යළිත් දැනුණ කළු ජූලියක භීතිය

83 කළු ජූලිය ඇතිවීමට එවකට පැවති එජාප රජය හා එහි ඇතැම් මැති ඇමතිවරු සෘජුවම සම්බන්ධ වූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. එම මැති ඇමතිවරුන්ගේ ගෝලබාලයන් අහිංසක දෙමළ වැසියන්ට  පහර දීම සඳහා සිය දේශපාලන හයිය පාවිච්චි කළ අතර ආරක්ෂක අංශ ඒ  දෙස නිහඬව බලා සිටියහ.
කළු ජූලියට වසර තිස් හයක් පිරීමට මාස කීපයක් තිබියදී යළිත් එවැනි කළු ජූලියක් නිර්මාණය වනු ඇතැයි යන බිය අද ජනතාව තුළ හටගෙන තිබේ. එජාපය ආණ්ඩු කරන යුගයක මෙම චෝදනා එල්ල වීම  දෛවයේ සරදමක් බඳු ය. එදා සතුරා එල්ටීටීඊය හා දෙමළ ජනතාව ය. අද සතුරා ඉස්ලාමීය අන්තවාදය හා මුස්ලිම් ජනතාවය.පසුගියදා ශ්‍රි ලංකාවේ ප්‍රදේශ කිහිපයකට එල්ල වූ ප්‍රහාරය මුළු ලොවම විමතියට හා කම්පනයට පත් කරන්නට විය. අනෙක් පසින්  ලාංකිකයන්ගේ ඉවසීමේ හා මනුෂ්‍යත්වයේ  ප්‍රතිබිම්බයක් පෙන්නුම් කළේය. බහුතරයක් ඉස්ලාමීය අන්තවාදය පරාජය කිරීම අපේක්ෂා කළා මිස ඊට කිසිදු සම්බන්ධතාවක් නොමැති මුස්ලිම් ජනතාවට එරෙහි තැනක නොසිටියහ. එය මනුෂ්‍යත්වය අගයනන් ලැබූ ජයග්‍රහණයකි.
ප්‍රහාරය පිළිබඳව ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ පිරිසක් දැනුවත්ව සිටි බව හෙළිවී තිබේ. එය ජනතාව කම්පනයට පත්කළ අතර ඔවුන් සිය දේශපාලනඥයින් කෙරෙහි එහි අන්තයට ම කලකිරුණහ. ප්‍රහාරයෙන් පසුව දේශපාලනඥයෝ තමන් මේ පිළිබඳව දැන නොසිටි බව කියන්නට වූයේ එකිනෙකාට චෝදනා එල්ල කරමිනි.
මෙම ප්‍රහාරයෙන් පසුව ජන ජීවිතය ඇත්තෙන්ම යථා තත්ත්වයට පත්වූයේ ද? ඒ සඳහා රජය නිසි ක්‍රියාමාර්ග ගනු ලැබුවේද? කඩාවැටුණු ජන ජීවිතය නගාසිටුවීමට ආණ්ඩුව තවමත් අසමත් වී තිබේ. ජනතාව ජීවත්වන්නේ භීතියෙනි. ඔවුන්ට බියෙන් සැකෙන් තොරව රැකී රක්ෂා වලට යාමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. පාසැල් වල දී පවා දරුවන්ට ආරක්ෂාවක් නොමැත. පාසැල් වලට ආරක්ෂාව සැපයීමේ නිසි ක්‍රියාමාර්ගයක් පවා ආණ්ඩුවට නොමැත.  ආර්ථිකය තව තවත් කඩා වැටෙමින් පවතී. දෛනිකව සිය ආදායම උපයා ගත් පිරිස් සිටින්නේ කරකියාගත නොහැකි තත්ත්වයක ය. මේ සියලූ තත්ත්වයන් තුළ පාලකයින් ක්‍රියා කරමින් සිටින්නේ  නිදි වැදුණු ආකාරයටය. රනිල් හා සිරිසේන අතර අභ්‍යන්තර අරගලය තව තවත් දිග් ගැසෙමින් පවතී. විපක්ෂය බොරදියේ මාළු බෑමට සූදානම්ය. ආණ්ඩුවේ මෙම  අකර්මන්‍ය හා අදූරදර්ශී ක්‍රියා පටිපාටිය මෙවැනි ඛේදවාචකයේදී මහත් ඉවසිල්ලක් පෙන්නුම් කළ ජනතාවකට හොඳ ආදර්ශයක් නොවිය. එය එක්තරා ආකාරයකට පාලකයන්ගේ අසමත්කම පෙන්නුම කරන්නකි. ඒ පිළිබඳව ජනතාව සිටින්නේ කලකිරීමෙනි. මෙහි ඇති බරපතල තත්ත්වය වන්නේ මෙම පීඩනය ජනතාව කිසියම් මොහොතක අහිංසක මුස්ලිම් ජනතාව කෙරෙහි මුදාහැරීමට ඇති ඉඩකඩ ඉහළ බැවිනි. ඒ පිළිබද නරක තොරතුරු දැන් දැන්  ඇහෙන් කොනින්  ඇසෙන්නට පටන්ගෙන තිබේ.
තමන්ව පාලනය කරන්නේ මානුෂික නොවන හෘදයංගම නැති බලලෝභී න් පිරිසක් බව වෙන කවරදාකටත් වඩා ජනතාව අවබෝධ කරගෙන සිටිති. ඒ ජනතාව වඩා බුද්ධිමත් වීම නිසාම නොවේ. තමන් ජනතාවාදි නොවන බව පක්ෂ විපක්ෂ බහුතරයක් පසුගිය කාලයේ ඔප්පු කොට තිබීම ඊට හේතුවය. එය එක්තරා ආකාරයකට හොඳ ප්‍රවණතාවයකි. නමුත් එහි ඇති ඛේදවාචකය වන්නේ ජනතාව සිය ඉවසීමේ සීමාව අගට පැමිණ එහි පීඩාව මුස්ලිම් ජනතාව කෙරෙහි මුදාහැරීමට ඇති ඉඩකඩ අධික නිසා ය. එවැනි ඛේදවාචකයක් වලක්වා ගැනීමට සියල්ලන් එක් විය යුත්තේ එබැවිනි. එය දේශපාලන අරගලයකට වඩා මානුෂීය අරගලයක් විය යුතුය.

සුනේත්‍රා ඇතුගල්පුර

Leave A Reply

Your email address will not be published.

5 × five =