අවසන් නොවීය; විරාමයක් පමණකි

කොළඹ වරාය නැගෙනහිර ජැටිය රැකගැනීම

සිසිර යාපා

ඇතැමෙකු සිතා මතා අමතක කළාට රටකට ඉතිහාසයක් තිබේ. වරායයන් වලටද ඉතිහාසයක් තිබේ. කොළඹ වරායටද එලෙස ඉතිහාසයක් තිබේ.

කොළඹ වරාය පිළිබඳව ඉතිහාසය 4 – 5 සියවස් කරා දිව යයි. එකළ එය අරාබි සහ පර්සියන් වෙළදුන්ගේ වෙළද මධ්‍යස්ථානයකි. පෙරදිගත් බටහිරත් යා කළ පැරණි සේද මාවතේ අවසන් නැවතුම් පළද එයයි. 14 වන සියවසේ මුල් භාගයේ කොලොම්තොට ලෙස නම් කළ ඊට 1505දී පෘතුගීසින් පැමිණියේ ය. එය ඉන්දියානු සාගරයේ උපායමාර්ගික වැදගත් පර්යන්තයකි. ආසියාවේ වැදගත් ආර්ථික කේන්ද්‍රස්ථානයකි. එනිසාම එය පෘතුගීසි සමයේ සිට නිරතුරුව විදෙස් ආක්‍රමණයන්ට ඝෘජු හා වක්‍ර බලපෑමට ඉලක්ක විය. බ්‍රිතාන්‍යයන් 1913 දී කොළඹ වරාය කොමිසම පිහිටුවීය. ශ්‍රී ලංකා වරාය අධිකාරිය පිහිටුවනු ලැබුවේ 1979 දී යි. ඒ  අංක 51 දරණ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පනතේ විධිවිධාන යටතේයි. එතැන් සිට කාලයක් ගිය තැන 1982 දී පළමු ගැන්ට්‍රි දොඹකරය කොළඹ වරායේ ස්ථාපනය කෙරුණි.

එතැන් සිට දිවෙන ඉතිහාසය පුරා කොළඹ වරාය කොටස්, දේපළ විටින් විට විදේශයන් වෙත නොකඩවා පවරා දෙනු ලැබිණි.

ඒ විකුණන ඉතිහාසයට අදාලව බොහෝ සටන් ඇති විය. ඒවා ජයග්‍රහණයෙන් මෙන්ප පරාජයෙන්ද අවසන් විය. කොළඹ වරායට අදාළ අලුත්ම සටන ඇතිවුයේ එහි නැගෙනහිර පර්යන්තයේ (East Container Terminal -ECT) සවිකිරීමට රැගෙන එන ලද නව ගැන්ට්‍රි දොඹකර තුනක් සම්බන්ධයෙනි. ඒවා පසුගිය ජුනි 20 වැනිදා සිට ගොඩබෑමට නොහැකිවීම මුල් කරගෙන පළමුව සේවක වර්ජනයක් ආරම්භ විය. වර්ජනය ජූලි 03 වැනිදා දහවල් 12.00ට අවසන් කෙරුණි. වරායේ සියලු දේශපාලන පක්ෂ වලට සම්බන්ධ වෘත්තීය එම වෘත්තීය අරගලය දියත් කරනු ලැබුවේ ඉල්ලීම් දෙකක් මුල් කර ගනිමිනි.

එනම්, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පුර්ණ අයිතිය ශ්‍රී ලංකාව සතු විය යුතු අතර එහි මෙහෙයුම් ක්‍රියාත්මක කළ යුත්තේ වරාය අධිකාරිය විසින් පමණි යන්න එක ඉල්ලීමකි. දෙවැන්න වූයේ ඒ වන විටත් වරායට රැගෙනවිත් තිබෙන නව ගැන්ට්‍රි දොඹකර තුන නැගෙනහිර පර්යන්තයේ සවි කිරීම සඳහා ගොඩබෑමට පියවර ගත යුතුය යන්නය.

වරායට රැගෙන එන ලද නව ගැන්ට්‍රි දොඹකර ගොඩබෑම දින 14ක් තිස්සේ ප්‍රමාද කිරීමට හේතුව ඉන්දියාවේ බලපෑමක් බව නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව පැවසීය. ඔවුන් පැවසු ආකාරයට දිනකට රු. එක්කෝටි දස ලක්ෂයක් බැගින් දින 14ක් ප්‍රමාද ගාස්තු ගෙවමින් ඒවා රඳවා ගෙන තිබිණි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකා, ඉන්දීය සහ ජපාන රජයන් අතර 2019 මැයි මාසයේදී සහයෝගිතා ගිවිසුමක් [Memorandum of Cooperation] අත්සන් කර තිබෙන බව ඇත්තකි.

මේ පිළිබඳව ‘ලංකා’ කළ විමසුමකදී නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිත සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප‍්‍රධාන ලේකම් චන්‍ද්‍රසිරි මහගමගේ පවසා සිටියේ. වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් සිදු කිරීමට ඇති කරන පර්යන්ත මෙහෙයුම් සමාගමේ කොටස් හිමිකාරිත්වයෙන් 51%ක් ශ්‍රී ලංකාව සතු වන අතර ඉතිරි 49%ක් ව්‍යාපාර හවුල්කරුවන්ට හිමිවන බවය

.“වරායේ ජයබහළු පර්යන්තය (JCT) ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයිතියි. දකුණු ආසියා පිවිසුම් පර්යන්තය (SAGT) සහ කොළඹ ජාත්‍යන්තර කන්ටේනර් පර්යන්තය (CICT) හි මෙහෙයුම් වලින් 15%ක් පමණක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුයි. ජයබහළු පර්යන්තයේ තියෙනඇති දොඹකර අවුරුදු 30ක් විතර පරණයි. ඒ හින්දා කොළඹ වරායේ විශාල නැව් හසුරවමින් වැඩි ප්‍රතිලාභ ගන්න තමයි නැගෙනහිර පර්යන්තය East Container Terminal (ECT) හැදුවේ. ගැඹුර මීටර් 18ක නැගෙනහිර පර්යන්තයට ගැන්ට්‍රි දොඹකර තුනක් ඉල්ලලා තිබුණා. ඒවා තමයි වරායට ගෙනාව දොඹකර තුන. ඒත් ඒවා ගෙනවිත් බාන්න නොදී උන්නා. ඒ හින්දා තමයි අපි සටන් කළේ”  යයි මුල් වර්ජනය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසීය.

වර්ජනය අතර තුර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ වෘත්තීය සමිති නියෝජිතයන් ජූලි 03 වැනිදා තංගල්ල කාල්ටන් නිවසේ පැවැත්වූ සාකච්ඡාවකින් පසුව එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කෙරිණ.

ඒ අනුව එතෙක් ගොඩනොබා රඳවාගෙන තිබූ ගැන්ට්‍රි දොඹකර තුන ජූලි 03 වැනිදා පස්වරුවේ ගොඩබෑම ආරම්භ කෙරුණි.

එහෙත් ජූලි 03 වැනිදා පස්වරුවේ යළිත් විරෝධතාවක් ආරම්භ විය. ඒ පිළිබඳව නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සංජය කුමාර වැලිගම මාධ්‍යයට අදහස් දැක්විය. ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෙවත් ‘පොහොට්ටුව’ට අනුබද්ධ වාණිජ, කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපතිවරයා ය.

“අපි හිතන විදිහට මේක විකුණන්නම තමයි ලෑස්ති කරගෙන යන්නේ. ඒකට පසුබිම තමයි මේ නිර්මාණය කරන්නේ. ඒකට විරුද්ධව වරාය සේවකයන් විරෝධතාවයක් පවත්වනවා.” යැයි ඔහු පැවසීය.

මේ වර්ජනයේදී ඊට සහ දක්වමින් ඇල්ලේ ගුණවංශ හිමියෝ ද විරෝධතාව පැවති ස්ථානයට පැමිණියෝය.

“වරාය කියන්නේ අපේ ජාතියේ හදවත බඳු සම්පතක්. ඒ සම්පත් ගැන මම පහුගිය කාලේ දිගටම කතා කළා. ඒ කතා කරලා තමයි ගෝඨාභය මහත්තයට සීයට හැට ගාණකින් ඡන්ද අරන් දුන්නේ. ඒ අරං දීලා ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කළේ මේවා රකින්න. එහෙම නැතුව විකුණන්න නෙමෙයි.’’ යයි ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසා තිබිණි.

මේ වර්ජනය අතරතුර සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ පැවසුවේ “නැගෙනහිර පර්යන්තයේ 49% ක් ඉන්දියාවටත් ශ්‍රී ලංකා වරාය අධිකාරියට 51%කුත් වෙන ආකාරයට 2020 ජුනි 09 වැනිදා ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. මේ අය දැන් හදන්නේ යහපාලන ආණ්ඩුව අත්සන් කරපු MOC එක MOU එකක් බවට පත් කරන්න. අපේ සටන නිසා ගැන්ට්‍රි හයි කළා. ඒත් වැඩ ගන්නේ නෑ. ඒ කියන්නේ ඉන්දියාවට දෙන උත්සාහය නතර නොවුනා කියන එක.” යනුවෙනි.

මෙම වෘත්තීය අරගලයට එක්ව සිටි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ වරාය අධිකාරිය ශාඛාවේ සභාපති ප්‍රසන්න කළුතරගේ පැවසුවේ “දැන් ගැන්ට්‍රි දොඹකර හයිකරලා ඉවරයි. ඒවායින් වැඩ ගන්න UCT එකේ ඉඳලා, ඒ කියන්නේ සමගි බහලු පර්යන්තයේ ඉඳලා ජංගම දොඹකර ටික ගෙනත් ස්ථාපිත හයිකරන්න ඕනේ. හැබැයි ඒ අතර වරාය ඇතුළෙන් යන පොර්ට් සිටියේ පාළමේ ෆයිල් ගහනවා පාර මැද්දේ. මේ ෆයිල් ගැහුවහම අර UCT එකේ තියෙන ජංගම දොඹකර ටික ගේන්න බෑ.” යනුවෙනි.

මේ අතර ජූලි 31 රාත්‍රී 9.00 පමණ සත්‍යග‍්‍රහය පවතී ස්ථානයට ගිය ශ්‍රීලංකා පොදුජන එක්සත් පෙරමුණේ එවකට කොළඹ අපේක්‍ෂකයන් දෙදෙනෙකු වූ විමල් විරවංශ සහ උදය ගම්මන්පිල ට වරාය සේවකයන් බහුතරයගෙන් ලැබුණේ හූවකි. හූවෙන් ගැලවී වරයා සභාපතිවරයාගේ කාමරයට ගිය දෙදෙනා හවුලේ ප්‍රකාශ කළේ තමන් ජනාධිපතිවරයාගේ පණිවිඩයක් අනුව පැමිණි බවයි.

විමල් – ගම්මන්පිලගේ පැමිණීමෙන් පැය 24ක් යාමට මත්තෙන් අගෝස්තු 1වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  බදුල්ලේ පවතී මැතිවරණ හමුවකදී පැවසුවේ වරායේ සේවකයන් ආරම්භ කර ඇති වර්ජනය කිසිම පදනමක් නැති වර්ජනයක් බවයි. එම වර්ජනයට තමන්ව බය කිරිමට ඔවුන්ට නොහැකි බවත් ජනාධිපතිවරයා එහිදී පවසා තිබිණි.

ඉනුත් පැය 24ක් ගෙවෙන්නට මත්තෙන් අගමැති මහින්ද රාජපක්ෂ හා වරාය වෘත්තීය සමිති නියෝජිතයෝ මහින්ද රාජපක්ෂගේ තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසේදී යලිත් සාකච්ඡාවක් පැවැත්වූහ.

එහි ප්‍රතිඵලයක් ලෙස එතෙක් කල් ඇදුණු කොළඹ වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීමට එරෙහි සටන නතර විය.

“ඇත්ත, පොදු එකඟතාව මත අපි වැඩ වර්ජනය නැවැත්තුවා. එකෙන් අදහස් වෙන්නේ නැහැ අපි අපේ සටන පුද්ගල පොරොන්දු මත අවසන් කළා කියලා. අපි ආවේ වරාය රැකගන්න පොදු සටනකට. ඒක රාජ්‍ය දේපළ රැකීමේ ජාතික සටනේම එක කොටසක්. ඒක රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ සටනක්. දැන් සමහරු කියන විදිහට තියෙන්නේ අලුත් ආණ්ඩුවක්. එහෙමයි කියලා පරණ පොරොන්දු කුණු කූඩෙට දාන්න සමහර විට සමහරු හිතාගෙන ඇති. කනගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ, එක අරමුණකින් එකට එක වුණු නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව ඉඩ දෙන්නේ නැහැ.” යි අලුත් තත්වය පිළිබඳව ‘ලංකා’ වෙත අදහස් දැක්වූ සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප‍්‍රධාන ලේකම් චන්‍ද්‍රසිරි මහගමගේ පැවසීය.

මෙම සටනට සහය දුන් භික්ෂූන් වහන්ස්ලා අතර හුන් ජාතික භික්‍ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියන් ප්‍රකාශ කළේ තමන් ඇතුළු එම සටනට සහය දුන් බහුතරයක් භික්ෂූන් වහන්සේ  ප්‍රකාශ කළේ තමන් වහන්සේලා ගමින් ගහමට යමින් ජනතාව දැනුවත් කරමින් මෙම සටනට අඛණ්ඩව සහාය දෙන බවයි. නැගෙනහිර ජැටිය නොවිකුණන බවට ඡන්දයට පෙර ජනතාවට පොරොන්දු දුන් කිසිවෙකුටත් මැතිවරණයෙන් පසුව එකී පොරොන්දු කඩකිරීමට ඉඩ නොදෙන බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් උන් වහන්සේ පැවසුවේ “මේක ජාතික සටනක්. මේ සටන අනිවාර්යයෙන් දිනන්න ඕන. මේ වරාය සේවකයින්ට බනිස් ගෙඩිය ඉල්ලලා, පඩිය වැඩිකරන්න කියල ඉල්ලලා කළ සටනකුත් නෙවෙයි. වරාය සේවකයො සටන් කළේ මේ ජාතික සම්පත රැකගන්න. පොරොන්දු විශ්වාස කරලා ඒ සටන තාවකාලිකව නතර කළත් අවසන් කළේ නැහැ. වරාය රැක ගැනීම සඳහා කරන සටන අවසන් වෙන්නේ ජයග්‍රහණයෙන් විතරයි. දැන් ඉතින් අපි ජයග්‍රහණයෙන් පමණක් අවසන් කරන ඒ ජාතික සටනට සුදානම් වෙන්න ඕනේ” යනුවෙනි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණා දැමීමේ ‘පරණ ආණ්ඩුවේ’ පොරොන්දුව ‘අලුත් ආණ්ඩුව’ කුණු බක්කියට දමන්න සුදානම් නොවන්නේනම් නිසැකවම එවන් සටනක් සිදු නොවන වග අපටනම් විස්වාසය.

Leave A Reply

Your email address will not be published.

nine + fifteen =