මගේ දරුවන්ගෙන් කොල්ලකා ගත් අධ්‍යාත්මය

අපොයියාව’ කියවා අවසන් වූයේ මේ දැන් ය.

දැන් ම සටහනක් තැබිය යුතුව තිබෙන්නේ විවිධ කටයුතු එක පිට එක එන නිසා ය. සටහන අසම්පූර්ණ වුවත්, මෙය මේ මොහොතේ තැබිය යුතු ම ය.

‘අපොයියාව’ මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ යෞවන නවකතාවක් ය.

‘මිනිසුන් වචන වැනි ය – නෙක අරුත් මවයි’ හුරුබුහුටි පිටු 108ක් පුරා දිවයන්නේ නෙක අරුත් මවන විස්තෘත පවුලේ සහ ‘මානව සමාජයේ’ මෙන් ම ස්වභාව පරිසරයේ සහසම්බන්ධතාව පිළිබඳ කතාව ය – ‘මගේ දරුවන්ගෙන්’ කොල්ලකා ගත් අධ්‍යාත්මය ගැන කතාවය.

මේ යුගයේ කලා කෘති සම්බන්ධව විශේෂ විචාරක අවධානය යොමු කෙරෙන ප්‍රධාන ආකාර දෙකක් හඳුනා ගත හැකි ය. එකක් ඔජවඩන රති කෙළිය ය. අනෙක හිසේ කෙස් කෙළින් කරගෙන තේරුම් කර ගත යුතු ආකෘතික හරඹ ය.

‘අපොයියාව‘ කේන්ද්‍රගත කරගෙන තිබෙන්නේ ආකෘතික හරඹයක් යනු මේ යැයි පූර්වාදර්ශ සැපයීමක් බඳුව යැයි කිව හැකි ය. මෙය යොවුන් නවකතාවක් බව සඳහන් ය. මේ රටේ යෞවනය යනු කවරක් ද? මේ මොහොතේ යෞවනය යනු නව ලිබරල් ධනවාදය විසින් ඩිජිටල් වෛවර්ණයෙන් පින්තාරු කරන ලද මිලේනියම් ෆැන්ටසියක් ය. කැලැන්ඩරයේ වසර 2000 සටහන් වූයේ මානව ශිෂ්ටාචාරය ම්ලේච්ඡත්වය කරා ආපසු ගෙන යන දශකයක ඇවෑමෙන් ය. ඒ 1990දී සමාජවාදී රාජ්‍ය පද්ධතිය බිඳදමා ඇමෙරිකානු පාදඩ ලිබරල් ක්‍රමය කේන්ද්‍ර වු ලෝකයක් ලෙස ය. මහත්මා ධනවාදී දේශපාලන, සංස්කෘතික චින්තාවන් පරසක්වළ ගසා පාදඩ චෞරයන් ගෝලීය අණසක බාධා විරහිතව පැතිරූ දශකයක ඇවෑමෙන් ය.

මෙය පතුලේ ප්‍රබල දේශපාලනයක් තිබේ. එය කොතරම් ද? කතානායකයා ඇතුළු පිරිසට ඉස්කෝලේ ‘විශේෂ පන්තියක්’ වෙන් කර දීම තුළ ම තිබෙන්නේ තියුණු දේශපාලනයක් ය. ‘අපොයියාවේ’ තිබෙන අනෙක් හැම දේශපාලන සංකේතයක් ම අත්හැර මේ දරුවන්ට විශේෂ පන්තියක් වෙන් කිරීම තුළ තිබෙන දේශපාලනය පමණක් හරියට කියවා ගත්ත ද ප්‍රමාණවත් ය.

මේ තුළ ඉපැදුණු දරුවන්ට වයස අවුරුදු පහ හෝ හය වන විට ‘ස්මාට් ෆෝන්’ එකක් ඔවුන් අතට ලැබිණි. අද යෞවනයට පියනඟන්නේ 2005න් හෝ 2006න් ඇරැඹි ස්මාට් ෆෝන් යුගයේ ස්මාට් ෆෝන් එකක් අතින් ගත් දරුවන් ය. ‘අපොයියාව’ පදනම් වන්නේ මේ දරුවන්ගේ ලෝකය මත ය. එය නිමැවීමේ ආකෘතික හරඹය වන්නේ තවමත් ශේෂ වී තිබෙන පත්තරවල ‘ප්‍රහේලිකා’ පිරවීමේ පැරැණි ජනප්‍රිය එහෙත්, දැන් අවශේෂ අවධානයක් තිබෙන විශේෂාංගය මත ය. කොටින් ම අපොයියාව වියමන් වන්නේ ප්‍රහේලිකාවක් පිරවීම තුළින් ය; ඒ මතුපිට ය.

ප්‍රහේලිකාව පිරවීම තුළ ගලා යන්නේ මිනිස් සිරුරේ කේශනාළිකා දක්වා විහිදුණු රුධිර නාළිකා ය. මේ රුධිර නාළිකා තුළ දිව යන්නේ නව ලිබරල් චෞරකරණය නොවූ සමාජ, සංස්කෘතික සබඳතාවන් පිළිබඳව ය. කොරෝනා වෛරසය විසින් මහ පොළොව මත ඇදහෙළමින් තිබෙන නව ලිබරල් චෞරකරණයෙන් පසුව මානව ශිෂ්ටාචාරය යළි ගොඩනැඟීම සඳහා අත්තිවාරම් දැමිය යුතු තද පොළොව පිළිබඳ හැඟවුම් ය.

ටියුෂන් ගුරුවරයා මූලික කර ගත් අධ්‍යාපනයත්, කීයක් හරි හොයන්න ඇද දැමූ ළමා ශ්‍රමයත්, ස්වාභාවික පරිසරය සමඟ අංශුමාත්‍ර හෝ ගැටීමකට ඉඩ නොදී ‘ස්කූල් සර්විස්’ තුළට කොටු කිරීමෙන්, රූපවාහිනී චැනල්වල ‘ලිට්ල් ස්ටාර්’ වසංගතවලින්, ස්මාර්ට් ෆෝන්වලින් සහ මාපියන්ගේ හීනමාන දුරු කිරීමේ හීනවල කොටු කිරීමෙන් ආදී වශයෙන් පැහැර ගන්නා ලද ‘මගේ දරුවන්ගේ’ අධ්‍යාත්මය නැවත පිරවීමේ ‘අපබ්‍රංශය’ අපොයියාව තුළ පවතී.

‘අපොයියාව’ යන වචනය අපබ්‍රංශයක් වී තිබෙනවා සේ ම දරුවන්ගේ ආධ්‍යාත්මික පෞරුෂය ගොඩනැඟීමත් නූතන දරුවන්ට අපබ්‍රංශයක් ම වී තිබෙන්නේ ය. මේ අපබ්‍රංශය මාපියන්ට තේරුම් ගත හැක්කේ ‘අපොයියාව‘ කියැවීමේ දී “මගේ දරුවන්ට අහිමි වී ගිය ජීවිතය කෙබඳු ද?” යන්න හැඟී යන්නේ නම් පමණ ය.

මේ ලියූ කිසි ම දෙයක් යොවුන් වියේ සිටින අයට නොතේරෙන අපබ්‍රංශ වීමේ ඉඩ බොහෝ ය. ඒ තියා මාපියන්ගෙන් බොහෝ දෙනකුටත් එසේ ම ය. නමුත්, සිදුවිය යුත්තේ, තේරෙන කවුරුන් හෝ මේ නොතේරෙන අයට තේරුම් කර දීම ය. මස්ඉඹුලගේ ‘අපොයියාව’ ද එක්තරා ආකාරයක අපබ්‍රංශයක් වීමේ හැකියාව බොහෝ දෙනකුට තිබිය හැකි ය. පොත එක හුස්මට කියවාගෙන යා හැකි ය.

තම තමන්ට සමීප කලාප තුළ ජීවත් වීමේ හැකියාව ද තිබිය හැකි ය. ඇතැම් විට අතීතකාමී කල්පිතවල ගිලීමේ අවස්ථාවක් බවට ද පත් කර ගත හැකි ය. තේරුම් නොදත් හින්දි ගීතයක් අසා මුසපත් වී යනවා සේ විය හැකි ය.

නමුත්, මෙය පතුලේ ප්‍රබල දේශපාලනයක් තිබේ. එය කොතරම් ද? කතානායකයා ඇතුළු පිරිසට ඉස්කෝලේ ‘විශේෂ පන්තියක්’ වෙන් කර දීම තුළ ම තිබෙන්නේ තියුණු දේශපාලනයක් ය. ‘අපොයියාවේ’ තිබෙන අනෙක් හැම දේශපාලන සංකේතයක් ම අත්හැර මේ දරුවන්ට විශේෂ පන්තියක් වෙන් කිරීම තුළ තිබෙන දේශපාලනය පමණක් හරියට කියවා ගත්ත ද ප්‍රමාණවත් ය. මේ වැනි දේශපාලන කියවා ගැනීම් බොහෝ දෙනකුට අපබ්‍රංශ ම ය.

මේ විශේෂ පන්තිය ඇති කරන්නේ කවරාකාරයේ දරුවන්ට ද? “කොතරම් දඟකාරකම් පෙන්නුව ද, ගාමිණීට ඕනෑ ම උස ගසකට නැඟීමට පුළුවන. ගිය සැරේ අවුරුදු උත්සවයේ දී ලිස්සන ගස නැග්ගේ ද ගාමිණී ය. චන්දිමාට ඉතා වේගයෙන් දුවන්නට හැකි ය. ඈ හැම දා ම උදේ බිබිලේ සිට අම්මා සාදා දෙන ලැවරියා ටික රැගෙන විත් ‘අජිත්’ හෝටලයට දී නංගීව ප්‍රාථමික පාසලට දමා ඉස්කෝලෙට එන්නේ දුවගෙන ය. විජේපාල හැඩට චිත්‍ර අඳියි. ඉස්කෝලෙ වෙසක් පෙරහැරේ වෙස්මුහුණු සාදන්නේ ඔහු ය. මොනවත් බැරිව වාගේ ඉන්නා හරිතට තරම් සරුංගල් හදන්නට පළාතේ කාටවත් පුළුවන්කමක් නැත. ඔහු වෙසක් කාලයට සරුංගල් පට්ටම් සාදා විකුණයි. ඒවා කූරියා ගහන්නේ නැත. ඇල ගහන්නේ ද නැත. ඔහුගෙන් සරුංගල් හදවා ගන්නට බොහෝ අය එති.”

සහජ හැකියාවන්, විශේෂ හැකියාවන් සහ වෙනස් චින්තනයන් මරා දමන පවතින අධ්‍යාපනය පිළිබඳව ප්‍රශ්න කිරීම සිදු වන්නේ දේශපාලන කියැවීමක් තිබෙන අය වෙතින් පමණි. එසේ නොවන ඕනෑ ම කෙනකුට මේවා අපබ්‍රංශ ය. කිරිඅම්මා, සීයා, අම්මා, තාත්තා සහ සහෝදර සහෝදරියන්ගෙන් යුක්ත ශේෂ වන විස්තෘත පවුලේ සාමාජිකයෙක් ය, කතානායක ආර්. එම්. එච්. මුතුහර. ඔහුගේ ආධ්‍යාත්මික පෞරුෂය ගොඩනැඟෙන ප්‍රමුඛ ධාරා දෙකක් ය. ඒ අකුරු නොදත්, ලෝකය දැනගත් කිරිඅම්මා සහ ‘අධ්‍යාපනය නම් කිමැයි’ දැනසිටි හේමා සහ දිසානායක ටීචර්ලා ය.

ඒ විතරක් නොවේ. යෞවනයේ සමාජ, සංස්කෘතික ජීවිතය අත්විඳින සහචරයෝ රැළක් ද වෙති. ඔහු හුදෙකලා ඒකසෛලීය සත්වයකු නොවේ. ගාමිණීලා, සුබාලා, චන්දිමාලා, හරිතලා, විජේපාලලා පිරිවරක් ඔහුට සිටිති. මේ අය ‘සමාජ සංස්කෘතික’ වී සිටින්නේ කෙසේ ද? ප්‍රබන්ධ හොල්මන් කතා, වීර කතා, චිත්‍රපට කතා, රොබින්හුඞ් කතා ඇසීමට රංචු ගැසීමේ සිට එකිනෙකාගේ විශේෂ හැකියාවන් බෙදා-හදා ගැනීම දක්වා ඒ තාත්වික වූ බැඳීම් තුළින් ය.

“මගේ පන්තියේ යහළුවන්ට ද ජයග්‍රහණ ඔස්සේ ඉදිරියට යන විදිය ගැන කියා දිය යුතු යැයි පන්ති නායකයා ලෙස මම කල්පනාවට ගතිමි. ලස්සනට අකුරු ලියන්නට බැරි වුණත්, සුබා කවි කියන්නට ඉතා දක්‍ෂ ය. ඇය තාලයට කවි කියන විට හේමා ටීචර් ඇස්දෙක පිසින අයුරු අපි දැක ඇත්තෙමු. එවිට අපේ ඇස්වලට ද කඳුළු එයි.” මේ ඔවුන්ගේ සංස්කෘතික ජීවිතයයි. ‘මගේ දරුවන්ට’ අධ්‍යාපනය විසින් ද, නව ලිබරල් චෞර ආර්ථික මෙවලමක් බවට පත් කරගෙන තිබෙන ස්මාට් ෆෝන් එකෙන් ද අහිමි කරන ලද ජීවිතයයි.

කතානායක මුතුහර තුළින් සහ ඔහුගේ විස්තෘත පවුල් පසුබිමේ ස්වාභාවික පරිසරය තුළින් අතීතකාමී ඔජවඩන කල්පිත තුළ පාඨක හීන නොරඳවන්නේ ය. මුතුහර රොබින්හුඞ් හරහා මෙන් ම චිත්‍රපට හරහා ද නූතනයට ගෙන එයි. ඒ ගෙන ඒමේ මූලිකයා කිරිම්මා වීම කෙතරම් අසිරියක් ද? ඒ හැමට ම වඩා ප්‍රබල ම සංකේතය වන්නේ මේ කිරිඅම්මා ඉරටු සුද්ධ කර මිටි තොගයක් ම විකුණා රුපියල් තුන්සීයක් ගෙන තම මුණුබුරාට ඩෙනිම් දිග කලිසමක් ගන්නට එම සල්ලි දීම ය.

මහාචාර්ය ලියනගේ අමරකීර්ති ලියූ ‘කුරුලු හදවත’ නවකතාව සිහියට නැඟේ. එහි අන්තර්ගතය වන්නේ, ගුවන්විදුලියේ අසන්නන්ගේ ගීත ඉල්ලීම්වලට තැපැල් පත් ලියන උදාසීන තරුණයා නව ලිබරල් එෆ්.එම්. සංස්කෘතියේ වාහකයකු වීම ය. ඔහු අක්මුල් සිඳගෙන ඕපපාතික ඒකසෛලික ජීවියකු ලෙස

ප්‍රාග්ධනයට උපරිම ලාභ කඳු ගොඩගසා දීම ය. අවසානයේ එහි ම ගොදුරක් වී අභිරහස් ලෙස මිය යාම ය. එදා අමරකීර්ති නව ලිබරල් පාදඩ ප්‍රාග්ධනය මිනිසුන්ගේ සංස්කෘතික ජීවිත මිරිකා පෙරා ගන්නා ආකාරය ගැන ලිවී ය.  ප්‍රත්‍යන්ත දේශයන්ගේ එය ක්‍රියාත්මක ආකාරය චිත්‍රණය කිරීමක් ය.

මෙදා 2008 කාලයේ ඇමෙරිකාවේ නව ලිබරල් රන් දොවොල බිඳවැටීමෙන් ඇරැඹි ලෝක ආර්ථික අර්බුදය මිනිස් ජීවිත කීතු කීතු කර දශකයකට වැඩි කාලයක් පැමිණි අතර, කොරෝනා වෛරසය විසින් පොළොවේ ගසන ලද මොහොතක් ය. ‘කුරුලු හදවතේ’ සිට ‘අපොයියාවට’ එන්නේ පුවත් පත්වල ප්‍රහේලිකා පිරවීමේ විනෝදාංශය කේන්ද්‍රගත කරගෙන ය. ‘අසන්නන්ගේ ඉල්ලීම්’ යනු පුද්ගලයා ‘ජනප්‍රිය’ යන්නෙන් පින්තාරු කිරීමක් ය. ‘ප්‍රහේලිකා පිරවීම’ යනු පුද්ගලයකු තුළ පෘථුල ලෝකයක් මැවීමේ සංකේතයක් ය; ආධ්‍යාත්මික පෞරුෂය ගොඩනැඟීමක් ය. එය ‘මගේ දරුවන්ගෙන්’ කොල්ල කන ලද ජීවිතයයි.

“හොඳට අකුරු ලියන්න පුරුදු වෙන්න. මුතුහරට ඉතින් චිත්‍ර අඳින්න එහෙමත් පුළුවන් නේ… ඔයාලගෙ නාට්‍ය, සංගීත සංදර්ශන, චිත්‍රපටි… ඒ සෙල්ලම් නතර කරන්න එපා… ඒවා දිගට ම කරන්න. වෙසක් පෙරහැර කරන කොට මං මුතුහරලාව සම්බන්ධ කර ගන්නම් කෝ. ගිය සැරේ පුතාලා හදපු මහබඹාට ගොඩක් ප්‍රතිචාර තිබුණා. මට වැඩක් නැති පීරියඞ්වල මං එන්නං කෝ පුතාලගෙ අලුත් පන්තියට…”

මේ කියන්නේ, අපොයියාවේ හේමා ටීචර් ය. ‘මගේ දරුවන්ට’ මේ හේමා ටීචර් හමු වන්නේ කණ කැස්බෑවා අහස දකින සේ ය. එහෙත්, අපිට අපේ දරුවන්ට ඒ හේමා ටීචර් කෙනෙක්, ඒ කිරිඅම්මා කෙනෙක්, ඒ තාත්තා කෙනෙක් විය හැකි ය. කුරුලුගංගොඩ වී අභිරහස් ලෙස මිය යනවා වෙනුවට මුතුහර සේ ලෝකය හදවතින් ගෙන ගමට යාමට හැකි පරිසරයක් වෙනුවෙන් අත්තිවාරම් දැමුවහොත්, ‘මගේ දරුවන්ගේ’ ජීවිත හිනා වෙනු ඇත.

ප්‍රියදර්ශන දයාරත්න

Leave A Reply

Your email address will not be published.

19 + 4 =