අංගොඩ ලොක්කා නිවාස 60 ක් සාදා විකුනල- පොලීසිය ප්‍රාදේශීය සභාව ඇහැරිලා

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස හදුන්වන චමින්ද පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා අයිතිකරුවන් බිය ගන්වා බලහත්කාරයෙන් අත්පත් කරගත් කෝටි 50 කට අධික වටිනා ඉඩම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ(02) මාධ්‍යට පැවසිය

මේ අතර මෙම කරුණු අනාවරනයා වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය මගින් සිදුකළ විමර්ශනයේ දී මෙම තොරතුරු අනාවරණය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

ලොකු නාඹුගල ආරච්චිගේ සමන්ත පුෂ්පකුමාර නොහොත් සිම්බු සමන් නැමැත්තා ඊයේ අංගොඩ මුල්ලේරියාව රණබිම් මාවත ප්‍රදේශයේ දී හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 7 මිලිග්‍රෑම් 600 ක් සමඟ අත්අඩංගුවට ගෙන සිදු කළ මූලික විමර්ශනවල දී මෙම කරුණු අනාවරණය වී තිබේ. සමන්ත පුෂ්පකුමාර අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු වන බවත් සමන්ත පුෂ්පකුමාරගේ නමට සහ තවත් පුද්ගලයන් රැසකගේ නම් වලට බලහත්කාරයෙන් ලබා ගත් ඉඩම් පවරා මෙම ජාවාරම අයිතිකරුවන් බියගන්වා බලහත්කාරයෙන් සිදු කරගෙනගොස් ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම අනාවරණය වී ඇති තෝරතුරු වළට අනුව කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවට අයත් බැන්ඩියාවත්ත ප්‍රදේශයේ වගුරු ඉඩමක් ගොඩකර පර්චස් තුන බැගින් වූ ඉඩම් කොටස් වල නිවාස ඉදිකර ලක්ෂ 43 බැගින් වූ මුදලකට නිවාස 60 ක් අලෙවි කර ඇති බවවාර්තා වෙයි. කෙසේ නමුත් ජනතාවට මේවා අලුත් දේ ලෙස කියා පෑවද මේ සියල්ල සිදුවන්නේ වසර ගණනාවක් තිස්සේය. එසේම මෙම සියල්ල සිදුවී ඇත්තේ කොළඹ ආරක්‍ෂාවෙන් ඉහලම තැන තිබෙන ප්‍රදේශයකය. එසේම කොටිකාවත්ත ප්‍රාදේශීය සභාව නොදැනුවත්ව විය හැකිද?. එසේත් නැති නම් කොටිකාවත්ත ප්‍රාදේශීය සභාව දැනුවත්ව ඔවුන්ගේ ආශීර්වාදය ඇතුව විය යුතුය. අනෙක නම් මේ පාතාලය හැමදාම ක්‍රියාත්මක වන්නේ දේශපාලන රැකවරණය ඇතුවය. එහෙත් අද මේ මැතිවරණ යට දින කිහිපයක් තිබියදී මෙලෙස පාතාල වත්කම් හමුවන්නේ සැබෑ අර්ථයෙන්ද යන්න මේ පිලිබඳ ඉතිහාශය දන්නා කාට උවද කුකුසකි.

මිට අමතරව මේ ආකාරයෙන් මුල්ලේරියාව, අතුරුගිරිය ,වැල්ලම්පිටිය පොලිස් වසම් වල පර්චස් 917 ක ආසන්න ප්‍රමාණයක් අංගොඩ ලොක්කා බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය. එසේ නම් මේ සෑම පළාතකම සිවිල් පරිපාලනයක් තිබුනේද යන්න සැක පහල වන කරුණකි. පොලීසි, ග්‍රාමනිලධාරීන්, තවත් සිවිල් ආරක්ෂක නිලධාරීන් ගම, නඟර වල ආරක්ෂාවට සහ නීතිවිරෝධී කටයුතු සිදුවනවාද යන්න සොයා බැලීමට විමසිල්ලෙන් සිටින බව පවසයි. එහෙත් මේ සියලුදෙනා ගේ ඇස වසා පාතාලයට ඉඩම් ගොඩ කර නිවාස ව්‍යාපෘති පවා නිම කරන තුරු පොලීසිය හෝ ප්‍රාදේශීය සභාවක්, නගර සභාවක් නොදන්නවා යැයි කීම විහිළුවකි.

මෙලෙස ලබාගත් සියලුම ඉඩම් මුදල් විශුද්ධිකරණ පනත යටතේ රාජ සන්තක කිරීමට හෝ සැබෑ හිමිකරුට ලබාදීමට කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි. එහෙත් මෙතරම් දේ සිදු කරන තුරු නොදැනුවත්ව සිටියාය කීම පොලීසිය සහ අනෙකුත් වගකිවයුත්තන් ලජ්ජාවට ලක් විය යුතු කරුණක් නොවේද.

Leave A Reply

Your email address will not be published.

twelve − nine =