මැරෙන වාහනවලටත් පණ දෙන යකඩ මිනිස්සු

 

“‍මචං පොඩි ගමනක් යමුද?”
මට යාළුවාගෙන් කෝල් එක එන්නෙ සඳුදාවක උදේක. මිනිහට තිබුණෙ තාමත් මොඩිෆයි කරමින් තිබුණ පරණ ක්ලැසික් ස්කූටරයක්. අදත් යන්නෙ මේකට කෑලි හොයන්න පංචිකාවත්තට. කොහොම වුණත් පංචිකාවත්ත කියන්නෙම පරණ වාහන කොටස්වලටම වෙන්වුණු තැනක්. මොකද ලංකාවෙ කොහෙන්වත් හොයාගන්න බැරි වාහන කොටස් හොයාගන්න පුළුවන් එකම තැන වෙන්නෙ පංචිකාවත්ත. අවුරුදු පනහක විතර අතීතයක් තිබුණත්, මෙතැන ඉස්සර තිබිල තියෙන්නෙ අනවසර ඉදිකිරීම් විදිහට. පස්සෙ රණසිංහ ප්‍රේමදාසගෙ කාලෙදි තමයි නගර සභාවෙන් මේ අයට දැනට පාර අයිනෙ තියන පොඩි පෙට්ටි කඩ ලැබෙන්නේ. දැනට එයාලට මේ වෙළෙඳාම්වලට ලයිෂන් එකක් වගේම කඩවලට අවසරේකුත් තියෙනවා. මේ මිනිස්සු උදේ නවයෙ ඉඳන් හවස පහ වෙනකම් හිටියත් උදේම ඇවිල්ල පේව්මන්ට් එකේ මේ බඩු අහුරන්නම පැය තුනක් විතර යනවා කියල තමයි අපිට දැනගන්න ලැබුණේ.

කඩ දෙක තුනකම ඇවිදලා වැඩේ කරගත්තට පස්සෙ නිකම් කයියක් දාමු කියල අපි දෙන්නම නැවතුණේ පොඩි තේ කඩේකුත් පේන දුරකින්. ස්කූටරේ නවත්තපු තැනම තිබුණෙත් ‘රේඩියේටර්’ කියල බෝඩ් එකක් ගහපු කඩයක්. අපි නිකමට ඇවිදගෙන ගියා. එතකොට තමයි, මේ රේඩියේටර් කඩේ අයිතිකාරයා වුණ කපිල අංකල්ව මුණගැහෙන්නෙ. පොඩි කයියක් දාන්න කියල හිතාගෙන ආවට ඒක සෑහෙන දිග කතාබහක් වුණේ අපිටත් නොදැනීමයි.

කපිල 

“‍පරණ හෝස් ටිකක් හෝදල කරල එල්ලගෙන, අමාරුවෙන් කරගෙන යනව පුතා. මොකද මම වෙන ජොබ් එකක් කරන්න දන්නෙ නෑ. පොඩි කාලෙ ඉඳන්ම පුරුදු වෙලා, කලිනුත් රේඩියේටර් වැඩ තමයි කළේ. ඔහොම ඉඳල ඉඳල නගර සභාවෙන් මේ කඩ දෙද්දි, කඩයක් අරන් මේ තැනට ඇවිත් නම් දැන් අවුරුදු විස්සක් විතර වෙනවා. සමහර දාට සතයක්වත් නෑ පුතේ. ඉඳල හිටල දවසක රුපියල් එක්දාස් පන්සීයක් දෙදාහක් හොයාගන්නවා. බැඳලනේ ඉතින්, ළමයින්ට ඕනෙ කරන ඒවා එහෙම දුන්නට පස්සෙ සොච්චමක් තමා අතේ තියා ගන්නෙ. මේක දැනටමත් හය හත් වතාවකටත් වඩා හොරුත් කඩල තියෙනවා පුතේ. ඒ හින්ද දැන් මම ඉබි යතුරු දාන්නෙ නෑ ඉතින්. ඇරං පලයල්ලකො කියල නිකන් වහල යනව. ඉස්සර නම් පේමන්ට් එක ලොකුවට තිබුණ නිසා මම මෙතැන රේඩියේටර් හැදුවා. ඒත් දැන් තියෙන විදිහට මේ කඩ කෑල්ල තියන් ඉන්නෙත් අමාරුවෙන් කියල පේනවනෙ පුතේ. මිනිස්සුන්ට යන්න එන්නත් අමාරුයි තමයි. මොනව කරන්නද, අයිනෙන් තියාගෙන ඉන්නවා. කීයක් හරි හොයාගන්නත්
ඕනැනේ.”

අර කලින් කියපු ළෙන්ගතුකම හින්දම මේ මනුස්සයට එතැනම එහා පැත්තෙ තිබුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමේ ගොඩනැඟිල්ලෙ නවතින්න ඉඩක් ලැබිල තිබුණා. ඒ වෙනුවට ඔහු කළේ එතැන අතු පතු ගාල බලා ගන්න එක විතරයි. වැඩේ ටිකක් විතර අල්ලලා ගිය හින්ද අපි තේ කඩේ ගැන ටිකකට අමතක කරල මිනිස්සු අතරින් පාර දිගේ ඉස්සරහට ඇවිදගෙන ගියා. හරියටම හතරමං හන්දියේ කෙළවරකට වෙන්න පේව්මන්ට් එක දිගට එක එක ජාතියේ ඇණ, නට් වගේ දේවල් හරි පිළිවෙළට අහුරමින් හිටියෙ පංචිකාවත්තේ හැමෝම ‘තම්බි අයියා’ විදියට අඳුනගෙන ඉන්න ශක්තිවේලි. මළකඩ කාපු යකඩ වගයක් ඩීසල් දාල අතින්ම හෝදන ගමන් තමයි තම්බි අයියා අපිත් එක්ක කතා කළේ.

ශක්තිවෙලි 

“‍ඉස්කෝලේ යන කාලෙදිත් මෙතැන පඩියට වැඩ කළා. මේකම තමයි, එදා ඉඳන්ම අපෙ රස්සාව. හිටපු ගමන්ම පොලිසියෙන් ඇවිත් අයින් කරන්න කියපුවාම අරන් යන්න ඕනෙ. අර බෝම්බ ගහපු කාලෙ මාස තුනක් විතර මේ කඩවල් අරන් ගිහින් තැනක ගොඩගහල තිබුණා. ඔහොම තමයි, දැන් අවුරුදු තිස් පහක විතර ඉඳන් ජීවිතේ. මේ හැම බඩුවක්ම ගැරෙජ්වලින් තමයි ගන්නේ. වාහනේකට හරි මැෂින් එකකට හරි ඕනෙ වෙන හැම නට් එකක්ම, ඇණයක්ම මං ගාව තියෙනවා.” ගස් හෙවණක් පේන දුරකින් ඉඳගෙනත් මේ මනුස්සයාට හැම දවසක්ම ගත කරන්න වෙලා තිබුණේ පිච්චෙන තරම් අව්වේ. මොකද තමන්ටම කියල තැනක් වෙන්කරලා නගර සභාවෙන් දීපු ලයිෂන් එකක් මේ හැමෝටම තියෙනවා. ඉතින්, මේ මනුස්සයට බිස්නස් කරන්න පුළුවන් මෙතැන විතරයි. මේ තියෙන යකඩ වගේම තම්බි අයියවත් හැම දවසකම අව්වට පිච්චෙනවා. සමහර විට වැස්සටත් තෙමෙනවා ඇති. මමයි, යාළුවයි තම්බි අයියට “ගිහින් එන්නම්” කියල කිව්වට පස්සෙ අපි අතරෙ එකම එක වචනයක්වත් හුවමාරු වුණේ නෑ. ජීවිතේ ගැන මොන මොනවදෝ හිතුවා. අපි දෙන්නම. ඇවිදින ගමන්ම. ඊළඟට අපිට මුණගැහුණේ මෙතැන ගැන අවුරුදු ගාණක ඉඳන් දන්න මනුස්සයෙක්. ඒ මොහොමඞ් සිද්ධික්.

මොහොමඞ් සිද්ධික්

“‍ඉස්සර මේ ඔක්කොම ලෑලි කඩවල් තමයි තිබුණේ. මේ කියන්නෙ දැනට අවුරුදු තිස් පහකට, හතළිහකට කලින්. මම මෙතැනට ආවෙ මට අවුරුදු විසි ගාණෙන්. ඒ දවස්වල අයියත් එක්ක ඇවිල්ල ටොකු කාගෙන තමයි පුරුදු වුණේ. අයිය කළේ අයින් කරන සී.ටී.බී. බස්වල කෑලි ගලවන එක. ඒ දවස්වල මේ හරියට කියන්නෙ වැලිවත්ත කියලා. මොකද මේ හරියෙ විකුණන්න ගෙනාපු වැලි ගොඩගහල තමයි තිබුණේ. එදා ඉඳන්ම බඩු ගන්න මං ගාවට එන කස්ටමර්ස්ලගෙන් අදටත් එන අය ඉන්නවා. සමහර අය දුර ඉඳන් කෝල් කරල එන්නේ. මෙතැනට ආවොත් ඕනෑම ස්ප්‍රීන් එකක් ගන්න පුළුවන්. හැබැයි සාම්පල් එකක් අරන් එන්න ඕනේ. කොච්චර ලොක්කෙක් වුණත්, මේ බඩු හොයාගෙන රට වටේම ගිහින් අන්තිමට එන්න ඕනෙ මේ පේමන්ට් එකට.”

කොහොම වුණත් දේවල් පිළිවෙළට තියා ගන්න එක ගැන නම්. මේ මිනිස්සුන්ට පුදුම විදිහෙ හැකියාවක් තියෙනවා මෙතැනදි තමයි මං හිතන්නෙ අපිට අපූරුම මනුස්සය මුණගැහුණෙ. ඒ දැනට අවුරුදු හතළිහක විතර කාලයක ඉඳන් මේ පාරවල්වල තියෙන හැම යකඩ කෑල්ලක්, රබර් කෑල්ලක් පාසාම අතපත ගාපු දයානන්ද. අපේ වයසත් එක්ක බලද්දි සීයා කෙනෙක් වුණත් පංචිකාවත්තෙ මෙයාව දන්න හැමෝම කියන්නෙ බබා අයිය කියලා. අවුරුදු හැත්තෑවක් වෙලත් තාම පාරවල් ගානෙ ඔට්ටු වෙන බබා අයියට දේවල් මතක තිබුණෙ හරි අපූරු විදිහට.

බබා අයිය

“‍ඉස්සරම දවස්වල උදේට මම මෙතැනට එනකොටත් ඔය පාර එහා පැත්තට වෙන්න මිනිස්සු දෙන්නෙක් තුන්දෙනෙක් වාඩි වෙලා ඉන්නවා. දෙමළ කතා කරන්න තේරෙන හින්ද ඇයි කියල ඇහුවාම ඇවිත් තියෙන්නෙ එක්කො වාහනේක ඇණයක් නැත්නම් නට් එකක් හොයාගන්න. කොහෙ ඉඳන්ද මෙච්චර පාන්දර ඇවිත් තියෙන්නෙ කියල බලද්දි, ඇවිල්ල තියෙන්නෙ යාපනේ ඉඳන්. පාන්දරම බස් එකේ ඇවිල්ල තමයි, මේ ඉන්නෙ පාර අයිනට වෙලා. ඔය විදිහට දුර ඉඳන් එන මිනිස්සු දවල් වෙනකම් අපිත් එක්ක මේකෙ ඇවිදලා කාලා, බීලා එහෙම ටිකක් හවස් වේගෙන එනකොට ආයෙ යාපනේ බස් එකක නඟිනවා. එතකොට ඉතින් අපෙත් දවස නොදැනීම ගෙවිලා අතටත් කීයක් හරි ඇවිත් තියෙන්නේ. එහෙම තමයි ඒ දවස් ගෙවුණේ. මං බලන්නෙ මේ ලේන් එක වුණාට වුවමනාවක් වුණොත් මුළු පංචිකාවත්තෙම හරි බලල කස්ටමර්ට බඩුව හොයල දෙනවා. ඒ විශ්වාසෙට තමයි ආයෙත් ඒ මිනිස්සු අපි ළඟට එන්නේ. ගලෙන්බිඳුණුවැව, කැකිරාව වගේ පැතිවලින් තමයි මට කස්ටමර්ස්ල වැඩිපුර හිටියේ. සමහර වෙලාවට වැඩේ කරල දුන්නට පස්සෙ කස්ටමර්ල අපිට සතයක්වත් නොදී යන වෙලාවලු‍ත් තියෙනවා. ඒවා ඉතින් මේ රස්සාවෙ හැටි. ඒ ඇරුණාම ඒ කඩෙන් අපිට බිස්නස් එකේ වටිනාකමෙන් 5%ක් දෙනවා. ඒකත් අපි ඉල්ලලා නෙවෙයි. එයාල කොහොමත් ඒක දෙනවා. මේ තියෙන ඕනෙ
කඬේකින් ඕනෙ බඩුවක් මට සල්ලි නැතුව ගන්න අදටත් පුළුවන් සල්ලි පස්සට තියලා. ”

බබා අයිය කියන්නෙ ගොඩනැඟිලි දෙපාර්තමේන්තුවේ රස්සාව කරල රණසිංහ ප්‍රේමදාස බලයට පත්වෙනවත් එක්කම තමන්ගෙ ස්ථිර නොවෙන රස්සාව අහිමිවෙලා පංචිකාවත්තට ඇවිත් බ්‍රෝකර් කෙනක් විදිහට වැඩ කරන හරි අපූරු මනුස්සයෙක්. නට් ඇන්ඩ් බෝල්ට් ගැන වගේ ලංකාවෙ දේශපාලනික ඉතිහාසය ගැනත් මේ මනුස්සයට තිබුණ දැනුම සමහර තැන්වලදි අපිව පුදුම කළා කිව්වොත් මම හරි. කොහොම වුණත් මේ මනුස්සය සම්බන්ධතා හදාගන්න දක්ෂයෙක්. කතාවෙන් කතාවෙන් ආයෙමත් තේ කඩේ ළඟටම ඇවිත් තිබුණ නිසා හෙල්මට් දෙකත් පැත්තකින් තියලා අපි කේක් කෑලි දෙකක් ගත්තේ කඩේ අංකල් තේ දෙක හදල දෙන පමාව ගෙවාගන්න. මිනිස්සුන්ගෙ ජීවිත ඇතුළෙ තියෙන කතා හරි පුදුමයි. ඒ තරමටම සුන්දරයි. මං හිතන්නෙ පංචිකාවත්තටම ආවේණික විදිහකට අපිට තේ දෙක අතට ලැබුණා. අපි මේක බීල මෙතැනින් යනවා. දැන් අපි දෙන්නටම මෙතැන අඳුනන මිනිස්සු ටිකක් ඉන්නවා. ආයෙත් දවසක අපි පංචිකාවත්තට එයි. සමහර විට හෙට අනිද්දම ලංකාවෙ කොහේවත් නැති නට් එකක්, ඇණයක්, ස්ප්‍රීන් එකක් හොයාගෙන අපිටත් එන්න වෙයි.

-වරුණ උදේශ් ජයසිංහ
සේයා – රවීන්ද්‍ර පුෂ්පකුමාර

Leave A Reply

Your email address will not be published.

11 + nineteen =