන්තුවෙ නවවෙනි අගමැති හැටියට නාග ලෝකෙන් පවා පිරිනැමුණු සුබාසිංසන මැද්දෙ කැලණි රජමහා විහාරෙදි තමුන්නැහැ බොහොම ආඩම්බරෙන් දිවුරුම් දෙන හැටි අපි දැක්කා. ඊට පස්සෙ මහනුවර අයිතිහාසික මඟුල් මඩුවෙ ඇමති මණ්ඩලේ පත් කොරනකොටත් තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් රැස් වළලු විහිදුවමින් විරාජමාන වෙලා ඉන්න වගත් පෙනුණා. දැන් ඉතිං ආයිබොවන්ඩ හුදී ජනයා හැටියට අපේ හිත්වලට නං තියෙන්නෙ පුදුමාකාර තන්තෝසයක්. ඒ මොකද කියනවනනං පහුණු අවුරුදු හැත්තැ දෙකේම අපේ පුරස්න විසඳන්නට තිබුණ බාදා ඔක්කොම මේ චන්දෙත් එක්කම සුන්නත්දූලි වෙලා ගියානෙ.

රටයි ජාතියයි ආගමටයි අමතරව අපි වගේ නැති බැරි උන්වත් ආරක්සා කොරන්න ඇහැකි මැදමුලනෙ රාජකීය පරපුරට විතරය කියපු හංදා ඔන්න මේ වංගියෙ අපි ලෝස් නැතුව මුන්නැහැලගෙ සනුහරේ ඇත්තො දුසින් බාගයක්ම රජ සබේට එගොඩ කොළා. මහපුටුවෙ වැජඹෙන ජනපති නිරිඳත් එක්ක ඔක්කොම හත් දෙනයි. පරපුරේ හයියයි තුනෙන් දෙකේ බලයයි ජනපති-අගමැති පුටුවල තේජසයි මහා සංඝ රත්නයේ ආසිර්වාදයයි ඇතුළු සකල බලයම එකතැන් වුණාට පස්සෙ රට කිරි පැනියෙන් නාවන්ඩ ආය ඉතිං වෙන මොනවද අඩු ආයිබොවන්ඩ?

හැබැයි ඉතිං ඔය බඩු මිල අඩුකිරිල්ල, රස්සා පුරස්න විසඳිල්ල, පෝර සහනාදාරය, අද්දියාපන හා සවුක්කිය වගේ වැඩකට නැති දේවල් මුලින්ම අල්ලගෙන නං මුන්නැහැලගෙ මසුරන් වටිනා කාලය නිකං කාබාසිනියා කොරල දාන්ඩ එපා සෑර්. තමුන්නැහැලට අර්තයෙන්-දර්මයෙන් අනුසාසනා කරන වියත් මග, එළිය හා යුක්තිය වගේ බුද්දි මණ්ඩලවල ඇත්තො දිගින් දිගටම දෙසාබාපු විදිහට පරණ කසිකබල් වියවස්තා කඩමල්ල ඉරල විසිකොරන එක තමා මුන්නැහැලට වින කොරන සියලු යක්ස ප්‍රේත දෝස නැතිබංගස්තාන කොරන්ඩ ඇහැකි එකම සූත්තරේ. හැබැයි ආයිබොවන්ඩ අර 19වෙනි සංසෝදනේ යටතේ අගමැති උන්නැහැට ලැබිල තියෙන බලතල ටික ජනපති මලයගෙ ඇහැට වැලි ගහලා හරි ආරක්සා කොරගන්න ඇහැකි කරමයක් ගැනත් කල්පනා කොරන්ඩ වෙනවා නේද?

ඊළඟට මුන්නැහැගෙ හිතට වද දෙන තවත් කරච්චලයක් වෙන්නෙ හාබර්කාරයන්ගෙ කේස් එක වග කිරිගහට ඇන්නා වගේ කියන්න ඇහැකි. ඉලැක්සොමෙන් පස්සෙ ඒක විසඳල දෙංඤන් කියල නේද මැදමුලන මන්දිරේටම ගෙන්නලා හාබර් එකේ යූනියන්කාරයන්ට පොරොන්දු වුණේ. මේ වංගියෙත් මුල්ම විදේස චාරිකාව ඉන්දියාවට යොදාගෙන මෝදි උන්නැහැට බටර් පාරක් ගාලා මොකක් හරි උප්පරවැට්ටියක් දාන්ඩද පැලෑනෙ. හැබැයි ඊට වඩා ලේසි නැද්ද සෑර් ඔය වස කරදරේ හාබර් ඇමතිකොම බාරගත්තු රයිගම්පුරේ කට ඇති රත්තරන් පුත්‍රයාගෙම ඇඟේ ගහලා ෂේප් වෙන එක. උන්නැහැ ළඟ තියෙන සර්ප වෙද සූත්තරය වගේ බලගතු තුරුම්පුවක් ගහලා මෑන්ස් ඔය පුරස්නෙ පටස් ගාලා විසඳලා දමාවි.

ඇමරිකන් කාරයොත් හෙට අනිද්ද වෙනකොට ආයෙමත් ඇම්සීසී කඩදාසිය දිග් කොරන එකත් ඉස්තිරයි හරිය. තුනෙන් දෙකේ බලේ නැතුව ඇමරිකන් කාරයන්ගෙ ඔය උගුලෙන් ගැලවෙන්න විදිහක් නැහැ කියලනෙ නාහෙන් අඬ අඬා උන්නෙ. දැන් ඉතිං ඔය ගිවිසුම පරසක්වලටම යවල දාන රාජකාරිය විමල්ටයි-ගම්මන්පිලටයි බාරදෙන්ඩ ඇහැකිනෙ අගමැතිතුමෝ.

ඔය කවුරු නැති වුණත් චීනෙ අපිත් එක්ක ඉන්න බව සහසුද්දෙන්ම දන්න හන්දා නෙළුන් කුලුනේ ලයිට් ටික දිහා බලගෙන දැන් ඉතිං අපිට දෙයියනේ කියල මුන්නැහැලා දෙන හැටියට කාල බීලා වෙන දෙයක් බලාගෙන මොකක් නැතත් රටයි ජාතියයි බේරුනානෙ කියන තන්තෝසෙන් ඇහැ පියා ගන්ඩ ඇහැකිනෙ බුදු සෑර්●

Leave A Reply

Your email address will not be published.

three × two =