“ජනාධිපතිවරයා ළමා ඝාතකයන් නිදහස් කිරීම රටට වැරදි පුර්වාදර්ශයක්”

වෛද්‍ය තුෂ් වික්‍රමනායක

අප පසුකරමින් සිටින්නේ ළමා අපයෝජන ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අවදියකි. ඒ සමඟ බොහෝ කාලයක පටන් අපේ රටේ ජාතික අවශ්‍යතාවයක්ව තිබූ ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් පිළිබඳව නැවතත් කතිකාවතක් ගොඩනැගී ඇත. ඒ වෙනුවෙන් සිය දායකත්වය දක්වමින් ළමා ආරක්ෂණය වෙනුවෙන් කැපවී සිටින සංවිධානයක් වන ළමා හිංසනයට තිත’ පදනම ‘දැන් ඇති’ නමින් දැවැන්ත ජාතික ව්‍යාපාරයක් අරඹන්නේ ඉහළ යමින් පවතින ළමා අපචාරවලට එරෙහිවය. මේ එම පදනමේ සභාපතිනිය වන වෛද්‍ය තුෂ් වික්‍රමනායක සමඟ ලංකා’ අප සිදුකළ සාකච්ඡාවකි.

■             මොකක්ද මේ අතින් අතට යන ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය?

අපි එක්සත් ජාතීන්ගේ ළමා ආරක්ෂණ ප්‍රඥප්තියට අත්සන් කළේ 1991දී. පස්සෙ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගෙ කාලෙදී ප්‍රථම වශයෙන් කෙරුණේ ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් විශේෂ බළකායක් පිහිටුවීම. ඒක මිලිටරි බළකායක් නෙවෙයිල ළමා ආරක්ෂණය සම්බන්ධව විශේෂඥ මඬුල්ලක් හරහා ක්‍රියාත්මක වන බළකායක්. ඒත් එක්කම තමයි 1998 අංක 50 දරන විශේෂ පනතින් ළමා ආරක්ෂණ අධිකාරිය ස්ථාපිත කෙරෙන්නෙත්. ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියලා ඒ වෙනුවෙන් වැඩකටයුතු කෙරෙන්නෙත් ඒ කාලෙ ඉඳන්මයි.

පස්සෙ හැම අවුරුදු තුනෙන් තුනටම සභාපතිවරයා වෙනස් වෙද්දි මේක අතින් අතට මාරු වෙවී තමයි තිබුණේ. ඔහොම ගිහින් ලංකාව 2018 පෙබරවාරි මාසෙදි එක්සත් ජාතීන්ගේ ළමා ආරක්ෂණ කමිටුවේ අධීක්ෂණයට ලක් වෙනවා. ඒ අවස්ථාවේ දී ඔවුන් වාර්තාවක් දෙනවා, මේ වනතුරු පැවති සෑම රජයක්ම ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් ලබා දීලා තියෙන පොරොන්දු ඉටු කරලා නෑ කියල. ලංකාවේ රජයට ළමා ආරක්ෂණ ප්‍රතිපත්තියක් නොමැති වීම ගැනත් එතන දී චෝදනා එල්ල වුණා. ඒ වගේම අවුරුද්දක් වගේ කාලසීමාවක් ඇතුළත ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය ස්ථාපිත කළ යුතුයි කියලා ඔවුන් දන්වා සිටියා. ඒ අනුව ඊට අදාළ කැබිනට් අනුමැතියත් මේ වෙද්දි ලබාගෙන ඉවරයි. දැන් මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතු තැනට ඇවිත් තියෙන්නේ. නමුත්ල ජනවාරි මාසෙදි නව සභාපතිවරයා අපිට කිව්වේ, මාර්තු මාසෙ වෙන කොට අදාළ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා කියලා.

කොහොම හරි මේ වෙද්දි ළමා ආරක්ෂණ පනත අවුරුදු පහක සැලැස්මක් විදියට තමයි එළියට ඇවිත් තියෙන්නේ. දත්ත අනුව පොලිසිය නිවේදනයක් කරනවා නම්, සෑම පැය දෙකකට සැරයක්ම අපේ දරුවකුව අපයෝජනයට ලක් වෙනවා කියලා. අවුරුදු පහක් ගන්නෙ මොකට ද පනතක් ක්‍රියාත්මක කරන්න. මම හිතන්නෙ ළමා ආරක්ෂණ අධිකාරිය මීට වඩා වගකීම්සහගතව ක්‍රියාත්මක විය යුතුයි.

■             ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් දැනට පවතින නීතිමය තත්ත්වය මොන වගේ ද?

ළමා ආරක්ෂණ අධිකාරියට ලැබිලා තියෙන නීතිමය බලය සාමාන්‍ය පොලිසියටත් වඩා බලගතුයි

උදාහරණයක් විදියට ගත්තොත්, සාමාන්‍යයෙන් පොලිසිය තමන්ගෙ විමර්ශන කටයුතු සඳහා යනවා නම්, අනිවාර්යයෙන් ම එයාල තමන්ගෙ නිල ඇඳුමෙන් වගේ ම නිල වාහනයෙන් යන්න ඕනේ. නමුත්ල ළමා ආරක්ෂණ අධිකාරිය එසේ කළ යුතු වෙන්නෙ නැහැ. එයාලට ඕනෙම වැටලීමක් ඕනෙම අවස්ථාවක කාගෙන්වත් අවසර නැතුව කරන්න පුළුවන්. ළමා ආරක්ෂණ අධිකාරිය සතුව වෙනම ම පොලිස් අංශයක් තියෙනවා. ඒ හරහා ඉහළ කිසිම අයකුගේ අනුමැතියක් නොමැතිව අදාළ වැටලීම්ල විමර්ශන කටයුතු සිදු කළ හැකියි.

ඒ තරම් බලසම්පන්න අධිකාරියක් වෙලත් පවතින නීති නිසි ලෙස බලාත්මක කරන්න බැරි වීම ළමා ආරක්ෂණ අධිකාරියේ උදාසීනකම විතරමයි. අලු‍තෙන් නීති අවශ්‍යයි කිය කිය තවත් දිග්ගස්ස ගන්න ඕනෙ නැහැ. පවතින නීතිවත් ක්‍රියාත්මක කිරීම ඔවුන් සතුයි. ඒ වගේම ළමා ආරක්ෂණ ප්‍රඥප්තියෙත් බොහොම පැහැදිලිව තියෙනවා සෑම දෙයක්ම කළ යුත්තේ දරුවාගේ යහපත සඳහා පමණක් ය කියන කාරණය. මේ මූලධර්මය 2019 අවුරුද්දෙදි නැවත ස්ථාපිත කිරීමක් ද සිද්ධ වුණා. මොන නීතිය නැති වුණත්, මේ මූලධර්මය ළමා ආරක්ෂණ අධිකාරිය පිළිපැදිය යුතුයි.

■             මෑත කාලයේදී ළමා අපචාර වැඩි වීමට හේතු මොනව ද?

එක හේතුවක් තමයි, ඇත්තටම අපේ ජීවිතවල තියෙන ප්‍රශ්න අධික බව. මිනිස්සුන්ට  ආර්ථික සමාජීය වශයෙන් සංකීර්ණ ප්‍රශ්න බොහොමයකට මූණ දෙන්න වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට දරුවත් එක්ක ඉන්නෙ එක්කෙනයි. මොක ද අනික් කෙනා රට ගිහින් හෝ පවුල් ජීවිත කැඩී ගිහිල්ලා. ඒ විදිහට තමන්ට තියෙන පෞද්ගලික ප්‍රශ්නත් එක්ක දරුවන් රැකබලා ගැනීම කියන කාරණය දෙවැනි තැනට ඇවිල්ලා. ඒ වගේම අපේ රටේ අධ්‍යාපනය, බොහෝ පීඩනයක් සහිත අධ්‍යාපන ක්‍රමයක් තමයි තියෙන්නේ. පාසල්වල 82‍% ක් දරුවන් ශාරීරික හිංසනයට භාජනය වෙනවා කියලා ළමා ආරක්ෂණ අධිකාරිය විසින්ම කරපු සොයාබැලීමක දී තහවුරු වෙලා තියෙනවා. එතැනින් 71% ශාරීරික දූෂණයට ලක් වෙනවා. හිංසනය සහ දූෂණය අතර වෙනසක් තියෙනවා. ඇති වුණු ශාරීරික දඬුවම දරුවාගේ ආධ්‍යාත්මික, මානසික, ශාරීරික වර්ධනයට බලපෑමක් වෙනවා නම් ඒක තමයි දූෂණය. මේකට වැඩිහිටියන් හා මවුපියන් විදිහට අපිත් වගකිව යුතුයි. මොක ද අපි අද දරුවන්ගෙන් හුඟක් ඈත්වෙලා. අපිත් එක්ක විශ්වාසයක් නැති නිසා දරුවන් අපිට කියන්නත් බයයි.

පොදුවේ ලෝක මට්ටමිනුත් ළමා අපචාර වැඩි වෙමින් ගියත්, ලංකාව තුළ ඉතා ශීඝ්‍රයෙන් ළමා අපචාර වැඩිවීම පිළිබඳව අපි පරීක්ෂණයක් කළා. ඒ අවස්ථාවේදි අපිට පැහැදිලි වුණු දෙයක් තමයි, පරණ ජනාධිපතිවරයා අයින් වෙලා අලු‍ත් ජනාධිපතිවරයා පත් වෙද්දීල මාස දෙකක් ඇතුළතල දීර්ඝ නඩු විභාගයක් ඔස්සේ ජීවිතාන්තය දක්වා සිරගත කළ ළමා ඝාතකයන් දෙදෙනෙක් නිදහස් කරනවා. ලංකාවේ විධායකය හරහා තමයි, මේක සිද්ධ වෙන්නේ. එතකොට අපේ මුල් පුරවැසියා රටේ අනෙක් පුරවැසියන්ට මිනීමැරුමක් සාධාරණය කිරීමක් පෙන්වලා දුන්නා. ඒ ආදර්ශයේ ඵල විපාක තමයි මේ දැන් අපි විඳිමින් ඉන්නේ මොකද දූෂකයන් ළමයකුව දූෂණය කරල විතරක් නවතින්නෙ නෑ. මැරෙනකම් ම දූෂණය කළත් ඔවුන් දන්නවා, ඇතුළට ගියාට අනෙක් අතට එළියට එන්න පුළුවන් කියලා.

■             මොනයම්ම ක්‍රමයකට හෝ අපයෝජනයට ලක් වෙන දරුවකුගේ මානසික මට්ටම යළිත් ගොඩනඟන වැඩපිළිවෙළක් දැනට තියෙනව ද?

තිබිය යුතුයි. නමුත් මම හිතන්නෙ නැහැ ලංකාව තුළ එය සාර්ථකව කෙරෙනවා කියලා. එහෙම නොකෙරෙන්න මූලිකම හේතුවක් තමයි. ලංකාවේ සෞඛ්‍ය අංශය තුළ මානසික වෛද්‍යවරුන් හිටියත්, ඔවුන් බොහෝ විට කරන්නෙ බෙහෙත් දෙන එක විතරයි. නමුත්ල මනෝ විද්‍යාවට අනුව දරුවන් එක්ක කතාබහ කරලා, කවුන්සලින් විදිහට කරන ප්‍රතිකාරය අපේ ජාතික සෞඛ්‍ය සේවාවෙ අංශයක් නෙවෙයි. නමුත්, දැනට ලංකාවෙ ඇතැම් පෞද්ගලික අංශ මඟින් මේ කවුන්සලින් සේවාව ලබා දෙනවා.

■             ළමා අපචාර සම්බන්ධයෙන් ජනමාධ්‍යවල හැසිරීම මොන වගේ තැනක ද තියෙන්නෙ ?

අන්තිමයි. ඒ අය බලන්නෙ ඒක මාකට් කර ගන්න. එයාල දන්නවා මේක කුතුහලයක්, තැතිගැන්වීමක් එක්ක කිව්වොත් තමයි, මිනිස්සු බලන්නේ, අහන්නෙ සහ මේක ෂෙයාර් වෙන්නෙ කියල.මාධ්‍යවේදීන් මාධ්‍ය හරහා අපයෝජනයට ලක් වන ළමයින්ගේ නම් ගම් සඳහන් කිරීම මඟින් ඒ ළමයින්ව නැවත වරක් දූෂණය වෙනවා. ඒ පිළිබඳව දණ්ඩ නීති සංග්‍රහයේ 365 ක්‍ කියන වගන්තියේ සඳහන් වෙනවා ලිංගික අපයෝජනයටල අතවරයට ලක් වෙන දරුවන්ට එසේ කළ නොහැකියි කියන කාරණය. කොටින්ම මේ පාසලේ හෝ මේ ගමේ කියලවත් මාධ්‍යවේදීන්ට සඳහන් කරන්න බෑ.

■             ළමා අපයෝජනයට එරෙහිවිළමා හිංසනයට තිත’ සංවිධානයේ වැඩපිළිවෙළ මොන වගේ ද?

අපි තමයි දැනට ලංකාවේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත්ත එකම සංවිධානය. මූලික වශයෙන්ම අපි අවධානය යොමු කරන්නෙ ළමා ශාරීරික හිංසනය අවම කිරීම පිළිබඳව. ඒ වෙනුවෙන් අපිට ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. නමුත්, මේ ඇති වෙමින් තියෙන සිදුවීම් නිසා අපි මේ වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ අනුව තමයිල අපි පහුගිය 25 වැනිදා ළමා අපයෝජනයට එරෙහිව දැන් ඇති’ කියල සංවාදයක් ඇති කළේ. තව දුරටත් සංවිධානයක් විදිහට මේ ආරම්භ කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම වෙනුවෙන් අපි කටයුතු කරනවා●

 

වරුණ උදේශ් ජයසිංහ

Leave A Reply

Your email address will not be published.

nine + eleven =