හොර පාස්පෝට් හදන්න උදවු කළාට වීරවංශගේම අමාත්‍යංශයේ ලේකම් තනතුර

අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශ මහත්මියට අයත් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයේ සහ ඇයගේ රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයේ නම් සහ උපන් දිනයන්හි වෙනස්කම් දක්නට තිබුණත් එම තොරතුරු සගවා ඇයට ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් ලබාදීමට කටයුතු කල හිටපු ආගමන හා විගමන පාලක චූලානන්ද පෙරේරා නව රජයේ කර්මාන්ත ඇමති විමල් වීරවංශගේ අමාත්‍යංශයේ ලේකම් ලෙස ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ.

ඉකුත් රජයේ නිවාස හා ඉදිකිරීම් ඇමැති ලෙස කටයුතු කළ විමල් වීරවංශ මහතා දිනක් දුරකතනයෙන් තමා අමතා තම බිරියට රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා ඇය පැමිණෙන බවට දැනුම් දුන්නේ යැයි හිටපු ආගමන හා විගමන පාලක චූලානන්ද පෙරේරා මහතා අධිකරනයේදී පිලිගත් අතර විත්තිකාර ශෂී වීරවංශගේ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයේ උපන් වර්ෂය ලෙස සඳහන් වුයේ 1967 වසර බවත් රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ අයැදුම්පතේ උපන් වර්ෂය ලෙස සඳහන්ව තිබුණේ 1971 වසර බවත් එම වසර 4ක වෙනස නොතකා හැර එම කාර්යය ඉටුකර දෙන් බවද පිලිගන්නා ලදි.

එසේම එලෙස ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරන විට රහස් පොලිසිය දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් පැවතියත් තමා ඒ සඳහාද ක්‍රියා නොකළ බව හෙතෙම පිළි ගන්නා ලදි

හිටපු ආගමන හා විගමන පාලකවරයා ලෙස ඉහළ තනතුරක් දරද්දී මෙවැනි වරදක් පෙනි පෙනී තිබියදී විදේශ ගමන් බලපත්‍රයක් ව්‍යාජ ලෙස නිකුත් කිරීම බරපතල වරදක් බවද අධිකරණයේ කරණු දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිටර් ජනරාල්වරයා පෙන්වා දෙන ලදි.

මෙම ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍යතාත්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත්තේ යැයි චෝදනා කරමින් ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුව මේ වනවිටත් අධිකරණයේ විභාග වන අතර එහි ප්‍රබල චෝදනාවක් එල්ලවුයේ හිටපු ආගමන හා විගමන පාලක චූලානන්ද පෙරේරා මහතාටය.

ශෂි වීරවංශ මහත්මියට මෙන්ම විමල් වීරවංශ මහතාටද ව්‍යාජ පාස්පෝට් සකස්කරදීමට ආධාර උපකාර කල හිටපු ආගමන හා විගමන පාලක චූලානන්ද පෙරේරා වැනි දුෂිත නිලධාරයෙක් නැවත එම තැනැත්තාම අමාත්‍යධුරය දරණ අමාත්‍යංශයට පත්කිරීම අහඹු සිදුවීමක් නොව විමල් වීරවංශ මහතාගේ ඉල්ලීමක් මත සිදුවූවක් බව පෙනී යයි.

රටේ නීතිය හා විනය හදන්න බලයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙම මැදිහත්වීම පෙනී යන්නේ ‘පනින රිලවුන්ට ඉනිමං බැදීමක්‘ වැනි ක්‍රියාවක් ලෙසයි.

එමෙන්ම මේ ආකාරයෙන්ම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් ජගත් ප්‍රේමලාල් විජේවීර මහතාටද විමල් වීරවංශ දුරකථනයෙන් කතා කොටකළ ඉල්ලීමකට අනුව ‍ගෞරවනීය තනතුරක් දරන අයෙකුගේ බිරියක් ලෙස සත්‍ය තොරතුරු ඉදිරිපත් කරනු ඇතැයි විශ්වාස කිරීම මත වීරවංශ මහතාගේ බිරියට හැඳුනුම්පතක් නිකුත් කිරීමට ක්‍රියා කල අතර එහිදීද ව්‍යාජ තොරතුරු ඉදිරිපත්කර ඇති බව අධිකරණයේදී සනාථවී තිබේ.
colomboxnews

Leave A Reply

Your email address will not be published.

one × four =