විදොදෝට එරෙහිව ජනතාව වීදි බසිති

ඉන්දුනීසියාවේ ජනාධිපතිවරයා ලෙස ජොකෝ විදොදෝ නැවත තේරී පත්වීමට එරෙහිව ජනතා විරෝධය එල්ල වෙමින් පවතී. මේ දක්වා පැවති විරෝධතා හේතුවෙන් හය දෙනෙකු මියගොස් 200 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මරණවලට හේතුව පිළිබඳ පරීක්ෂණ සිදුකරන බව ඉන්දුනීසියානු පොලීසිය පැවසීය. එරට පොලිස් ප්‍රධානියා පැවසුවේ, “මෙම මරණ සඳහා පොලීසිය වගකිවයුතු යැයි ජනතාව උපකල්පනය නොකළ යුතු” බවය.

කට කතා පැතිරීම වැළැක්වීම සඳහා සමහර ප්‍රදේශවල සමාජ මාධ්‍ය ජාල අවහිර කර තිබේ.

තම නිලධාරීන් ජීව උණ්ඩ භාවිත කළ බවට කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කළ පොලිස් ප්‍රධානී ටිටෝ කර්නාවියන්, සංසුන් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

“සමහරු තුවාල වෙලා තියෙන්නේ වෙඩි උණ්ඩවලින් සමහරු තදබල පහර දීම් වලින් තුවාල වෙලා. නමුත් අපි මේ ගැන පැහැදිලි කර ගත යුතුයි,” සිදුවී ඇති මරණ ගැන සඳහන් කරමින් ඔහු පැවසීය. එසේම පොලීසිය පැවසුවේ මෙම උද්ඝෝෂණ හොඳින් සැලසුම් කර ඇති බවත් “අහම්බෙන් සිදු නොවුවක්” බවය.

ඡන්ද ප්‍රතිඵලය අනුව විදොදෝ, තම දීර්ඝකාලීන ප්‍රතිවාදියා වූ ප්‍රබෝවෝ සුබියන්ටෝ පරාජය කර ඇති බව පෙනීයාමත් සමග උද්ඝෝෂණ ඇරඹිණි.

55.5% ක ඡන්ද ප්‍රමාණයක් ලබාගත් විදොදෝ ජනාධිපතිවරණය ජයගෙන ඇති බව ඉන්දුනීසියාවේ ඡන්ද කොමිසම අඟහරුවාදා තහවුරු කළේය. නමුත් වංචා සිදුවූ බව පවසමින්, තමා ප්‍රතිඵලය පිළිනොගන්නා බව සුබියන්ටෝ පැවසීය.

හිටපු හමුදා ජනරාල්වරයෙකු වන සුබියන්ටෝ 2014 වසරේදී පැවති මැතිවරණයෙන්ද විදොදෝට පරාජය විණි. පසුව ඔහු ඡන්ද ප්‍රතිඵලය අභියෝගයට ලක් කළ ද එය ප්‍රතිඵල රහිත විය.

BBC

Leave A Reply

Your email address will not be published.

twenty + 18 =