උතුරටම ගලාපන් කනගරායන් ආරු…!

ලංකාවේ උතුරු දෙසට ගලන ගංගා ඇත්තේ එකක් පමණි. – (පොතකින්)
නදියක් දුටු තැන නවතා
චාටු කතාවෙන් අමතා
දකුණට හරවන්න හදන
රජුන්, ඇමතියන් නොතකා
උතුරටම ගලා යයි
කනගරායන් ආරු
මහවැලි කැලණි වලවේ කළු යන ගංගා
මිණි කැට තියන් සිටියදි දිය යට හංගා
තියෙන දෙයක් දෙන්නට උතුරට රිංගා
ආරු කනගරායන් පාරට බැස්සා
රතු ළුුණු මල් පිපෙන ලා දුඹුරු බිම් තීරු
නිල් පාට සායමෙන් කරවමින් පින්තාරු
රැළි අතර හොවාගෙන වන්නියෙන් එන සේරු
උතුරටම ගලා යයි කනගරායන් ආරු …
– රුවන් බන්දුජීව
මෑතදී කියවන්න ලැබුණු සුන්දර කවියක්. කවිය ලියා ඇත්තේ රුවන් බන්දුජීව කවියා. මේ කවිය ඇතුලත් කවි පොත ‘මීළඟ මීවිත’. මහවැලි කැළණි කළු වලවේ යන ගංගා මිණි කැට දිය යට හංගා ගෙන ඉද්දි උතුරු පැත්තට යන එකම එක අතු ගංගාවක් මුතු මැණික් නැතුව උනත් බොර වතුර ටිකක් හරි ඒ මිනිසුන්ට දෙනු පිණිස ‘පාරට බැසීමේ’ කාව්‍ය රූපකය නැවුම් බවක් අරන් එනවා. අළුත් අත්දැකීමක්. භාව ප්‍රකෝප කරන දේශපාලන ආවේගයක් කවිය තුලට කවියා ගෙන එන්නේ නැති නමුත් ඉතාම ගැඹුරින් සම්පත් බෙදී යාමේ ස්වභාවධර්මයේ අසමතුලිතය කවියා ස්වභාව ධර්මය තුලින්ම විනිවිද දැකීම අගය කරන්න ඕනි. අන්තිම විග්‍රහයේදී ස්වභාව ධර්මයත් පක්ෂපාතයි.
බලය ධනය භාෂාව යන සියල්ල සහිත චපල රජුන්, ඇමතියන් කුමක් කීවත් ඒ චාටු කතා වලට රැවටෙන්නේ නැතුව උතුරටම හුදකලාව ගලායන කනගරායන් නෙතට කඳුලක් ගෙන එනවා. කුඩා දියරැළි තරංගා අතරින් මුමුණන ඒ කාටත් නෑසෙන හුදකලාව අපේ මනසේ ක්‍ෂිතිමය දෝංකාර නංවනවා. ‘පොත් පත් කියෙව්වට ඒවායේ ලොකුවට මම ගැන ලියල නැති නිසා ඔයාල මම ගැන දන්නේ නැති උනත් මම දන්නා කාලේ ඉඳන් උතුරටම ගලනවා. මගේ ළඟ මිණි මුතු නැති උනත් මම දරාගෙන යන මේ බොර දිය ටික හරි මම එයාලට ආදරෙන් දෙනවා’.
කවිය සනිටුහන් කරන්නේ හුදකලා වීරත්වයක්. හැමෝම එක දිශාවකට ගලනකොට උඩුගං බලා පිහිනීමක්. ඒ අදහස නීට්ෂ ගේ. කවියේ ලස්සනත් ඒ හුදකලා සුවිශේෂී බව.
ඒ වගේම සෞන්දර්යය පැත්තෙන් ගත්තම කනගරායන් ලස්සන නදියක් කියන්නත් කවියා අමතක කරන්නේ නැහැ. උතුරු පළාතේ ලා දුඹුරු බිම් තීරූ නිල් පාටින් සිත්තම් කරන්න තරම් එයා සුන්දරයි. සුන්දරත්වයෙන් පොහොසත්. වන්නියෙන් එන සේරු පංති නදිය පුරා විසුරුනාම අනික් සියළු ගංගා තරම්ම එයත් ලස්සනයි.
සුන්දර බව තිබිල මදි. අනුන්ට ඒ ලස්සන ප්‍රධානය කරන්න තරම් ලොකු පරාර්ථකාමී බවක් තියෙන්නත් ඕනි. ඉතිං කනගරායන්ට ඒ දෙකම තියනවා. එයා පොහොසත්. බාහිර ලස්සනෙන් වගේම තියන දෙයක් දීලා දාන්න තරම් ලොකු හදවතකිනුත් එයා පොහොසත්. කාටවත් රවටන්නත් බැරි නිසා එයා අධ්‍යාත්මයෙනුත් පොහොසත්. ඉතින් එයා ඇත්ත ගඟක්.
තවත් නිල් දියවර අරගෙන ඔයා උතුරටම ගලන්න…එයාල බලාගෙන ඉන්න නිසා කවි අහන්නවත් ඔයා නතර වෙන්න එපා…
-මහේෂ් හපුගොඩ

Leave A Reply

Your email address will not be published.

two × 2 =