මේ සැකිල්ල පුර්ණ දේහයක් කරමු

ග්‍රේෂන් ඒ. පිරිස්

පුරෝගාමී අගයදාම විශ්ලේෂක සහ වරලත් ඉංජිනේරු, වරලත් පිරිවැය ගණකාධිකාරී සහ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු සභාපති

ශ්‍රී ලංකාව රටක් ලෙස අද තියෙන තැන පිළිබදව ඔබට තිබෙන්නේ මොන විදිහක තක්සේරුවක්ද?

ඔබ අහන්නේ මොන තැන ගැනද?අපි ආර්ථිකව අබල දුබල වෙලා. අපි ණයගැතිභාවයේ ගිලිලා. කොහෙද අපිට තත්වයක් තියෙන්නේ. අපි එක පුද්ගල මත්පැන් පානය කරන්නන්ගේ රටවල් අතර ඉහල. අපි මහමග අනතුරට ලක්ව මියයන්නන් අතර ඉහල. අපි සියදිවි නසාගන්නන් අතර ඉහල. අපි කිසිවෙකුටත් සිහි බුද්ධියක් තියෙනවානම් කොහොමද රට ගැන සතුටින් තක්සේරුවකට එන්නේ?

ඔබ කියන්නේ රට තියෙන්නේ අර්බුදයක බවද?

ඔව්, පැහැදිලිවම ගැඹුරු අර්බුදයක. ඊටත් වඩා භයානක දේ තමයි අපි අර්බුදයක නතර වී නොතිබීම. අපි තව තවත් වේගයෙන් පතුලක් නොපෙනෙන මේ අදුරු අර්බුදයේ ඇතුලටම ඇදී යනවා. අපි කිසිවෙකුටත් මේ පහලට යාම නවතාගන්න බැහැ. අඩුම තරමින් පහල පතුලට යාමේ වේගය අඩු කරගන්නවත් හැකියාව තියෙන කෙනෙක් පේන්නවත් නැහැ.

මේ අර්බුදය වෙත යාම වලක්වන්න අපිට තිරිංග නැද්ද?

හරියටම හරි, ඒක තමයි ප්‍රශ්නය. සමාජයක් පහලට ඇදෙන කොට ඒ ඇදී යාම වලක්වන්න සමාජයේ දියුණු නිර්මාණශීලි බුද්ධිමතුන්ගෙන් තිරිංග වැටෙන්න ඕනේ. මග පෙන්වීම් දෙන්න ඕනේ. මහා විනාශකාරී යුද්ධයකින් පස්සේ ජපානය, ඉතාලිය, ජර්මනිය තමන් හිරවුණු උමගෙන් ගොඩ එන්නේ එවැනි මගපෙන්වීම් නිසයි. මුලින්ම තමන් සිටින තැන වටහාගෙන ඒ සමාජ එතනින් ඉහලට එසවුණේ බුද්ධියෙන්, කැපවීමෙන් සහ පරිත්‍යාගයෙන් පිරි මිනිසුන් හේතුවෙන්.

එවැනි තත්වයක් අපේ රට තුළ නැද්ද?

මම අසුභාවාදියෙක් නෙමෙයි. ජිවිතේ හැම මොහොතකම සුබවාදියෙක්. ඒ නිසාම මේ අදුරු තත්වය මතත් මම රිදී රේඛාවන් දකිනවා. ඒ රිදී රේඛා අපේ අවශ්‍යතාව සපුරා ඉටුනොකළත් ඒ දෙසට ගමන් කළ හැකි මාවත් අපට සොයා දෙනවා.

මේ අදුරු මොහොත අපේ රටට උරුම වුනේ ’70 වසරක පාලනය නිසා බව අපි දන්නවා. අපි නමින් ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයක්. ඇත්තටම අපිට ‘ප්‍රජාතන්ත්‍රවාදය’ තියෙනවද? එහෙම නැත්නම් අපි ඉන්නේ සළු දැවටුණු ඒකාධිපතිවාදයක නෙමෙයිද? ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට පුළුවන්ද අඩුම තරමේ තියෙන ව්‍යවස්ථාවක් හෝ ආරක්ෂා නොකර හිතුවක්කාරී ලෙස වැඩ කරන්න. මේක ‘සාමජවාදී’ ද? බලයත්, ධනයත් හැම අතරේ සම සමව කෙසේ වෙතත් අවම විෂමතාවයෙන් හෝ බෙදී යනවද? පන්ති පරතරය ශීඝ්‍රයෙන් ඉහල යන ඉහලින් පහලට වේගයෙන් කඩා වැටෙන සමාජයක් කොහොමද සමාජවාදී වෙන්නේ. ග්‍රාමසේවකකම ජානාධිපති තනතුර දක්වා ඉහල ගියාද ජනාධිපති තනතුර ග්‍රාමසේවක මට්ටමට පහල වැටුනද කියලා හිතා ගන්න බැරි සමාජයක් කොහොමද ‘ජනරජයක්’ කියන්නේ.

මේ අවුල්වියවුල් මැද අපි තැනූ රටේ බුද්ධිමතුන්ගෙන් බහුතරයක් හිටියේ අර්බුධයට පක්ෂව. එහෙම නැත්නම් ඒ දෙස නොබලමින්.

එත් පසුගිය කාල පරිච්ඡේදයේ අනවරතව සිදුවෙන අර්බුද තීව්‍රවීම් ඉදිරියේ 70 වසරක් ඉවතබලා සිටි ආකාරයට නිහඩව ඉන්න අකමැති ප්‍රජාවක් මේකට මැදිහත් වෙලා තියෙනවා. කෙලින්ම කිව්වොත් මම මේ කියන්නේ ‘ජාතික විද්වත් සංවිධානය’ පිළිබදව.  ඒ අයගේ ස්වේච්ඡා ප්‍රවේශය ඉතාමත් වැදගත්.මම අර මුලින් කිව්වා රිදී රේඛාව ඒ අය. ඒ අයගේ එකතුවෙන් කෙටුම්පත් කළ ‘ගොඩ නගමු ශ්‍රී ලංකාව’ වැදගත් වෙන්නේ අර අපි මුලින් සදහන් කළ රට පත්ව ඇති තත්වය නිසයි.

ඒත් ඔබ ඔය කියන ‘ජාතික විද්වත් සංවිධානය’ සහ ඒ මැදිහත්වීමෙන් සකස් කළ ‘ගොඩ නගමු ශ්‍රී ලංකාව’ අසම්පුර්ණ ලියවිල්ලක් විදිහටයි සමහරු දකින්නේ?

ඔව්, ඒ හැදින්වීම හරියටම හරි.

මේ කණ්ඩායම අපිට පස්සේ පරම්පරාවන්ගේ බහුතරයක් නියෝජනය කරන අය.

ඒ වගේම මම දන්නවා මේ පිරිස කාලයක් අරගෙන රටපුරා කණ්ඩායම් විදිහට බෙදී ගිහින් ජනයා අතරින් පොදු ප්‍රශ්න තෝරාගෙන ඒ ජනතාව විශ්වාසකරණ සහ බලාපොරොත්තුවන උත්තර එක්කර මේ වැඩපිළිවෙළ සකස්කළ බව. ඇත්තටම මේක සර්ව සම්පුර්ණ ලියවිල්ලක් විදිහට මමත් අපි බොහෝ දෙනෙකුත් දකින්නේ නැහැ. අපි දකින්නේ මේ වැඩපිළිවෙළ අපිට ප්‍රවේශයක් ලබාදෙන වැඩපිළිවෙලක් විදිහටයි.

නිවැරදිවම කිව්වොත් මේ තියෙන්නේ සැකිල්ලක්. ඇටසැකිල්ලක්. මේ සැකිල්ල පුර්ණ දේහයක් කරන්න අවශ්‍ය ‘මස්’ තබන්න ඕනේ. ඒක තමයි අපේ සමාජ වගකීම. එහෙම නැතිව මේක වැඩක් නැහැ,මේකේ ගැඹුරක් නැහැ වගේ අදෝනා නැගීම අපේ වැඩේ නෙමෙයි.

මම පැහැදිලි කිරීමක් කරන්නම්.මම මේ කෙටුම්පතේ ප්‍රධාන මාතෘකා එකකට එකක් මි වදයක් වගේ සම්භන්ධ කළා. උදාහරණයක් විදිහට අධ්‍යාපනය කියන කොටස වට සෞඛ්‍ය, ප්‍රවාහනය ආර්ථිකය, ක්‍රීඩාව, කලාව සහ සංස්කෘතිය එකිනෙකට බැදෙන අයුරු අපිට එතකොට දකින්න පුළුවන්. ඒ වගේමයි කලාව සහ ක්‍රීඩාව ගත්තොත් ඒ වට යලිත් අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය වගේ කොටස් සම්භන්ධ වෙන අයුරු පැහැදිලි වෙනවා. ඒ පැහැදිලි කරීම මගේ විෂය. ඉති මම එක සරුවට කරනවා. මම හිතන්නේ ඒක මගේ වැඩේ. මගේ වගකීම. මම වගේම බොහෝ දෙනෙක් දැනටමත් තම තමන්ගේ විෂය ක්ෂේත්‍රය තුළ බය නැතිව උනන්දුවෙන් මේ වෙනුවෙන් ඒ කාර්යය කරනවා.

ඒ නිසා මම කියන්නේ බය නැති, අවංක, බුද්ධිමත් කණ්ඩායමක් මේ වැඩපිළිවෙළ වටා එක්කරමින් අවසන් ජයග්‍රහණය ලබන විශ්වාසවන්ත වැඩපිළිවෙළ අපි එක්ව හදමු කියන එක.

ඒත් ඔබ විශ්වාසකරනවද දීර්ඝකාලයක් ‘ඡන්ද පොරොන්දු’ වලට ඇබ්බැහිවුණු ජනසමාජයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයකින් හෝ ප්‍රතිපත්ති වැඩපිළිවෙලකින් වෙනස් කරන්න පුළුවන් කියලා?  

අපි ඉන්නේ ලෙහෙසි දේවල් කරන්නද අපහසු දේවල් කරන්නද? මගේ විශ්වාසය හැම යුගයකම පුරෝගාමී කාර්යය ඉටුකළේ අපහසු කඩයිම් පනින්න. ඒ අර්ථයෙන් අපි ඉන්නේ අපහසු දේ කරන්න. කොතරම් අපහසු වුනත් අපි ඇත්ත වෙනුවෙන් පෙනී සිටින්න කැමතිනම් අපේ උත්සාහය වෙන්න ඕනේ ඒ ඇත්ත ජයග්‍රහණය කරවීම.

ඔබේ ප්‍රශ්න තමයි අපේ අභියෝගය. අපි කොහොමද අර්ථාන්විත ප්‍රයෝගිකව පොහොසත් වැඩපිළිවෙලක් අකර්ෂනීයව ජනතාව අතරට ගෙනියන්නේ. අපිට ඒ සඳහ පරමුණු ගණනාවක වැඩ කරන්න වෙයි. ජනමාධ්‍ය, දේශපාලන කණ්ඩායම්, අනාගත යෞවනයෝ, විද්‍යාර්ථින්, ස්වේච්ඡා සන්විධාන් මේ සියල්ල විධිමත්ව සංවිධානාත්මකව මේ අරමුණට එක් කරගන්න ඕනේ. පරණ පුද්ගලබද්ධ තරහා මරහා අතහැරලා වෙනස් වෙන්න කැමති පිරිස් අපි මේකට එක් කර ගන්න වෙනවා.

1948 සුද්ද අපෙන් නිදහස් වෙනකොට – මම ඒක කියන්නේ එහෙම – අපිට සමානව හිටපු රාජ්‍යයන් අද ඉන්නේ කොතනද? ලෝක ආර්ථික අවපාත දෙකක් අවසානයේත් අපි එක්තරා කාලයක බිද නොවැටී හිටියේ කොහොමද? වඩා විශාල වටලෑම් මැදත් ජපානය සහ ජර්මනියඅද බලවත්ව පවතින්නේ කොහොමද? අපට ඇති සහ නැති මුලික සම්පත් මොනවාද…?වගේ කාරණා ටක්කෙටම විශ්ලේෂණාත්මකව කිරා බලමින් පොදු ජන ආකර්ෂණය සහ විශ්වාසය දිනා ගන්න අපිට බැරිද?

යහ වැඩපිළිවෙලක් මත බලය ලබාගත්තත් එය බිද නොවැටී පවත්වාගෙන යන්න පුලුවන්ද?

දැනට සකස් කරලා තියෙන ‘ගොඩ නගමු ශ්‍රී ලංකාව’ තමයි අපේ ඉතිහාසයේ පළමු වරට ඉහලින් පහලට නොආ වැඩපිළිවෙළ. මම දන්නවා මේ වැඩපිළිවෙලෙහි තියෙන්නේ මහා පොලොව මත දෙපාතබා ගත් ගැහැණුන් සහ මිනිසුන්ගේ අදහස්; ජෝජනා;බලාපොරොත්තු. ඒ සියල්ල මෙහෙම කෙටුම්පත් කිරීම ම ජයග්‍රහණයක්.

මෙ වැඩ පිළිවෙල ව්‍යාපත් කරන්න ග්‍රාමීය, නාගරික, ආදී වශයෙන් විතරක් නෙමෙයි ජාතින් වශයෙනුත් ස්වේච්ඡා කණ්ඩායම් සකස් කරන්න ඕනේ. රටපුරා විසිරුණු ඒ කණ්ඩායම් සංවාද, සුහද හමුවීම්, සම්මන්ත්‍රණ, රැස්වීම් ආදී සෑම ආකාරයකම සන්නිවේදන විධි මේ සඳහා ප්‍රයෝජනයට ගන්න ඕනේ. ඒක එක්තරා ජාලයක් විදිහට බෙදෙමින් එක වෙමින් මේ වට සක්‍රිය වෙන්න ඕනේ.ඊට අවශ්‍ය දැනුම සහ ජවය දෙන්න ඕනේ අපි. එහෙම සර්ව ව්‍යාප්ති ජන බලයක ජයග්‍රහණය අහුරන්න, පරාජය කරන්න, පෙරලන්න එතකොට කිසිවෙකුටත් බැහැ.

සටහන සහ සේයා රූ : සිසිර යාපා

Leave A Reply

Your email address will not be published.

nineteen − twelve =