මැතිවරණය මේ විදියට පැවැත්වුණේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසයි

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක

■ පැවැත්වුණු මහ මැතිවරණය මැතිවරණ නිරීක්ෂකයකු විදියට ඔබ දකින්නේ කොහොම ද?

මෙවර පැවැති මැතිවරණය කරුණු කිහිපයක් නිසා වැදගත් වෙනවා. ඒ අතුරින් පළමුවැනි එක තමයි, කොවිඞ් 19 ව්‍යසනයට මුහුණ දෙමින් සිටිය දී, දකුණු ආසියානු කලාපයේ රටක පවත්වන පළමු මැතිවරණය මෙය වීම. ඒ වගේම මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙහෙයවනු ලැබූ පළමු පාර්ලිමේන්තු මැතිවරණයත් මෙයයි. කොහොම වුණත්, සමස්තයක් විදිහට මේ මැතිවරණය ගත්තාම පැහැදිලි වෙන කාරණා දෙකක් තියෙනවා. ඉන් පළමුවැනි එක තමයි, නිදහස් සහ සාධාරණ ලෙස මැතිවරණයක් පැවැත්වීමට ඉඩකඩක් නිර්මාණය වෙලා තියෙනවා කියන එක. ඒ වගේම මැතිවරණ දිනය තුළත් ඉතාමත් සාමකාමී ලෙස මැතිවරණය සිදු වීම තමයි, දෙවැනි කාරණාව වෙන්නෙ. ඒ නිසා මැතිවරණ දිනය තුළ වාර්තා වූ සිදුවීම් වුණත් ඉතා ම සුළු සිදුවීම් බවට පත් වෙලා තිබුණා.

මැතිවරණ කොමිෂන් සභාව ගන්නා ලද තීරණ බොහොමයක් යම් තාක් දුරකට ක්‍රියාවට නැඟුවා. විශේෂයෙන්ම මැතිවරණ කොමිෂන් සභාව පාලකයන්ට අවනතව තීරණ ගන්නවා අපි දැක්කෙ නැහැ. ඒ නිසා මැතිවරණ කොමිෂන් සභාවට මේ රටේ ඇතැම් විද්වත් යැයි කියා ගන්නා පුද්ගලයන්ගේ සිට ඇතැම් දේශපාලන නියෝජිතයන්ගේ පවා අපහාසයට සහ ගැරහීමට ලක් වෙන්න සිදු වුණා.

■ මොනවද ඒ වාර්තා වුණු සිදුවීම් ?

මැතිවරණ දිනය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ඇතුළුව සිදුවීම් තුන්සිය හතළිහක් වාර්තා වෙලා තිබුණා. ඒවායින් විශාල ප්‍රමාණයක් ඉතාමත් අවම, නොසලකාහැරිය හැකි සිදුවීම් විදිහට සලකන්න පුළුවන්. ඒ වගේම පූර්ව මැතිවරණ සමයේදීත් වාර්තා වුණු සිදුවීම් ප්‍රමාණය ඉතාමත් අඩුයි. ලේ වැගිරීම් සහ රෝහල්ගත කිරීම් අඩුයි. ඒ නිසා අපකීර්තිමත් මැතිවරණ ඉතිහාසය තුළ මෙය සාධනීය තත්ත්වයක්. ඒත් පූර්ව මැතිවරණ ක්‍රියාවලිය තුළ අනුමත කළ නොහැකි හැසිරීම් කිහිපයකුත් දකින්න ලැබුණා. ඉන් එකක් තමයි, මාධ්‍ය භාවිතය. අනෙක් තත්ත්වය තමයි, කැබිනට් මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය සහ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ හැසිරීම. ඒ වගේම සමාජ මාධ්‍ය භාවිතය. මේ කියන කාරණා තුන ගත්තම අනුමත කළ නොහැකි තත්ත්වයක් තමයි ඒ තුළ දකින්න ලැබුණේ. නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පවත්වන්න නම් මේවා යම් පාලනයකට නතු කර ගත යුතුයි. ඒ වගේම ඒවා පාලනයට නීති සම්පාදනය විය යුතුයි.

■ මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් ඔබ දකින ගැටලුකාරී තත්ත්වය මොකක් ද?

මැතිවරණයක් හමුවේ මාධ්‍ය භාවිතයේ දී සම බිමක් නිර්මාණය කිරීම අනිවාර්යයෙන්ම තිබිය යුතු දෙයක්. එය ප්‍රශස්ත මට්ටමට ක්‍රියාවට නැඟීමට නම් මාධ්‍ය උපමාන අනුගමනය කිරීමට වගේම ඒවා ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කළ යුතු වෙනවා. නමුත් එවැනි තත්ත්වයක් සිදු නොවුණු බව සමීක්ෂණවලින් පැහැදිලිවම තහවුරු වෙලා තිබුණා. මාධ්‍ය විතරක් නෙමෙයි ප්‍රචාරක වියදම් කියන එකත් මීට බලපානවා. විශේෂයෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක තමන්ගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් අතිවිශාල මුදලක් වියදම් කළා. එවැනි මුදලක් වියදම් කිරීම මඟින් ඡන්ද භාවිතයට සහ මහජන මතයට සැලැකිය යුතු බලපෑමක් සිදු කරන්න පුළුවන්. ඒ නිසා මැතිවරණ ප්‍රචාරක කටයුතු පිළිබඳ නීතියක් නොමැති වීමත් මෙවැනි තත්ත්වයකට හේතුවක්. අනෙක් පැත්තෙන් නිහඬ කාලසීමාව, ඒ කියන්නෙ අවසන් පැය හතළිස්අටක කාලය තුළ බැලුවොත්, අන්තර්ජාලයට මුදාහරින ලද පෝස්ට්වලින් සියයට දහයක්වත් ෆේස්බුක් ආයතනයට හෝ මැතිවරණ කොමිෂන් සභාවට මැදිහත් වී ගලවා දැමීමට නොහැකි වුණා.

■ රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත් වීමක් ගැනත් ඔබ සඳහන් කළා. ඒ පිළිබඳ ඔබේ නිරීක්ෂණය මොන වගේ ද?

පසුගිය මැතිවරණ කාලසීමාව තුළ ඇතැම් රාජ්‍ය නිලධාරීන් තමන්ගේ සීමාව ඉක්මවා කරන මැදිහත් වීම් පිළිබඳව අපි නිරීක්ෂණය කළා. ඒත් ඒවාට මැතිවරණ කොමිෂන් සභාව හෝ ශ්‍රී ලංකා පොලිසිය වේගවත් මැදිහත් වීමක් සිදු කරනවා අපි දැක්කෙ නැහැ. ඊට අදාළව අපේ නිරීක්ෂණය තමයි, එවැනි තත්ත්වයන්ට ක්ෂණිකව මැදිහත් වී ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්න යාන්ත්‍රණයක් නොමැති වීමේ ගැටලුව. වේගවත් නෙමෙයි, මන්දගාමී හෝ මැදිහත් වීමක් තියෙනව ද කියන එකත් ප්‍රශ්නයක් විදිහට තියෙනවා. පසුගිය ජනාධිපතිවරණය සහ ඊට කලින් පැවැති මැතිවරණවල දී එවැනි මැතිවරණ නීති උල්ලංඝනය කළ රාජ්‍ය නිලධාරීන් කී දෙනකුට නීතිමය ක්‍රියාමාර්ග අරගෙන තියෙනව ද කියන එක බැලුවා ම ඒක තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේ මැතිවරණයේ දීත් මේ පොත වහල, ඊ ළඟ මැතිවරණයේ දී අලුත් පොතක් පෙරළා ගන්නවට වඩා වැදගත් වෙන්නෙ දැන්වත් මේ පිළිබඳ සංවාදයක් ඇති කර ගැනීමයි.

■ පසුගිය මැතිවරණවලට වඩා වෙනස් සිදුවීමක් විදිහට මෙවර මැතිවරණයේ දී ගණනය කිරීමේ මධ්‍යස්ථානවල එක් රාත්‍රියක් ඡන්ද පෙට්ටි ගබඩා කර තැබීමක් සිදු වුණා. එම කාලය තුළ ඒවාට ආරක්ෂාව ප්‍රමාණවත්ව තිබුණා කියල ඔබ හිතනවා ද?

එහි දී තිබුණු ආරක්ෂාව ගැන නම් අපි සෑහීමකට පත් වෙනවා. ඒකට හේතුව තමයි, අපිට මෙවර මැතිවරණයේ දී සෑම ගණන් කිරීමේ මධ්‍යස්ථානයකටම නිල වශයෙන් අපගේ නිරීක්ෂකයකු බැගින් සම්බන්ධ කරන්න හැකියාවක් ලැබුණ නිසා ඒ ගැන හොඳින්ම නිරීක්ෂණය කිරීමට හැකි වීම. ඒ නිසා ගණනය කිරීමේ මධ්‍යස්ථාන තුළ ඡන්ද පෙට්ටි ගබඩා කර තිබුණු රාත්‍රිය පුරාවටමත්, ගණනය කිරීමේ ක්‍රියාවලිය තුළත් තිබුණු තත්ත්වය සම්බන්ධයෙන් අප උපරිම වශයෙන් සෑහීමකට පත් වෙනවා.

■ ගණනය කිරීම් සිදු වෙද්දී කිසිදු අක්‍රමිකතාවක් සිදු වුණේ නැහැ කියල ද ඔබ කියන්නෙ ?

නොවුණා නෙමෙයි. සිදුවීම් දෙකක් අපිට වාර්තා වුණා. එකක් තමයි, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රියන්ත පතිරණ කියන අපේක්ෂකයා සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයෙක් එහි නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා සහ නියෝජ්‍ය පොලිස්පතිවරයා සමඟ ගැටුම්කාරී තත්ත්වයක් ඇති කරගෙන තිබුණා. ඒ නිසා ත්‍රිකුණාමලයේ විපුලානන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථානයේ යම් නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය වුණා. අනෙක් පැත්තෙන් යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ ඉතා විශාල කලබගෑනියක් ඇති වුණා. දේශපාලන පක්ෂ රාශියක්ම ඒකට සම්බන්ධ වුණේ මනාප ඡන්ද පිළිබඳ පැතිර ගිය වැරැදි ආරංචියක් නිසා. ඒ සිදුවීම් දෙකත් ඡන්ද ගණනයට බලපෑවේ නැහැ. ඒ හැරුණු කොට ඡන්ද ගණනය කිරීමේ ක්‍රියාවලිය ගැටලුවකින් තොරව පැවැති බව තමයි, අපගේ නිරීක්ෂකයන්ගේ වාර්තා කිරීම් අනුව අපගේ අදහස වෙන්නෙ.

■ මේ වෙන කොට මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් වෙලා අවසන්. පශ්චාත් මැතිවරණ තත්ත්වය සහ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනයට ගෙන තිබෙන ක්‍රියාමාර්ග ගැන ඔබ සෑහීමකට පත් වෙනව ද?

විශේෂයෙන්ම පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලට මූලිකත්වයක් ගන්නෙ ප්‍රාදේශීයව බලයක් අත්පත් කරගෙන සිටින පළාත් පාලන ආයතනවල නියෝජිතයන් සහ ප්‍රාදේශීය දේශපාලන බලවතුන්. පසුගිය ජනාධිපතිවරණයේ දී අපි එවැනි සිද්ධීන් පනස් හයක් වාර්තා කළා. නමුත්, ඒ සිදුවීම් පනස්හයේ දී ම පොලිසිය මන්දගාමීව තමයි ක්‍රියා කළේ. ඒ වගේම පශ්චාත් මැතිවරණ තත්ත්වයක දී පොලිසියෙන් සාධාරණ මැදිහත් වීමක් බලාපොරොත්තු වෙන්නත් බැහැ. ඒකට හේතුව තමයි, පොලිස් ස්ථානාධිපතිවරුන්ට ප්‍රාදේශීය දේශපාලකයන්ගෙන් සිදු වන බලපෑම නිසා ඔවුන් සෘජු තීරණ ගැනීමට නැඹුරු නොවීම. ඒ නිසා අපිත් ප්‍රාදේශීයව සිදු විය හැකි එවැනි තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් ඉන්නවා. ඒත් මෙවැනි තත්ත්වයක් ඇති වීම පාලනය කරන්න නම්, පොලිසිය සෘජු මැදිහත් වීමක් සිදු කිරීම වගේම ආගමික නායකයන් ජයග්‍රාහකයන්වම වර්ණනා කරමින් කටයුතු කිරීම වෙනුවට ජයග්‍රාහකයන් මෙන්ම පරාජිතයන් පිළිබඳවත් සැලැකිල්ලෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා. ඒ වගේම එවැනි මැදිහත්  වීම්වලින් පාලනය කළ නොහැකි පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනයට අවශ්‍ය නීතිරීති සහ බලතල ප්‍රමාණයක් මැතිවරණ කොමිසම සතුව තියෙනවා.

■ ඔබ කියන විදිහට මෙවර මැතිවරණය සාපේක්ෂව නිදහස් සහ සාධාරණ මැතිවරණයක් බව පෙනී යන කරුණක්. පසුගිය මැතිවරණවලට සාපේක්ෂව එවැනි තත්ත්වයක් ඇති වීමට හේතුව විදිහට ඔබ දකින්නෙ මොකක් ද?

ඒකට ප්‍රධානම හේතුවක් තමයි, ස්වාධීන මැතිවරණ කොමිසමක් ස්ථාපිත කිරීම. වැඩි දෙනෙක් මේ පිළිබඳ ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළත්, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ශ්‍රී ලංකාව තුළ සිදු කරන ලද යම් ආකාරයක වෙනසක් පවතිනවා. මේ වෙනස තුළ යම් යම් අඩුපාඩු, දුර්වලතා මතු වෙන්න පුළුවන්. ඒත් ඒ දුර්වලතා මැද වුණත් මැතිවරණ කොමිෂන් සභාව ගන්නා ලද තීරණ බොහොමයක් යම් තාක් දුරකට ක්‍රියාවට නැඟුවා. විශේෂයෙන්ම මැතිවරණ කොමිෂන් සභාව පාලකයන්ට අවනතව තීරණ ගන්නවා අපි දැක්කෙ නැහැ. ඒ නිසා මැතිවරණ කොමිෂන් සභාවට මේ රටේ ඇතැම් විද්වත් යැයි කියා ගන්නා පුද්ගලයන්ගේ සිට ඇතැම් දේශපාලන නියෝජිතයන්ගේ පවා අපහාසයට සහ ගැරහීමට ලක් වෙන්න සිදු වුණා. එවන් අසීරු තත්ත්වයක දී පවා මැතිවරණ කොමිසමට මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න හැකියාව ලැබුණේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ඔවුන්ට ලබා දී තිබුණු බලතල නිසා.

සංවාදය: චතුර දිසානායක

Leave A Reply

Your email address will not be published.

ten + 9 =