ප්‍රේමය සහ ස්වයංමානය BASIC NEEDS

පවතින සමාජ යතාර්තයට ප්‍රතිවිරුද්ධව සිතන්නෙක් වන නලින් සම්පත්ගේ මනෝසායනික චිත්‍ර කලාව නුතන සමාජයට බොහෝ දේ ප්‍රකාශ කරමින් සිටියි.
“මහා බ්‍රහ්මයා, කාමරසය හා සියලු රුපසෞන්දර්යද මුළු ලෝකයටම බෙදාදෙනු පිණිස ඒ සුකොමල අවයව ඇත්තියගේ ශරීරය නමැති භාජනයෙහි එක්කාසු කලයි සිතමි”
“කවි සිළුමිණ හෙවත් කුසදාවත”
මිනිස් සිතක ඇතිවෙන මානසික උත්තේජනයන් හා ප්‍රමෝදනාත්මක අවිඥානික ආශාවන් ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂණය තුල හඳුන්වන්නේ ලුබ්ධිමය LIBIDINAL සන්තතික ක්‍රියාවලියක් ලෙසයි. ෆ්‍රොයිඩ් ගේ අර්ථකථනයට අනුව මව් කුසයෙන් බිහිවෙන මිනිස් දරුවා මුඛ අවධිය, ගුද අවධිය, ජනනේද්‍රීය අවධීන් පසු කරමින් තම ප්‍රතිවිරුද්ධ ලිංගිකයා කෙරෙහි ඇතිවෙන ප්‍රේමණීය ශෘංගාරාත්මක හැගීම් කිසිදාක ලියා නිමකර නොහැකි ප්‍රේම කාව්‍යක් ලෙස සදාතනිකව මිනිස් සිතේ අවිඥානිකව පවතින බව ෆ්‍රොයිඩ් ගේ අදහසයි. මිනිසාගේ යටි සිතේ පවතින මේ අවිඥානය කියන කොටස භාෂාව හරහා ව්‍යුහගතවන අතර, එය යටපත් වූ අනෙකා පිළිබඳව ආශාවන් ජනනය කරන ප්‍රේමයේ ආත්මීය අඩුවක් වෙත ආමන්ත්‍රණය කෙරෙන්නෙකි. නලින් සම්පත්ගේ රේඛාමය චිත්‍ර කලාව තුලින් දෘශ්‍යමානයැ වෙන්නේ මිනිස් අවිඥානයේ ඇති මේ මහද්වීප මිනිස් අභිරහසයි. මිනිස් අවිඥානය කැන්වසයක් හරහා ප්‍රකාශමාන කළ චිත්‍ර ශිල්පීන් අතර ප්‍රධානතම තැනක් ගන්නා චිත්‍ර ශිල්පීන් තිදෙනෙකු තමයි නව සම්භාව්‍යය සාම්ප්‍රදායික NEOCLASSICISM, CLASSISM ස්විට්සර්ලන්ත ජාතික හෙන්රි ෆොශේල් HENRY FUSELI ඔස්ට්‍රියන් ජාතික ෆ්‍රාන්ස් වොන් මායෝ FRANZ VON BAYROS සහ අධියතාර්ථවාදී SURREALISM ප්‍රකාශනවාදී EXPRESSIONISM හා පශ්චාත්-උපස්ථිතිවාදී POST-IMPRESSIONISM චිත්‍ර ශිල්පියෙකු හා සංකීර්ණ කලාකරුවෙකු වන සපාඤ්ඤ ජාතික සැල්වදෝර් ඩාලි කියන චිත්‍ර ශිල්පීන් තිදෙනා. සාමාන්‍යයෙන් සාහිත්‍යය, සිනමාව, කවිය හා ගීතය ගැන මනෝවිශ්ලේෂනාත්මකව කියවීමක් කලත්, මනෝවිශ්ලේෂණය පදනම් කරගෙන විචාරයට බඳුන් කළ චිත්‍ර ඉතාමත් අඩුයි වගේම ලංකාව තුල නම් එහෙම විවරණයක් කරන්න තරම් සංකීර්ණ චිත්‍ර කලාවක් නැති තරම් කිව්වොත් ඔබ මා සමග උරණ නොවනු ඇතැයි සිතමි. මෙතනදී මට නලින් සම්පත් ගේ චිත්‍ර කලාව සුවිශේෂී වන හේතු කාරණා බොහොමයක් බලපානවා. එයින් ප්‍රධානතම කාරණාව වන්නේ මිනිස් මනෝභාවයන් වල ඇති අවිඥානික ස්වභාවයන් සොබාදහමේ හැඩතල හරහා ඉතාමත් තීව්‍රතාවයකින් කැන්වසයක් මත සිත්තම් කිරීමයි. එය හරියට මාත්‍රා BEATS රැසක් රිද්මයානුකුලාව RHYTHMICALLY සැකසීමෙන් සංගීතමය තාලයක් නිපදවනවා වැනි ඉතාමත් සංවේදී ක්‍රියාවකි.

ඔහුගේ මේ “ප්‍රේමය සහ ස්වයංමානය” කියන රේඛාමය චිත්‍රයද ප්‍රේමය සහ එහි ඇති ශෘංගාර රසයත්, ස්ත්‍රීයක් තුල ඇති ප්‍රේමණීය මනෝභාවයන් ඉතාමත් සෞන්දර්යාත්මක මානයකින් නිර්මාණය කරන ලද්දකි. නලින් ගේ චිත්‍රයක් රසවිඳිනවා කියන්නේ එක්තරා ආකාරයකින් භාවනා අභ්‍යාසයක නියලී ඉන්නවා හා සමානය. භාවනා අභ්‍යාසයක නියලී සිටිනවා කියන්නේ යම් අධ්‍යාත්මික බලාපොරොත්තුවක් සපල කරගැනීමේ අරමුණික් වෙනුවෙන් නොසැලෙන මානසික ඒකාග්‍රතාවයකින් සිටීමයි. ඒ අනුව ඔහුගේ චිත්‍ර කලාව අපට අලුත් භාවනා අභ්‍යාසයක් පුහුණු කරන මනෝසායනික වැඩබිමකි. ඉතිං‍ අපි ඒ භාවනාව අභ්‍යාස කරමු …………..
-සාලිය ඉඳුරුවිතාන

Nalin Sampath Karunasena

Leave A Reply

Your email address will not be published.

1 × five =