ආයිබොවන්ඩ (නමට විතරක්) අලුත් මන්තිරිවරුනි,

නමෝවිත්තියෙන් දියවන්නාවෙන් එගොඩ වෙලා පාර්ලිමේන්තු මන්දිරේට ප්‍රවේස වෙන්ඩ වරම් ලැබූ තමුන්නැහැලත් එක්ක වචනයක් දෙකක් දොඩන්ඩ හිතුණා. කොරෝනා පුරස්නෙ හන්දා ප්‍රමාද වුණ ඉලැක්සොම අපේ දේසප්‍රිය මහත්තැන්ගෙ හපන්කොමට පින්සිද්ද වෙන්ඩ  අවුලක් නැතුව පවත්ත ගන්ඩ ලැබිච්ච එක නං ලොකු දෙයක් නේ ද? කොරෝනාව අස්සෙම ඉලැක්සොම තියාගෙන ඔන්න අපි විසිස්ට ජයක් ලැබුවා කියල පාරම්බාන්ඩ සමහර ඇත්තන්ට තිබිච්ච තදියමට දේසප්‍රිය උන්නැහැ ඔළුව නැමුව නං කාරිය විසිස්ට ජය කෝක වෙතත් කොරෝනා යක්සයා රටම ඩැහැ ගන්නවා ඒකාන්තයි.

කෙහොමින් කෙහොම හරි තමුන්නැහැල අලුත් රාජ සබාවට ගොඩවැදුණ ය කියමු කෝ. හැබෑටම ආයුබොවන්ඩ දැන් ඉතිං මොකද කොරන්ඩ කල්පනාව. ගමේ ගොඬේ මැගිලින් නැන්දලගෙන්, සීමොන් මාමාලාගෙන් මනාප වරං ඉල්ලද්දි නොයෙක් ජාතියේ පොරොන්දු එහෙමත් දෙන්ඩ ඇති නෙ. ගමට ලයිට්, පාරට කාපට්, කොල්ලන්ට ජොබ්ස් ඔන්න ඔය වගේ පුරස්නවලට පට් පට් ගාලා විසඳුන් හොයල දෙන බවට හතරට පහට නැමිලා ප්‍රොතිඥත් දුන්න නෙ. ඒ විතරක් යැ පරදේසක්කාරයන්ට දීපු රටේ සම්පත් ටික පවරගෙන උන්ගෙ පස්ස පැත්තට පයින් දෙකක් ඇනලා පන්නල දාන වගටත් බොහොම උජාරුවෙන් කියාපාන්ඩත් ඇති නෙ.

දැන් තියෙන මාර පුරස්නෙ චන්දෙ කාලෙ රටවැස්සන්ට දීපු පොර ටෝක් ටික කිරියාවට නඟල පෙන්නන එක තමා නේ ද මන්තිරිවරුනි. එහෙම නැතුව මෙච්චර කල් කොළා වගේ රාජ සබේ බෝජනාගාරයෙන් පිනට ලැබෙන දිව්‍ය බෝජන ටික ගිලල දාලා වාහන පෝමිට්ටෙක බර ගාණකට වෙන්දේසි කොරලා කොළොම්පුරෙන් සැප මන්දිරයක් එහෙම හොයාගෙන ආතල් එකේ ඉන්ඩ මවන හීන හැබෑ කොරගන්න එක නං මෙදා පොටේ ලේසි වෙන එකක් නැහැ ආයිබොවන්ඩ. පහුගිය අවුරුදු හැත්තැ දෙක පුරාම ඔහෙලගෙ චාටු බහට රැවටිච්ච අහිංසක මිනිස්සු ඉස්සර කොළා වගේ ඊ ළඟ චන්දෙ එන කං ආකාසෙ දිහා බකංනිලාගෙන ඉඳීවි කියල ද මුන්නැහැල හිතා ඉන්නෙ.

පරම්පරාවෙන් පරම්පරාවට ජනතාව ටිකෙන් ටික වෙනස් වෙන බව.., ජනතාව අලුතෙන් හිතන්ඩ පුරුදු වෙන බව පරණ තාලෙටම ජනතාවට කොකා පෙන්නන්ඩ ගියොත්, මේ වතාවෙ ඔහෙලට අපූරුවට තේරුන් ගන්ඩ ඇහැකි වෙයි. හඬක් නැති ජනතාව වෙනුවෙන් රාජ සබාවෙ හඬනඟන හැබෑ ජනතා නියෝජිතයන් එක්ක එකතු වෙලා බොරු පෙරොන්දු දේසපාලනේට නැවතීමේ තිත තියන හැටි ජනතාව තමුන්නැහැලට කියා දේවි. රට, ජාතිය, ආගම එහෙමත් නැත්තං ලයිට්, වතුර, පෝර වගේ පුරස්න හැමදාම අලෙවි කොර ගන්ඩ බැරි බවත්, රාජ සබාව ඇතුළෙ රඟදක්කන මිරිස් කුඩු, බයිබල් සන්දර්සන වැනි නාඩගංවලට වැඩි ආවිස නැති වගත් නුදුරු කාලෙදිම ඔහෙලට තේරුං ගන්න ඇහැක් වෙයි මන්තිරි මහත්තුරුනි.

මේ වෙලාවෙ මුන්නැහැලට පොරෝජන වෙයි කියල හිතෙන හංදා මහත්මා ගාන්ධිතුමා කියා තියෙන මහා පව් හත ගැනත් ඩිංගිත්තක් මතක් කොරන එක මගේ යුතුකොමක්. එතුමා පෙන්නා දෙන මුල්ම පව තමා මහන්සි නොවී උපයන ධනය. දෙක හිතට එකඟ නැති සතුට. තුන්වෙනි මහා පව හැටියට එතුමා සලකන්නෙ ගුණ යහපත්කමින් තොර දැනුම. සදාචාරයක් නැති වියාපාර කිරීමත් සමාව දෙන්ඩ බැරි පාපයක් බව ගාන්ධිතුමා හතරවෙනියට පෙන්නා දෙනවා, පස්වෙනි පාපය වෙන්නෙ මනුස්සකමක් නැති විද්දියාව. පරිත්‍යාගයෙන් තොර බොරු වන්දනාව හයවෙනි පවයි. අන්තිම එක හෙවත් හත මුන්නැහැලට කෙළින්ම අදාළ හන්දා ඒක ටිකක් ලොකු අකුරෙන්ම ලියඤ්ඤංකො.

ඒක තමා ආයිබොවන්ඩ, ප්‍රතිපත්තියක් නැති දේසපාලනේ.

විශ්වමිත්‍ර

Leave A Reply

Your email address will not be published.

18 − sixteen =