මොස්කව් කොමඩු වාරය අද සිට!

 

කවුද කොමඩු කන්න අකමැති! බොහෝ යුරෝපීය රටවල් වල ගිම්හාන කාලය ලබා දෙන පුදුමාකාර ත්‍යාගයක් තමයි කොමඩු. මොස්කව් නගරයේ කොමඩු විකිණීම සඳහා අගෝස්තු මාසේ 3 වන දා සිට ස්ථාන 240ක් පමණ විවෘත වෙනවා.
අතීතයේදී ඊජිප්තු වැසියන් මේ කොමඩු වල වටිනාකම දැන ගෙන සිටියා. ඔවුන් විශ්වාශ කලේ කුණාටු සහ කාන්තාරයට අධිපති දෙවියන් විසින් මේ කොමඩු පොලවේ පැල කරන බව. ඒ නිසාම තමයි ඊජිප්තුවැසියන් මිය ගිය විට ඔවුන්ගේ සොහොන් කොත් තුලට කොමඩු ඇතුල් කලේ. ඒ මරණින් මතු ජීවිතය සඳහා අවශ්‍ය ආහාර වෙනුවෙන්.
කොමඩු මුල් වරට සොයා ගෙන ඇත්තේ අප්‍රිකාවේ නැමීබියාවෙන්. වර්තමානයේත් මේ රටවල් වල කෑලෑ කොමඩු දැක ගන්නට පුළුවන්. රුසියාවේ මුල් වරට කොමඩු ගැන සඳහන් වෙන්නේ 8-10 ශත වර්ෂ වල. ඉන්දියාවෙන් රුසියාවට කොමඩු ගෙන ආ බවයි පැවසෙන්නේ. මුළින්ම කොමඩු වගා කර ඇත්තේ වොල්ගා නදිය අවට ප්‍රදේශ වල. නමුත් ඉතිහාසයේ පැහැදිලිව සඳහන් වන්නේ 1660 වසරේදී එවකට පාලකයා වූ ඇලෙක්සි මිහාලොවිච් විසින් රුසියාවේ අස්ට්‍රහාන් නගරයේ කොමඩු සාර් රජුගේ උද්‍යාන වල වගා කිරීමට උත්සාහ කල බවක්. ඉන් පසුව පළමුවන පීටර් සාර් රජුගේ සමයේ වොල්ගා නදිය දෙපස ගම්මාන වල විශාල වශයෙන් කොමඩු වගාවට මුලිකත්වය ලබා දී තිබෙනවා.
රුසියාවේ බොහෝ ප්‍රදේශ වල කොමඩු වලට අමතරව එහි පොත්තෙන් පවා ජෑම් නිපදවනවා. එමෙන්ම වෙලා ගත් කොමඩු ඇට (රුසියානුවන් හඳුන්වන්නේ රතු වතුරේ පීනන කළු මාළුවන් වශයෙන්) ආහාරයට ගන්නවා.
නිවැරදි කොමඩු ගෙඩියක් මිලදී ගන්න රුසියානු කාන්තාවන්ට ඇත්තේ හොඳ දැනීමක්. යම් විදිහකින් රවටා හෝ චාටු බස් පවසා නොඉදුණු සහ නීරස කොමඩු ගෙඩියක් අලෙවි කල හොත් පසුදා එම වෙළෙන්දාට ලැබෙන්නේ ශුද්ධ රුසියානු භාෂාවෙන් සංග්‍රහයක් නිසා බොහෝ වෙළෙන්දන් – විශේෂයෙන්ම පැරණි සෝවියට් සමුහාණ්ඩුවලින් පැමිණි වෙළෙන්දන් – එසේ කරන්නට පෙළඹෙන්නේ නැහැ.
කොමඩු ගෙඩියක් මිලදී ගැනීමේදී රුසියානු කාන්තාව මුලින්ම කරන්නේ ගෙඩියට තට්ටු කිරීම. එයින් නැගෙන්නේ බොල් හඬක් නම් ඒ කොමඩු ගෙඩිය මිලදී ගැනීමෙන් වැලකී සිටිනවා. එමෙන්ම කොමඩු ගෙඩියේ අග නැට්ට අනිවාර්යයෙන්ම වියලි විය යුතුයි. ඉදුණු කොමඩු ගෙඩියේ පොත්ත නියපොත්තෙන් සීරීමට අපහසුයි. එමෙන්ම ආහාරයට සුදුසු කොමඩු ගෙඩියක කිසිම විටෙක පැලුණු ස්ථාන නොතිබිය යුතුයි. ඒ වගේම රුසියානු කාන්තාවන් විශ්වාශ කරන්නේ කොමඩු ගෙඩියේ පොත්තේ අවම වශයෙන් එක ස්ථානයක වත් කහ හෝ සුදු පැහැති කොටසක් පෙනෙන්නට තිබිය යුතු බවයි. ඒ කහ හෝ සුදු කොටසින් පෙන්වන්නේ කොමඩු ගෙඩිය සුර්යාලෝකයට විවෘත වී තිබියදී පොලවට හෝ කොමඩු කොළ වලට යටවී තිබුණු ප්‍රදේශය. වැඩි වැඩියෙන් සුර්යාලෝකය ලැබුණු විට කොමඩු වැඩි වැඩියෙන් රසවත් වන බවට රුසියානුවන් විශ්වාශ කරනවා.
රුසියානු කාන්තාවන් කොමඩු තේරීමේදී බොහෝ අවස්ථා වලදී කොමඩු ගෙඩිය අතට ගෙන එහි එක පැත්තකට අත්ලෙන් සෙමින් පහර දෙනවා. ඒ පහරේ බලපෑම ඔබේ අනික් අතට දැනෙනවානම් ඔවුන් විශ්වාශ කරන්නේ එහි මදය මෘදුව සහ කොමඩු යුෂ වැඩි වශයෙන් ඇති බව.

දැනට ලොව ලොකුම කොමඩු ගෙඩිය වගා කොට ඇත්තේ ඇමෙරිකාවේ ගොවීපල් හිමියෙක්. ඒ කොමඩු ගෙඩියේ බර කි.ග්‍රා. 120ක් . රුසියාවේ වැඩිම බර ඇති කොමඩු ගෙඩිය වාර්තා වී ඇත්තේ ක්‍රස්නොදාර් නගරයෙන්. එහි බර සටහන් වුනේ කි.ග්‍රා 60ක්. 1981 වසරේදී ජපානයේ ගොපිපල් හිමියෙක් ලොව ප්‍රථම වරට පෙට්ටියක් හැඩයක් ඇති කොමඩු වගා කලේ නිෂ්පාදනය ගබඩා කර තබා ගැනීමේ පහසුව වෙනුවෙන්.
සාමාන්‍ය වශයෙන් ආහාරයට ගැනීම, පාන වර්ග සහ ජෑම් නිපදවනවාට අමතරව රුසියානුවන් මේ කොමඩු යොදා ගෙන Nardek නමින් පැණි විශේෂයක් නිපදවනවා. බොහෝ රුසියානු ගම්මාන වල මෙය තවමත් සිදුවෙනවා. මේ පැණි කි.ග්‍රා. 1ක් නිපදවීම සඳහා කොමඩු මද කි.ග්‍රා 20ක් පමණ යොදා ගන්නවා. එමෙන්ම රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ විට තම පුහුණුවීම් වලදී භාවිතා කරන්නේ කොමඩු බීම. එයට හේතුව කොමඩු වල ඇති සිට්‍රුලයින් මගින් රුධිර පීඩනය පාලනය කරන නිසාත් කොමඩු යුෂ පානය මාංශ පේශීන් වර්ධනයට ආධාර වන නිසාත්.

රුසියානු රජය කොමඩු විකිනීමේදී නීති පනවා තිබෙනවා. මේ නීති අතර වෙළඳාම සඳහා කොමඩු ගෙඩි තබා තිබිය යුත්තේ දැව වලින් සාදන ලද ආධාරක මත බවත්, වෙළඳාම් කරන පුද්ගලයින්ට අනිවාර්යයෙන්ම නිරෝගී සෞඛ්‍ය තත්වය පෙන්නුම් කරන සහතික පතක් තිබිය යුතුබවත් එමෙන්ම කොමඩු රැගෙන විත් තිබෙන ප්‍රදේශය සහ රජයේ පරීක්ෂණ වල ප්‍රතිපල පෙන්වන සහතික පත්‍ර මිලදී ගන්නා විසින් ඉල්ලා සිටියහොත් ඉදිරිපත් කිරීමට සුදානම් වී සිටිය යුතු බවත් ප්‍රධාන වශයෙන් දැක්වෙනවා.
රුසියාවට හෝ පැරණි සෝවියට් සමුහාණ්ඩු රටවල් වලට සංචාරය කරනවානම් කොමඩු ගෙඩියක රස බලන්න අමතක කරන්න එපා.
-රොකාන් ඩිරෙක්ස්(Rokhan Direkz)

Leave A Reply

Your email address will not be published.

13 − eleven =