ලාංකික ඡන්දායකයන් වෙතටයි,

මනුස්ස ප්‍රාණින් දිහා බැලුම් හෙළාගෙන ඉන්නවය කියන තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගෙන් වැඩි හරියක් මේ දවස්වල සිරි ලංකාදීපයට ගොඩ බැහැලා තමුන්නැහැලාගේ පුරස්න විසඳන්න මාර ගේමක් දෙන බව පේනවා. උන්දැලාගෙ තරග බයිලා සංදර්සන දිහා බලපුවහම නං ඔහෙලට හිතෙනව ඇත්තෙ ඒ ඇත්තො තරං අපේ අග හිඟකං – නැති බැරිකං තේරුන් ගත්තු උත්තමයො ටිකක් මේ තුන් ලෝකෙම නැතුව ඇති කියලයි.

හැබැයි ආයිබොවන්ඩ සිරි ලංකාවෙ දේසපාලුවො මෙපමණ කාලෙකට දීල තියෙන ඡන්ද පොරොන්දු ගැන ඩිංගිත්තක් විපරං කොරල බලන්ඩය කියල මෙදා පාර කතිරෙ ගහන්ඩ කලින් තමුන්නැහැලගෙන් විශ්වමිත්‍ර බොහොම හිතේසිවන්තව ඉල්ලා හිටිනවා. හඳෙන් හාල්, ඇට අටේ පෝසන මලු දීපු, පේසාලෙන් තෙල් හාරපු පරණ පොරෝඩාකාරයන්ගේ හිටන් ගොයි මහත්තුරුන්ට ඩෙනිං අන්දන්ඩ වගේම රට, ජාතිය, ආගම බේරගන්ඩ ආපු අලුත් ප්‍රෝඩාකාරයන් දක්වා සියලුම දේසපාලන කොම්පැනිකාරයො අවුරුදු හැත්තෑවකටත් වැඩි කාලයක් තිස්සෙ කොරල තියෙන්නෙ මාරුවෙන් මාරුවට රජ පුටුවෙ විරාජමාන වෙවී රටයි, ජනතාවයි විකුණං කාපු එක විතරයි.

සංක්‍රමණික කුරුල්ලො වගෙ ඡන්දෙ කාලෙ අල්ලලා අපේ ගම්බිම්වලට එන ඔය හොර නඬේ  අසරණයන්ගෙ මනාප ටික ඩැහැගෙන ආපහු උන්ගෙ රජ මැඳුරු කරා පියාඹන්නෙ දැන් ඉතිං උඔල ඕන කුදයක් ගහගනිල්ලා කියලයි. ඕක තමා මිත්‍රවරුනි නිදහසෙන් පස්සෙ උදා වුණ හැම ඡන්දෙකදිම අපි ඔහෙලට අත් වෙච්ච කනගාටුදායක ඉරණම. අපේ අත්ත-මුත්තලා හා අම්ම-අප්පලා උන්ට රැවටුණේ කරුණු-කාරණා ගැන ඒ හැටි දැනුමක්-තේරුමක් උන්දැලාට නොතිබුණු හන්දයි. ඒක නිසා දැන් ඒ ඇත්තන්ට දෙස්-දෙවොල් දීමෙන් පලක් නැහැ. එහෙම වුණත්, අපේ අනාගත පරම්පරාව නං එහෙම හිතාවි කියල හිතන්ඩ අමාරුයි.

මේ වෙනකොට රටේ මතු ඉපදෙන්න ඉන්න දරු සිඟිත්තෙක් පවා ලෝකෙට ණය වෙලා හමාරයි. මතු දවසක තමන් නොකරපු වරදකට වන්දි ගෙවන්න වෙනකොට ඒ දරු පැටවුන්ගෙ සාපය රට කාබාසිනියා කොරපු දේශපාලුවන්ට විතරක් නෙවේ, උන්ට එහෙම කෙළියක් කොරන්ඩ ඉඩ දීල අහක බලාගෙන උන්නු වැඩිහිටි පරම්පරාවටත් එල්ල වෙන එක සහතිකයි. ඒ විතරක් නෙමේ හිතවතුනි, රටේ ගස් කොළන්, වැලි-පස් ටික හූරගෙන කාලා එතනෝල්, මත්කුඩු බිස්නස් කොරල හම්බ කොරපු සල්ලිවල පිහිටෙන් තමයි, ඔය රාජ සබා මන්දිරේ ගුස්ති අල්ලන හුඟ දෙනෙක් ඕකට රිංගගෙන තියෙන්නෙ. මිරිස් කුඩුවලින් බැරි නං බයිබලෙන් දමල ගහල හරි ප්‍රොජාතන්තරේ රකිනවා ය කියන්නෙත් අන්න එහෙම දියවන්නාවෙන් එගොඩට පැනගත්තු පෝරිසාදයො තමා.

තමුන්නැහැල – අපි අගෝස්තු 05 වෙනිදට කතිරයක් ගහන්ඩ යන්නෙ හිරේ විලංගුවෙ ඉන්ඩ ඕනා එවුන් රාජ සබාවේ වරප්‍රසාදවලට මුවාවෙලා අපි හැමෝටම කෝචොක් කරමින් ඉන්න කාලෙක බව අමතක කොරන්න එපා. මේ දවස්වල සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ තුනට හතරට නැමීගෙන අපේ කකුල් දෙක ළඟට එන ඔය තක්කඩියො අගෝස්තු 05ට පස්සෙ මාදැල් දාලවත් අල්ල ගන්ඩ

හම්බවෙන්නෙ නැහැ. ඒක හන්දා මේ වතාවෙත් අපි උන්ගෙ චාටු බහට රැවටෙන්නෙ නැතුව රටටයි, අපටයි අවංකවම ආදරය කරන රටේ දේපොළ විකුණගෙන කන්නෙ නැති හරි මිනිස්සු ටිකක් අපේ නියෝජිතයො හැටියට සබා ගැබේට යවමු. එහෙම නොකොළොත් ඉතිං මෙච්චර කල් මහ බැංකු, හාබර්, එයාපෝට් ගිලපු එකාලටම රටේ ඉතුරු ඩිංගිත්තත් ඉවරයක් කොරල දාන්ඩ බාර දෙමු.

විශ්වමිත්‍ර

Leave A Reply

Your email address will not be published.

19 + ten =