අතීතය මොන තරම් දුක හිතෙන කවියක්ද මැක්කා…

 

නිඳන්නට වරම් නැති රාත්‍රිය

තවම මං එක්කා

වෙළුම් පටි වෙළා ගත් සිහිනයක

මං උඹව දැක්කා

තැරි ගහපු කවියකින්

ඉරිතැළුණු

පපුව පිරිමැද්දා

සන්සුන්ම සිංහලෙන්

හොඳම කවි

ගැටගහපු සුද්දා

උඹ අතට දුන් පෑන

ජීවිතේ සේම

මං රැක්කා

අතීතය මොන තරම්

දුක හිතෙන

කවියක්ද මැක්කා

මෙකව මැක්කා ගැන ය. ෂේන් මැකෙල්වි කවියා ගැන ය. ජීවිතේ හැමදාම මා එක්ක ඇවිද යන ඒ ගමන් සගයා ගැන ය. ඔහු ස්වකීය භෞතික ශරීරය හැර ගොස් විසි වසරක් ඉක්ම යන්නට නියමිත අතීතයක එළිපත්තේ සිට මම යළි ඔහු මෙනෙහි කරමි. ඒත් මේ හැම අකුරක්ම වේදනාවෙන් ආතුර ය.

ඒ හරියටම 2000 වසරේ සැප්තැම්බර් 3 වැනිදා ය. මීගමු කලපුවේ ධීවර සටනකට උරදෙනු පිණිස මමත් සමන් සී. ලියනගේ මිත්‍රයාත් මීගමු ගියෙමු. එදවසේම, ‘මේරි නම් වූ මරියා’ තහනම උණුහමේ වූ බැවින් ඒ වෙනුවෙන් ‘ඩාක් රූම්’ පටල හේදිල්ලකට අතීත සගයකු වූ කැළුම් කුමාර පෙරේරා විසින් මා කලපු අහුමුල්ලකට කැඳවිණ. එය රූ ගත කෙරුණේ කෑලි හැලෙන ලෑලි ජැටියක් මත ය. නිමලරාජන්ගේ ඇමතුම ආයේ එවිට ය. “මචං ‘අරියාලෛ’ ඉවරයි, මැකෙල්විත් ඉන්නවද කියන්න තාම දන්නෑ” නිමලා කීවේ ය. මට නොකීවාට සමන්ට ඇත්ත කියන්නට ඇත. අප කොළඹ එන විට මිත්‍ර කඩි ගුල ඇවිස්සී තිබිණ. ආරංචි එන්නේ මූනිස්සම් වෙමිනි. මූනිස්සම් වේගයෙනි. පහුවෙනිදා වන විට කප්පිත්තකු වූ මැක්කාගේ නිසල රුවට මේජරුවකුගේ වෙස් ගන්නා දෑත් පටලා දෙණක පත බාවා තිබිණ. සකල ගෞරව මධ්‍යයේ උසස්වීමක් ලද කවියා නිසලව වැතිර සිටියේ ය. ඒත් මම එකදු මොහොතකවත් ඒ නිසල වුණු කවි සපුව අසලට නොගියෙමි.

මම දැන සිටියෙමි. ඔහු දිවි පැහැර ගැනුණේ සන්නද්ධ කොටි විසින් නොවේ. එකල්හි චන්ද්‍රිකා බෙලහීන වෙමින් සිටියා ය. ඇයට මැතිවරණ තේජස අත්‍යවශ්‍ය සාධයක්ව මතුවී තිබිණ. ඒ බැව් ආණ්ඩු භාවිතය විමසීමෙන් වුව වටහා ගැන්ම අපහසු නොවේ. හමුදාව යනු එසේ බිලි පූජා දිය හැකි තැනක් බව කිසිවෙක් නොකියති. ඒත් මම යළි වරක් එය මෙනෙහි කරමි. මැකෙල්වි කවියා උණ්ඩයට බිලිදෙන ලද්දේ චන්ද්‍රිකානු දේශපාලන අවස්ථාවාදය විසිනි.

මෙකී අරියාලෛ අවසන් ගමනට අණදුන් ගජබා මේජරුවා ජයශාන්ත නම් විය. මැකෙල්වි මළගමදා ඒ අවසාන මොහොතට ඔහු සාක්ෂි වූයේ බොඳවූ දෑසින් බව මතක ය. අරියාලෛ හිස් අවකාශය තරණය කිරීම යනු සියදිවි නසාගැනීමක් බව දැන සිටි මැක්කා ඊට එරෙහිව කළ වාද නිරර්ථක වී තිබිණ. තර්කනය අවශේෂ ය. හමුදාව යනු නියෝග පිළිපැදීමේ අවකාශයක් පමණකි. යුද්ධය නම් මෙය ය. මැකෙල්වි බිම වැද හොත්තේ යුද්ධයට නොව ඡන්දයට ය. එදා සිට අද දක්වාම සාමය ලෙළවන්නේ මෙවන් ව්‍යාජ නායකයන් ය. යුද්ධය ලෙළවූවන් සහ සාමය ලෙළවූවන් අතර කිසිදු වෙනසක් නැත. 2000 ඔක්තෝබර් මැතිවරණය වෙනුවෙන් සැප්තැම්බරයේ නික්ම යන්නට මැකෙල්විට සිදුවූයේ එලෙස ය.

සියලු වේදනාවන් මධ්‍යයේ වුව ඔහු ගැන ලියන්නට බාර වූයේ මට ය. ඔහුගේ නිසල දෙණ කුලී නිවහනේ බාවා තිබියදී මම රාවයට ගොඩ වැදුණෙමි. කවර දුකක් මධ්‍යයේ වුව ලිවීම, ප්‍රගුණ කර තිබුණෙන් යමක් ලියන්නට හැකි යැයි සිතුව ද සිහි ඵළවාගත නොහැකි හදකින් කවරක් ලියන්නද? එකල, රාවයේ ලියන්නන් වූ අපට ලිවීම සඳහාම වෙන්වුණු ගන්ධබ්බ කුටියක් තිබිණ. මම සිගරට් කිහිපයකුත් සාක්කු ගන්වාගෙන මෙකී අන්ධකාර ගුහාවට රිංගා ගතිමි. මගේ වේදනාව දැන හුන් සියල්ලෝ මට අනදර නොකළහ. සිගරට් එකින් එක දැල්වී අළුවී ගිය ද ලියූ ලියවිල්ලක් නම් නැති. බොඳවුණු දෑස් කෙසේ නම් කරදහි සොයා ගන්නද?

එහෙත් අවසන එකී ලියවිල්ල මවිසින් මෙසේ ඇරඹී තිබිණ.

“දෑස බොඳවී ගොසිනි. සුරත සසැලේ. හදවතින් ලේ ගලයි. ආත්මයකින් තොර වෙමි. එහෙත් ලිවිය යුතුව ඇත. ඒ ඔහු ගැනය. ෂේන් මැකෙල්වි කවියා ගැන ය.”

මට මතක නැත. සැහැල්ලු පත්තර කරදහිය මත බෝල් පොයින්ට් තුඩ ඉබාගාතේ දිව යන්නට ඇත. මට මතක නැත. ඉදින් මම විටින් විට එකී ලියවිල්ලේ වන පලින් පළ වන හැඟුම් සිහිපත් කරනෙමි.

”මැකෙල්වි යනු අමුතුම මිනිසෙකි. ඒ අමුතුකම හැඟීම්වලට බෙදා බැලූ කල වැඩිම ප්‍රතිශතය ඇත්තේ ළෙන්ගතුකමට ය. ඔහු සතුව තිබූ බලවත් ම ආයුධය ළෙන්ගතුකම ය. මට ඉන් වෙඩි වැදුණේ පාසලේ පන්ති කාමරය තුළ දී ය. එකල්හි පොදු තරුණ ප්‍රශ්න විවෘතව කතා කරනු වස් සතියකට වතාවක් වෙන් වූ කාලපරිච්ඡේදයක් විය. අනුශාසකයා වූයේ කතෝලික පියතුමෙකි. පළමු සතියේ දී පියතුමා කතන්දරයක් කියා, අවසන ශිෂ්‍යයන්ගේ මතය විමසීය. මා පියතුමාගේ මතය ඛණ්ඩනය කරමින් කතා කළ මුත් සියලු ශිෂ්‍යයෝ පියතුමාගේ ගොඩට වැටෙමින් සිටියහ. ඒත් මා කතා කළ දේට එක් වූ එක් හඬක් පන්තියේ කෙළවරින් මතුව ආයේය. ඒ හඬ මැකෙල්වි ගේ ය. ඔහුගේ හඬ ඉදිරියේ පියතුමා නිරුත්තර විය. ඉදින් අපි සන්ධාන ගත වීමු. මාසයක් ඉක්ම යාමට මත්තෙන් පියතුමා අපේ පන්තියට පැමිණීම අතැර දැමීය. මැකෙල්වි දිගින් දිගටම මට ළෙන්ගතුකමේ ආයුධයෙන් වෙඩි තැබීය. ඔහුගේ දිනපොතේ අමුතු අමුතු වචන පේළි ලියවී තිබිණ. ඔහුගේ භාෂණය ද ඔහුගේ ලේඛනය ද විසින් අවසානයේ මා ලියන්නකු බවට පත් කරවනු ලැබීය. සැබවින්ම ඔහු මගේ පළමු ගුරුවරයා විය. එහෙත් පෑන මා අතට බාර දී ඔහු ගිනි අවිය තෝරා ගත්තේ ය.”

‘නිරුත්තර සමාධිය’ පළ කෙරුණේ 1997දී ය. එක්ව දුර යන්නට සිටි මගේ ගමන් සගයා හා මා එකට පළ කළ එකම කවි පොත එය විය. එකී කෘතියෙන් ඉක්බිති මා මෙතෙක් කවි පොත් 7ක් පළ කර ඇත. ඒ සියල්ලම මැකෙල්වි කවියාගේ නම ඉදිරියේ ‘පිදුම්’ තබා ඇත. මේ ලිපිය සඳහා පාදක කර ගත් කව මැකෙල්වි වෙනුවෙන් ලියැවුණකි. ඉදින් මම එය ‘නිඳි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක’ පිදුමෙහි තැබුවෙමි. දැන් ඉතින් ඔබට එය කියවා තේරුම් ගැනීම අපහසු නැත. ඔහු හා මා අතර වූ මිත්‍රත්වය කවකට හෝ මෙවන් කෙටි සටහනකට හකුළා තබන්නට බැරි ය. ඇතැම් විට නුදුරේ එය ‘මෙමුවා’වක් වන්නට ඉඩ ඇතැයි මම ඔබට පවසමි.

එදා මා රාවයට ලියූ ඒ ලිපිය අවසන් කළේ කෙසේදැයි මට මතක නැත. නමුත් අවසානයේ මවිසින් මෙසේ ලියවී තිබිණ. ඔහු භෞතික ශරීරය හැරගොස් විසි වසරකි. මේ නිශ්චිත නිමේෂයේ දී යළිත් මම එයම සටහන් කර තබනෙමි. ඔව්, ඔහු මුණගැසෙන අපේක්ෂාව තවමත් නොනැසී මා තුළ පවතිනා බැවිනි.

“මැකෙල්වි යනු අහස සේ අසීමිත මිනිසෙකි. ඔහුගේ ප්‍රේමය සයුර සේ ගැඹුරු ය. මැකෙල්වි යනු මිනිසුන් දන්නා හඳුනන කෙනෙකු පමණක් නොවේ. මිනිසුන් ආදරය කළ හදවතකි. බොහෝ ජීවිත ඔහු අලුතින් උපද්දා ඇත. මා ලියන්නේ ද ඔහු නිසාවෙනි. මා ලියන සෑම අකුරක ම සැබෑ හිමිකරුවා වන්නේ ෂේන් මැකෙල්වි කවියා ය.

දෑසේ උපන් කඳුළ කිසිදාක වියැළෙන්නේ නැත. දෑතේ වෙව්ලීම කිසි විටක නතර වන්නේ නැත. මියයන තෙක් ම මහදවතින් ලේ ගලනු ඇත. මගේ ආත්මය මට යළි කිසිදාක මුණ නො ගැසේ.

මැකෙල්විගේ මියයාම ස්වප්නයක්සේ මම හඟිමි. ඔහුගේ නිසල දේහය දෙස මා නො බැලුවේ ඒ ස්වප්නයෙන් මා මිදෙතැයි හැඟුණ බැවිනි. ස්වප්නය බොහෝ බියකරුය. මම බොහෝ තැතිගෙන සිටිමි. කම්පනය වී තැවෙමි. එහෙත් ඔහු හෙට මා බලන්නට එතැයි යන අපේක්ෂාව කිසිවිටෙකත් කිසිවෙකුටත් මා හදවතින් පැහැර ගත නොහැකිය.”

මංජුල වෙඩිවර්ධන

Leave A Reply

Your email address will not be published.

5 + 10 =