පහළොස් වසරක් ‘ඡන්දයේ බලය’ වැඩ කරපු හැටි

මැතිවරණ කාලයේදී කවුරුන් කුමන පක්ෂයක් උත්කර්ෂයට නැඟුවද ඒ කාගේත් කෙරුවාවන් දැක ගත හැකි වන්නේ ආණ්ඩු කරන්නට පටන් ගත් විටය. පසුගිය වසර පහළොව තුළ ආණ්ඩු කළ අයගේ පැටිකිරිය ගැන සොයා බැලූ විට මෙය තේරුම් ගැනීමට අපහසු නැත. 2005දී බලයට පත් වූ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව 2015 වන තුරුත් එතැන සිට බලයේ සිටි ‘යහපාලන ආණ්ඩුවත්’ ඡන්දය  ඉල්ලන විට කළ කී දෑත් ඡන්දයෙන් පසුව හැසිරීමත් එකකට එකක් නොදෙවැනි බව එවිට පෙනී යනු ඇත. එපමණක් නොව මේ සියලු වැරැදි නිවැරැදි කරමින්, රට සුද්ද කරමින්, රට ජාතිය බේරා ගන්නවා යැයි කියමින් අභිනවයෙන් බලයට පත් ගෝඨාභය රාජපක්ෂ පෙරමුණ ද දැන් ඊට වඩා කිසිදු වෙනසක් නැතැයි පියවරෙන් පියවර ඔප්පු කරමින් සිටින්නේ මේ සියල්ලන්ම එක වල්ලේ පොල් බව තව දුරටත් පසක් කරමිනි.

ප්‍රචණ්ඩත්වය

පසුගිය දශක දෙකක කාලය තුළ වැඩි වශයෙන්ම ප්‍රචණ්ඩත්වය සමාජගත වූ පාලන සමයක් වන්නේ 2005 වසරේ සිට 2015 දක්වා වූ වසර දහයක පාලන සමයයි. එම කාල පරාසය තුළ ‘සුදු වෑන් සංස්කෘතිය’ නමින් නවතම භීෂණ ආකෘතියක් පවා සමාජය තුළ ස්ථාපිත විය. දිවයින පුරා විවිධ ප්‍රදේශවල පුද්ගලයන් අංක තහඩු රහිත සුදු වෑන් වලින් පැහැරගෙන යාම් වාර්තා විය. ඒ අතර මාධ්‍යවේදීන් දඩයම් කිරීම ද ප්‍රමුඛ සිදුවීමක් බවට පත් වූයේ අධි ආරක්ෂිත කලාපයක් තුළම මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමත්, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීමත් මූලික කරගෙනය. ඊට අමතරව තවත් මාධ්‍යවේදීන් රැසකට නිල නොවන මැර කණ්ඩායම්වල ප්‍රහාරයන්ට මුහුණ දීමට සිදු වූ අතර ඇතැම් මාධ්‍යවේදීන්ට රට අතහැර යාමට පවා සිදු වූයේ මේ භීරණයට මුහුණ දී ගත නොහැකිවය. උතුරේදී නිමලරාජන් ඇතුළු මාධ්‍යවේදීන් තිස් හතර දෙනෙකු ඝාතනය වූයේ ද මේ භීෂණයේම ප්‍රතිඵලයක් වශයෙනි.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය, ටී. මහේෂ්වරන්, ජනක, සිසිත, ලලිත්, කුගන් ඇතුළු සමාජ සහ දේශපාලන ක්‍රියාකාරිකයන් ඝාතනය කිරීම ද එම යුගය තුළ සමාජය භීතියෙන් ඇලලීමට හේතු වූ සිදුවීම්ය.

රාජ්‍ය ත්‍රස්තවාදය සහ මර්දනය

රාජ්‍ය ප්‍රතිපත්තීන්ට විරුද්ධවීම ඝාතනය වීමට හේතුවක් බවට පසුගිය දශක දෙක තුළ නැවත සිහිපත් කරන සිදුවීම්ද රාජපක්ෂ පාලන සමයේදී දකින්නට ලැබිණි. බීමට ජලය ඉල්ලා රතුපස්වලදී සිදු කළ ජනතා උද්ඝෝෂණයට පහර දී පුද්ගලයන් තිදෙනකු ඝාතනය කිරීම, සේවක අර්ථසාධක අරමුදල කප්පාදුවට එරෙහිව කළ උද්ඝෝෂණයට වෙඩි තබා රොෂේන් චානක ඝාතනය කිරීම, ධීවර උද්ඝෝෂණයකට වෙඩි තබා ඇන්තනී නම් ධීවරයකු මරා දැමීම ඒ අතුරින් කිහිපයකි.

වසීම් තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් අනුර සේනානායක වැනි ප්‍රමුඛ පොලිස් නිලධාරීන්ට චෝදනා එල්ල වූ අතර වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙක්ම සිවිල් පුද්ගලයන් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක් වූහ.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට එකාධිපතීත්වය

එතෙක් මෙතෙක් ලංකාවේ ජනතා පරමාධිපත්‍යයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ මරු පහරක් ලෙස 18 වන ව්‍යවස්ථා සංශෝධනය හැඳින්විය හැකිය. 17 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් යම් තාක් දුරකට හෝ තහවුරු කර තිබූ ප්‍රජාතන්ත්‍රීය අයීතීන් ද නැවත වරක් අහෝසි කරමින්, එතෙක් යම් කෙනකුට රටේ ජනාධිපති ධුරය දැරීමට හැකි කාලසීමාව සම්බන්ධයෙන් තිබූ සීමාවන් ද අවලංගු කරමින් 2014 වසරේ 18 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ලබන්නේ එවකට පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසිනි. ව්‍යවස්ථාවද උලලංඝනය කරමින් සිදු කරනු ලැබූ තවත් එවැනිම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් ඊනියා යහපාලන ආණ්ඩු සමයේ ද සිදු වූ අතර, පාර්ලිමේන්තුවට පිටින් අගමැතිවරයකු පත් කිරීම සහ පාර්ලිමේන්තුව කල් තැබීම එහිදී සිදු විය. එය සිදුකරනු ලැබූයේ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය බලය අත්තනෝමතික ලෙස භාවිත කරමිනි.

පසුගිය වසර පහළොව තුළ ආණ්ඩු කරනු ලැබූ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත් ඉන් පසු බලයට පැමිණි රනිල්-මෛත්‍රී ආණ්ඩුවත් එකකට එකක් නොදෙවැනි ලෙස වංචා සහ දූෂණ සම්බන්ධයෙන් චෝදනාවන්ට ලක් විය.

වංචා සහ දූෂණ

පසුගිය වසර පහළොව තුළ ආණ්ඩු කරනු ලැබූ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත් ඉන් පසු බලයට පැමිණි රනිල්-මෛත්‍රී ආණ්ඩුවත් එකකට එකක් නොදෙවැනි ලෙස වංචා සහ දූෂණ සම්බන්ධයෙන් චෝදනාවන්ට ලක් විය. පහත දැක්වෙන්නේ එවැනි දූෂණ චෝදනාවන්ගෙනි කිහිපයකි.

රාජපක්ෂ පාලනය
  1. වර්ෂ 2009 සිට වර්ෂ 2014 දෙසැම්බර් දක්වා රාජ්‍ය නායකයා වශයෙන් සිය ගුවන් ගමන් සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් වෙන් කරගෙන ගිය ගුවන් යානා වෙනුවෙන් රුපියල් මිලියන 122.3 ක් නොගෙවා පාඩු සිදු කිරීම

– මහින්ද රාජපක්ෂ

  1. ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ‘සිරිලිය සවිය’ නමින් කොළඹ 10 සුදුවැල්ල මහජන බැංකුවේ 143-1-001-6235069 දරන බැංකු ගිණුමක් පවත්වාගෙන යමින් එම ගිණුම හරහා දුෂිත ගනුදෙනු සිදු කිරීම.

– ශිරන්ති රාජපක්ෂ

  1. 2015 වසරේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා, දිවි නැගුම අරමුදලට අයත් රුපියල් මිලියන 36කට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම

– බැසිල් රාජපක්ෂ

  1. මුදල් විශුද්ධිකරණ පනත උල්ලංඝනය කරමින් සී.එස්.එන්. නාළිකාව හරහා රුපියල් මිලියන 234ක ප්‍රාග්ධනයක් උපයා ගැනීම

– යෝෂිත රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙක්

  1. 2012 වසරේ සිට 2014 දක්වා කාලයේදී ඩුබායි හි සිටින අලෙවි සහකාර නිලධාරිනියක ලෙස කටයුතු කළ ෂෙහානි රොද්‍රිගෝ නැමැත්තියට මහල් නිවසක් ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලන්කන් එයාර්ලයින් සමාගමේ මුදලින් රුපියල් මිලියන 2.4ක් වෙන් කර දීම

– නිශාන්ත වික්‍රමසිංහ

  1. 2010 වසරේ ජනවාරි මස 01 වන දා සිට 2014 වසරේ දෙසැම්බර් මස 31 වන දා දක්වා කාලසීමාව තුළ සිය නීත්‍යනුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගැනීම

– විමල් වීරවංශ

  1. 2015 ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා සිල් රෙදි බෙදාහැරීම හරහා රජයට අයත් රුපියල් මිලියන 625ක මුදල් අවභාවිත කිරීම හා පාඩුවක් සිදු කිරීම

– හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට

  1. අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිය නීත්‍යනුකූල ආදායමින් උපයාගත නොහැකි රුපියල් ලක්ෂ 413කට ආසන්න අයථා වත්කම් ඉපයීම

– රෝහිත අබේගුණවර්ධන

  1. ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් සකස් කර ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 20ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම

– උදය ගම්මන්පිල

  1. 2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ කැරම් බෝඞ් සහ දාම් ලෑලි තොගයක් ආනයනය කර දේශපාලන ක්‍රියාකාරකම් සඳහා ක්‍රීඩා සංගම් අතර බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදු කිරීම

– මහින්දානන්ද අලුත්ගමගේ

  1. විනිමය හා සුරැකුම්පත් කොමිසමට අයත් රුපියල් ලක්ෂ 50ක මුදලක් ‘තාරුණ්‍යට හෙටක්’ සංවිධානයේ කටයුතු සඳහා ලබා දීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම

– ආචාර්ය නාලක ගොඩහේවා

  1. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ජ්‍යොතිෂ්‍ය උපදේශකයා වූ සුමනදාස අබේගුණවර්ධනට මෝටර් රථයක් ලබාදීම වෙනුවෙන් මිහින් ලංකා ආයතනයට අයත් මහජන මුදල් රුපියල් මිලියන 8.2ක් අවභාවිත කිරීම
  2. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැලිගත්ත ප්‍රදේශයේ විශ්වවිද්‍යාලයකට අයත් කිසිදු පීඨයක් නොමැති තත්ත්වයක් තුළ කොළඹ විශ්ව විද්‍යාලයට අයත් කාමර 100ක නේවාසිකාගාරයක් ඉදි කිරීම

– එවකට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනි ක්ෂණිකා හිරිඹුරේගම

  1. 2014 වර්ෂයේ දෙසැම්බර් මාසයේ ගිරිඋල්ල හා පන්නල යන ප්‍රදේශවල කිසිදු ආපදා තත්ත්වයක් නොමැති අවස්ථාවක ගංවතුරෙන් අවතැන් වූ පවුල් 2,500කට වියළි ආහාර බෙදා දීමට යැයි සඳහන් කරමින් ඛනිජ තෙල් සංස්ථාවට අයත් මුදලින් පන්නල සතොස ශාඛාවෙන් රුපියල් 61,46,110.00ක් වටිනා භාණ්ඩ තොගයක් සිය නිවසට ගෙන්වා ගැනීම

– අනුර ප්‍රියර්ශන යාපා

  1. 2015 ජනාධිපතිවරණ සමයේ ලොතරැයි අලෙවි ප්‍රවර්ධනයට මුවා වෙමින් මහින්ද රාජපක්ෂගේ ප්‍රතිරූපය නැංවීම සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි රු. 5,73,50,000ක මුදලක් වැය කර විශාල ප්‍රමාණයේ ප්‍රචාරක පුවරු 150ක් සවි කිරීම

– ජාතික ලොතරැයි මණ්ඩලය

මීට අමතරව ඇවන්ගාඞ් පාවෙන අවි ගබඩාව, සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදි කිරීම, හම්බන්තොට වරාය, නෙළුම් කුලුන ඉදි කිරීම ඇතුළු තවත් දූෂිත ගනුදෙනු ගණනාවක් සම්බන්ධයෙන්ම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට චෝදනා එල්ල විය.

රනිල් – මෛත්‍රී පාලනය
  1. මහ බැංකු බැඳුම්කර වංචාව හරහා රුපියල් කෝටි 1,200ක පාඩුවක් සිදු කිරීම

– රවී කරුණානායක, අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 11 දෙනෙක්.

  1. සුඛෝපභෝගී මර්සිඩීස් බෙන්ස් රථ 1,675ක් ආනයනය කිරීමේදී රුපියල් කෝටි 1,700ක තීරුබදු වංචාව

– (චූදිතයන් තවමත් අනාවරණය වී නොමැත)

  1. මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් කෝටි 1,105ක් අවභාවිතා කිරීම

– සජිත් ප්‍රේමදාස

  1. ප්‍රමිති සහතික ඇති ගුණාත්මක ඖෂධ වර්ගයක් රුපියල් තිස්තුනට පවතින විට රුපියල් හැටනමයකටත් වැඩි මුදලකට ඖෂධ ටෙන්ඩරයක් ලබා දීම හරහා රජයට රුපියල් ලක්ෂ පනහකට වැඩි පාඩුවක් සිදු කිරීම

– රාජිත සේනාරත්න

  1. රජයේ අණපනත් උල්ලංඝනය කරමින් තම බිරිඳට, දියණියට හා ඥාතීන්ට ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් හන්තාන ප්‍රදේශයෙන් අක්කර 50, 20 හා 10 බැගින් වූ බිම් කොටස් ලබා දීම, දක්ෂිණ අධිවේගී මාර්ගයේ උපදේශන ටෙන්ඩරය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදි කිරීම්වලින් වංචා සිදු කිරීම

– ලක්ෂ්මන් කිරිඇල්ල

  1. කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදු කළ අයථා ක්‍රියා මගින් රුපියල් කෝටි 103ක පාඩුවක් සිදු කිරීම

 – පී. හැරිසන්

රනිල් මෛත්‍රී ආණ්ඩුව විසින් සිදු කරනු ලැබූ වංචා සම්බන්ධයෙන් මේ වන තෙක් විධිමත්ම කරුණු අනාවරණය වී ඇත්තේ සිදුවීම් කිහිපයක පමණි.

එසේ නොමැතිව ගෙවී ගිය යහපාලන ආණ්ඩු සමයේ මීට අමතරව වංචා සිදු නොවූයේ යැයි මෙයින් කිව නොහැකිය.

එසේම පැවැති ආණ්ඩු දෙකටම මහජන ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි වීම, ජාතික සම්පත් විකුණා දැමීම, රටට දැරිය නොහැකි ලෙස ණය ලබාගැනීම, සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබේ. දැන් බලයේ සිටින ගෝඨාභය රාජපක්ෂ කඳවුර නියෝජනය කරන්නේ ද පසුගිය වසර පහළොව තුළ ඉහත කී අයුරින් ආණ්ඩු කළ බහුතර පිරිසකි. දැන් නැවතත් මැතිවරණයට ඉදිරිපත් වී බලය ඉල්ලන්නේ ද ඔවුන්මය.

එහෙත් තීරණය ඇත්තේ ජනතාව අතේය. රට ජාතිය බේරා ගැනීමට යැයි ජනතාවගේ ඇස් නිලංකාර කරන මිථ්‍යා සටන් පාඨ මෙන්ම ආර්ථිකය ගොඩනඟන ගමන් ජනතාවට සහන ලබා දීමට දිවි හිමියෙන් කැප වන්නේ යැයි දේශපාලන වේදිකා මත දිවා රෑ බෙරිහන් දෙන්නේත් මේ අයමය. ඒ වෙනුවට ආර්ථික, සමාජීය සහ දේශපාලන බිමේ ප්‍රතිපත්තිමය විභවයක් සහිත දේශපාලන ව්‍යාපාරයක් වෙත අවම වශයෙන් පාර්ලිමේන්තු බලය හෝ ලබා දීම මේ මැතිවරණයේදී ඡන්දදායකයන්ගේ වගකීමකි.

චතුර දිසානායක

Leave A Reply

Your email address will not be published.

two × two =