ප්‍රේමලාල් හෙවත් ‘චොකා මල්ලි’ට මරණ දඬුවම

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි’ ඇතුළු දේශපාලනඥයින් තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබීය.

2015 ජනාධිපතිවරණය අතරතුර අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන ගේ කහවත්ත ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකට හානි කර, පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නඩු පවරා තිබිණි.

එම අධිචෝදනාවලට ඔවුන් තිදෙනා වරදකරුවන් බව අධිකරණය අද (31) තීන්දු කළේය.

‘චොකා මල්ලි’ ට අමතරව කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන සිල්වා සහ සබරගමු පළාත් සභා හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි මරණ දඬුවම නියම වූ අනෙක් දෙදෙනාය.

2015 ජනවාරි 05 වෙනි දින අදහස් දැක්වූ, එවක රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල, ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටි තම ආධාරකරුවන්ට ප්‍රේමලාල් ජයසේකර නියෝජ්‍ය ඇමතිවරයා ඇතුළු පිරිසක් පැමිණ වෙඩි තැබූ බව පවසා සිටියේය.

එම චෝදනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ එවක විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර කියා සිටියේ කහවත්තේ පිහිටි තම පක්ෂයේ කාර්යාලයක් කඩා දමා තිබූ බවය.

Leave A Reply

Your email address will not be published.

4 × four =