දිය ඇල්ල මුදුනට අරක්ගත් ආත්මයකි

ලොව උසම දිය ඇල්ල වන ඒන්ජල් දියඇල්ල 1935 දී ගුවන් නියමුවෙකු වූ “ජිමී ඒන්ජල්” විසින් සොයාගෙන ඇත. දිය ඇල්ල මුදුනට අරක්ගත් ආත්මයකි.|
——–
අහස් යාත්රාවකට නැග
ඒන්ජල් එන්නට කලින්…
කවදා කවුරුද මැව්වේ
කිසිවකුත් නැහැ දන්නේ..
මහා දිය කඳ වැටුණ පසුවයි
ඉර හඳත් ලොව දැක්කේ…
වැටුණ කොළයක් පසට හරවන
සියුම් අවිහිංසක, අපා
දෙපා, සිව්පා, සර්ප,සමනල…
තේජ බල ඇති මහා රදනක
රුදුරුවන්ගේ පැරණි පරපුර
පව්ව තරමට වයසයි..
මේ වනාන්තරෙ හෑම ගහකම
කතාවල් මට කියලා තියනවා..
නටුවකුත් බිම වැටුණ මොහොතක
උන් බදාගෙන අඬලා තියනවා..
පහළ ගම් වල එවුන් ආවම
හොයාගෙන පොතු කොළ මුදුන් මුල්…
කඩාගන්නට කියලා ඉවසන්
බලා ඉන්නවා ළපටි පඳුරුත්..
බඩේ සායට සතෙක් මැරුවට
හී වැදුන්නැහැ අම්මා කෙනෙකුට…
අඟුරු කැටයත් නිවා දාලයි
කා, ගියේ ගම්මානෙ පැත්තට…
අහස් යාත්රාවකට නැගලා
ඒන්ජල් එන්නට කලින්..
හෙලි අමෝරා ආව උන්ගෙන්
සැඟවගන්නට මුදුනටම නැග
දෑත් පටලන් දියට දිවි දුන්
පෙම්වතුන් ගැන තාම මතකයි..
මිනිස් පා වල නොගෑවුන තැන
ඇල්ල පැත්තේ පවුර පමණයි…
රැක්කා කියලා කැලේ ආවම
කොටහා දීලා මටත් වැන්දට
දෙවියෙක් නොවුණාට මම
උන්ට පිහිටක් වෙන්නට
කිසිදාක තිබුණෙ නෑ
අහිතක් මගේ හිත් කොණක…
ඇල්ල වැටුණේ දිව්යලෝකෙන්
උන් හිතුවේ පෙර එහෙම…
ඒන්ජල් සුරදූතයෙක්
නමේ තේරුම ඒක..
අහස් යාත්රාවකට නැගලා
ඒන්ජල් ආවට එහෙන්..
ඊට ටික දවසකට පස්සේ
තාම කවුරුත් නෑ ගමෙන්..!
මුර්ගයෙක් ගොරවනු ඇහෙන්නේ
ඉඳහිටක ඒකත් බයෙන්..
ගස් උනත් හුස්ම ගන්නේ
නෑහෙන්න කාටත් හොරෙන්..
අහස් යාත්රාවකට නැග
ඒන්ජල් එන්නට කලින්….
උන් හිතාගෙන හිටියේ ඇල්ලම
දෙයියො උන්ටම මැව්වා කියලයි..
– චමල් අකලංක පොල්වත්තගේ

 

Leave A Reply

Your email address will not be published.

one × 2 =