‘කුණ්ඩලිනී යෝගය හිමි නිශ්ශංක විජේමාන්නයන්ට හමුවූ ‘කඳඅරනි”

“කඳඅරනි” – නිශ්ශංක විජේමාන්න
ඉතිහාසෙ කොහෙ හරි ඉඳලා අපි නෑකම් කියන අපි අපේ කියල කියාගන්න ලැජ්ජාවට වහං කරපු අපේ මුල් ආයෙ ආයෙ ඇදල අරන් , එහෙමත් නැත්නම් එව්ව හොයාගෙන ගිහින් අපිට තියෙන නෑකම් හොයන, තමුන්ගෙ වරිගෙ ගැන ලැජ්ජා නොවී ආඩම්බර වුණු සුගන්ධිකා කියන්නෙ මවපු චරිතයක් තමයි. මොකද ඒ චරිතය හමුවෙන්නේ ප්‍රබන්ධ කථාවක. හැබැයි ඈත මෑත අතීතෙයි වර්තමානෙයි අතර යමින් එමින් මැවෙන මේ කථාවේ ජීව ගුණය වැඩියි. මී පැණි සුවඳ හමන, මී පැණි පාට ඇඟක් තියෙන සුගන්ධිකා කියන්නෙ හෙළයෙ ආදී වාසීන් කියල, ලෝකේ ගෝත්‍රිකයෝ කියල නාමකරණය කරපු තාමත් හරිහැටි පරිණාමනය නොවුණු ජන කොට්ඨාශයක් කියල අපි හඳුන්වන වැදි පරපුරේ එක් පුරුකක්. (මේ විදිහට සුගන්ධිකා හඳුන්වාදීමේම තියෙනව අපි විසින් වැදි ජනතාව අපේ වංශ කථාවෙන් එළියට දාලා වෙන් කරල බව.)
හැබැයි එයා අපි කලින් කියවල තියෙන ගල්ගුහා වල ජීවත් වෙන, දඩයමේ යන වැදි පවුලක කෙනෙක් නෙවේ. විසි එක්වන සියවසේ ජීවත් වෙන, අන්තර්ජාලයේ සැරිසරන, ලැප්ටොප් භාවිතා කරන, ජංගම දුරකථනයෙන් මැසෙජ් යවන නූතන පරපුරේ තරුණියක්. ඒ හැඳින්වීමට වඩා දුරක් සුගන්ධිකා අපිව මේ කථාව ඔස්සෙ අරන් යනවා. ආපහු හිතන්න බල කරනවා. ඒ බලකිරීමෙම තමා කථාවෙ ජීව ගුණය පවතින්නෙ. ප්‍රබන්ධ කථාවකටත් වඩා ඉතිහාසය යළි ලිවීමක් විදියට හැඟෙන සමහර තැන් වලදි අපි ආඩම්බර වුණු ඉතිහාසය අපේ හිත් ලැජ්ජාවෙන් බර කරනවා. එහෙම තැන්වලදි හිත් පොජ්ජේ ලැජ්ජා පොජ්ජ වහංගු කරගෙන අපි හෙමිහිට එතනින් වර්තමානෙට දුවන් එන්ට තරම් ඒ ඉතිහාසය වෙනස්. ඒත් එතකොටම මතක් කරගන්ට පුළුවන් නම් සිංහයෙකුගෙන් පැවත එනවා කියල ආඩම්බර වෙන්ට පුළුවන් අපිට ඒ පරම්පරාවෙම එකෙකුට දාව ඉපදුණු දරුවො දෙන්නෙකුගෙන් පැවත එන වැදි පරපුරේ නෑකම කියාගන්ට ලැජ්ජා ඇයි කියල. (සුගන්ධිකා කියනවා වගේ අපි ඔක්කොගෙම පරම්පරා වල තියෙන්නෙම ව්‍යාභිචාර.) ආන්න එතෙන්දි අපිට පුළුවන් අර ආඩම්බර සළු ගලවන්ට. රට බේරගන්න සටනේ ඉස්සරහින්ම හිටියා කියන නිළමේවරු, රටේ රාළලා ඔක්කොම වැදි පරපුරෙන් ආව ඈයෝ වෙද්දි ලැජ්ජාවක් මොකටද? ඒ පරම්පරා වල නම් ගන්ට අපිට නෑකම් තියෙනව කියන්ට අපි කොච්චර පොර කනවද? නැති වාසගම් අලුතින් හරි ලියාගන්ට තනන්නේ නැති ආඩම්බරයක් වෙනුවෙන් නෙවෙයිද? අහවල් පරම්පරාවට අයිති අහවල් දේ අපේ ගෙවල්වල ඉස්සරහ ප්‍රදර්ශනේට තියන්ට කීය දීල හරි ගන්ට අපි පොරකනවා නේද?
හැබැයි ඒ ගාම්භීර නම් අයිති මිනිස්සු ඌරුවරිගෙ සුගන්ධිකා පැවත එන පරම්පරාවෙන් පැවත ඇවිත් ග්‍රාම්‍ය ජීවිතේට හුරුවුණු මිනිස්සු කීවොත්? එතෙන්දි හිත ටිකක් සැලෙනව නේද? ඒ හෙලවීමට මම නම් කැමතියි. වෙනස් විදියට හිතන්න අලුත් මාවතක් විවෘත කරල දීමම මේ ඇල්මැරුණු හිත්වලට උත්තේජනයක් වෙනවට මම කැමතියි. ඉතිහාසෙ මෙහෙම ලියවුණා නම් අපි ඔය තරමට ඉතිහාසෙ කබල් ගාන එකකුත් නැති වෙයි. ඒ වගේම නැති ඉතිහාස ණයට ගන්න පොරකන, වහගන්න උත්සාහ කරන ඉතිහාස වලට බය මිනිස්සුන්ට ඌරුවරිගෙ සුගන්ධිකා කියල දෙන පාඩම අවුරුදු දෙදාස් පන්සීයක ප්‍රෞඩ ඉතිහාසෙන් වත් කියල දුන්නු පාඩමක් නම් නෙවෙයි.
එක් සිදුවීමක් හරි, තමන්ගේ මුල් ගැන කැක්කුමක් හරි තියෙන එක හඳුන්පොතක කීරී ගෑමක් තමා සුගන්ධිකා කියල උත්පාද වෙලා තියෙන්නෙ. ඒ මට දැනෙන හැටි. සුගන්ධිකා කථා කරන්නේ, පෙනී ඉන්නේ තමුන් වෙනුවෙන් නෙවෙයි කියල මට දැනෙන නිසා වෙන්න ඇති ඒ.
මේ කථාව අතරින් එබිකම් කරන තිසාහාමිලා, දොස්තර ස්පිට්ලා, සෙලිග්මාන් ලා කියන්නෙ සුගන්ධිකාගේ චරිතය එක්ක එකතුවුණු මේ කථාවට මූලාශ්‍ර එකතු කරගත්තු චරිත. ඒ කියවීම් වෙනම වුණාට මේ කියවීමේදී අතරින් පතර එකතුවෙන ඒ හැමදේම කථාව සාරවත් කරනවා. හුරුපුරුදු බවක් ගෙන එනවා. මහියංගණෙ කීවම වැද්දෝ මතක් වෙන, වැද්දො කීවම මහියංගණෙ මතක් වෙන අපි නොදන්න හැම තැනකටම විසිරිලා ඉන්න මේ පරපුරේ මිනිස්සු ලංකාවෙ ලියවුණු ඉතිහාසය වෙනස් කරන්න දායක වුණු තරම ගැන ඇත්තටම දන්නවද? අතීතය හඹා යාම ඇතැම් විට සුන්දරයි කියල දැනෙන තැන් මේ කියවීම තුළ බහුලයි. ඒ තැන් වලදි ඇත්තටම කඳඅරනි වල සුවඳ දැනෙනවාද කියල මම දන්නේ නෑ. හැබැයි කඳඅරනි වල එහෙමත් නැත්නම් මීපැණි වල පාට හරි සුන්දරයි කියල දැන් හිතෙනවා. ඔව් මීපැණි පාට හරි සුන්දරයි.
ඌරුවරිගෙ සුගන්ධිකා කියන්නේ සුන්දර තරුණියක්ම වෙන්න ඕන. එහෙම නැත්නම් අමිත් මාලින්දගෙ හිත යන්නේ නෑ ඒවගේ කෙනෙකුට. අමිත් මාලින්දට තියෙනව අමතක කරන්නට යන අතීතයක්. ලැජ්ජාවෙන් සමහර මුල් පැවැත්ම කොතනින්ද කියල අමතක කරන්ට හදන අපේ හිත් හරියටම අමිත් මාලින්ද විජේසිංහගෙ වාගෙ. ඒ තමා පිරිසිදු සිංහලයො කියල හිතාගෙන ඉන්න මිනිස්සුන්ගෙ කල්කිරියාවේ පැහැදිලි ප්‍රතිබිම්බ. ඒ ගැන කළකිරීමක් ඇතිවෙන තරමට හිතට සුගන්ධිකා සමීප වෙනවා. ඒ වගේම ස්ත්‍රී චරිතයක් මවක් වීම, උපන්ගෙයිම දරුවා අහිමි වුණු මවක් වීම පාඨකයා තුළ ඇති කරන හැඟීම සංවේදී බවේ ඉහළම තැන බවයි මගේ පිළිගැනීම. එය හදවතේ යම් රිදීමක් ඇති කළ තැනක් බව මා නොකියා සිටින්නේ ඇයි? එයින් ගත් එකම උපුටනය මෙලෙස සඳහන් කරන්නේ එහි රිදීම බෙදාගනු පිණිසය.
” එදා අපුචා භූමිදානය කළ දවසේම රැයේ දරුවා බිහිවූයේය. පට්ට යකුන්ගේ ආරක්ෂාව මදි විය. පේනයට අනුව උපදින්නට උන්නේ ගැහැනු දරුවෙක් වුව උපන්නේ පිරිමි දරුවෙක් ය. කිසිදු කිරිඅම්මා කෙනෙකුගේ රැකවරණයක් නැතිව සිටීමෙන් ඔවුන්ගේ රවා බැලීමට ලක්වූවා විය යුතුය.
ඔහු ඉපදුණේ මියගොස් ය.
එරුණ කිරි ගලා ගියේය. ලය බර දරන්නට බැරි ව්ය. සීතල දුරුත්ත නිමවන දවසක ඔහුව මිහිදන් කළේ තාත්තා ළඟමය.
ඒ මගේ කොබෙයි පැටියාය.”
“කඳඅරනි” ආදීවාසීන්ගේ හඬින් මීපැණි අමතන නම බව මෙහි මුලදීම සඳහන් වේ. කථාවේ නමද එයය. මා වැනිම පාඨකයිනි, සුගන්ධිකා කියන පරිදි සැබෑ වැද්දා හොයන්නට නම් කුණ්ඩලිනී යෝගයක් තිබිය යුතුය. අපට නොමැති වුව එය නිශ්ශංක විජේමාන්නයන්ට ඇති බව පැහැදිලිය. කඳඅරනි එහි ප්‍රතිඵලයයි.
– ඉරේඛා සෙනෙවිරත්න

Leave A Reply

Your email address will not be published.

nineteen + ten =