තම අත්දැකීම් අන්වීක්ෂ ගතකරණ කවියෙක්

 

ජගත් සී. ජයසිංහ හෙවත් ජගා ගේ “වෙරළක උණුසුම් සුළඟ හොයන ඔයාට” කෘතිය උණුසුම් ජීවන අත්දැකීම් වලින් පිරි කෘතියක්. සිය ජීවිතයේ නිරන්තරයෙන් අත්විඳින, දකින, අසන ජීවන නිමිති ජගත් කවි කරන්නේ අපූරු වක්‍රෝත්ති සහගත බසකින් හා ආකෘතියකින්. ඔහුගේ බස ශබ්දකෝෂ ගත වහරක් නොවෙයි. එය සාමාන්‍ය ජීවිතයේ අප අත්දකින ගැමිවහර, පුරවහර තුලින් පෙරාගත් කවිවහරක්. ඒ නිසා ඔහුගේ කවියේ අර්ථ වින්‍යාසයන් සොයා ගන්නට රසිකයාට වෙහෙස වන්නට සිදුවන්නේ නැහැ.
“එපා නිහඬ ව ඉන්නට” වැනි කවියක ඔහු ස්පර්ශ කරන ජීවන කලාපය අපට නිතර දැක හුරුපුරුදු වුවත් ඔහුගේ කවිය තුල එය නව්‍ය අත්දැකීමක් බවට පත්වෙනවා.

“ගෙවන විට යුගදිවියෙ පස්වරුව
අතීතය තරම් නිවසක් වෙ ද
ලැගුම් ගන්නට ඉඳහිට”
“සීයයි ආච්චියි ළඟ
ඉතිරි ව තියෙන සෙනෙහස
සෑහේවි දරුවන් වෙනුවෙන්
විය පැහැදමට ගන්නට
එපා නිහඬ ව ඉන්නට
ගඟත් එහෙමයි එතකොට
සයුරට වැටෙන්නට කිට්ටුව
නිහඬ ව ගලයි කෙටි දුර.”
“කොර බාස්” වැනි කවියක තමන් හා වෙසෙන ආන්තික ජීවන චරිතයක රිද්මය ජගත් නිරීක්ෂණය කරණ ආකාරය අපූරුයි.
“ජීවිතේ බොහෝ තැන කුස්තූර පේනවා
කොර බාස් බිත්තිවල කුස්තූර වහනවා”
මේ “ඇත්තමයි අසෝකෝ ‘පේමතෝ ජායතී සෝකෝ’ කවියේ එන අපූරු පරිකල්පනීය මැවුමක්.
“ඔහුගේ අතේ එල්ලී ඔයා ඇවිදගෙන යනකොට
සරදමේ අත්පුඩි ඇහුණා හිත ඇතුළෙ ඇති පදමට
මංගල්ලෙ මධුසමයෙ යුගදිවියෙ සිහින ඔක්කොම
ඔයා අරගෙන විසිකෙරුව මට රූපරාමු එක එක”
ජගත් ගේ කවියේ තැනින් තැන මතුවන සුවිශේෂතාව වන්නේ තමන්ටම අනන්‍ය වූ ජීවිත නිරීක්ෂණයන් ය. ඒවා ඈතින් හිඳ කරණ නිරීක්ෂණයන් නොවී ඒ තුලම සිදුකරණ බැවින් ව්‍යාජ බවින් බැහැර වෙනවා. මෙය කවියෙකුට අසීරූ කටයුත්තක් වුවත් ජගත් එය සීරුමාරුවට සිදුකරණ ආකාරය අපූරුයි.
ජගත් තවත් පැත්තකින් ජනකවියේ ආභාෂය ද අපූරුවට නූතන අත්දැකීම් කියන්නට භාවිතා කරනවා. ” සුවඳ කපුරු විසිකර මල්දම් ගලවා දේව රූපෙ උස්සල පොළොවෙ ම ගැහුවා” නිර්මාණය එයට අපූරු උදාහරණයක්.

“යෝධ සවි නැතත් කුළුගෙඩි උස්සන්න
දාර ගල් කැඩුව වේලක් බත් කන්න
පාර හදාගෙන ඉස්සරහට යන්න
බාර වුණා දෙවියන්ගෙන් ඉල්ලන්න.”
කෙසේ වෙතත් ජගත් සී. ජයසිංහ අපූරු නි‍ර්මාණාත්මක ඇසක් ඇති කවියෙක් බව ඔහුගේ මෙම කෘතිය සාක්ෂි දරනවා. ඔහුගේ ඇති විශේෂත්වය වන්නේ බැහැරව හිඳ නොව එතුල සිට ජීවන අත්දැකීම් නිරීක්ෂණය කොට කවි කිරීමට දක්වන කුසලතාවයි.
-කපිල එම්. ගමගේ

Leave A Reply

Your email address will not be published.

nineteen + 7 =