“ජාතිය අමතල පරිප්පු, සැමන් අඩු කළා දැන් ජාතිය අමතන්නෙම නැතුවම වැඩිවෙලා “

“පසුගිය මාර්තු 18වැනිදා ජනාධිපතිවරයා ජාතිය අමතලා පරිප්පු කිලෝ එක රු. 65ටත් සැමන් ටින් එක රු. 100ටත් දෙනවා කියලා කිව්වා. දැන් ජාතිය අමතන්නෙම නැතුව පරිප්පු සැමන් විතරක් නෙවෙයි ජනතාවට එදිනෙදා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු සියලු බඩුවල මිල ඉහළ දමලා” යැයි ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් අපේක්‍ෂක සමන්ත විද්‍යාරත්න අද (29) බත්තරමුල්ල, පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.
“දැන් රු. 65 පරිප්පු 170යි. 100 සැමන් එක 280යි. හොඳ පොල්තෙල් බෝතලයක් රු. 500 ඉක්මවලා. රු. 97 සීනි 150 වෙලා. කහකුඩු කිලෝ එකක් රු. 7500ක් වෙනවා. ඒ කියන්නේ ග්‍රෑම් 100ක් රු. 750ක් වෙනවා. ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ටිකේවත් මිල අඩු කරන්න බැරිනම් එවැනි ආණ්ඩුවක් රටකට කුමකටද? අත්‍යවශ්‍ය භාණ්ඩ හැම එකටම බදු ගහල. රටේ ජනතාව අනුභව කරන බත්පතේ වෑංජන ගණන අඩුවෙලා. ගුණාත්මක බව පහළට වැටිලා. එහෙම වෙද්දිත් මැති ඇමතීන්ගෙ අනවශ්‍ය නාස්තිය හා දූෂණය ඉහවහා ගිහිල්ලා. අපි ආණ්ඩුවට බල කරලා කියනවා තෙල් සහ ආහාර මිල වහාම පහත හෙළන්න කියලා.”
“ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා බලයට එන්න ඉස්සෙල්ලා කිවුවා මේ රටේ දුප්පත් කාන්තාවන් අරන් තියෙන ක්‍ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරනවා කියලා. ලීසිං සහන දෙනවා කිවුවා. වතු කම්කරුවන්ට රු. 1000ක දෛනික වැටුපක් දෙනව කියලා අයියයි මල්ලියි දෙන්නම කිවුවා. දස අතේ පොරොන්දු වුණා. අද ඒ පොරොන්දු අකා මකා දාලා.”

“මේ වනවිට එළවළු මිල බැහැලා. ගොවියො අසීරුතාවයට පත්වෙලා. තක්කලි කිලෝ එකක් රු. 20ට බැහැලා. සීනි කිලෝ එකක් ගන්න තක්කලි කිලෝ 06ක් වත් විකුණන්න ඕනෑ. ඒ මදිවට දැන් මේ අයිය මලෝ එකතු වෙලා ගොවියත් සමච්චලයට ලක් කරනවා. ලක්‍ෂ 69ක ඡන්දය දුන් ජනතාවට යුතුකම් ඉටු කරන්නෙ මෙහෙමද?”

“ලංකාවේ ලක්‍ෂ 21ක් ගොවි ජනතාව ඉන්නවා. ගොවිතැනට අවශ්‍ය පොහොර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල විශාල ලෙස ඉහළ ගිහිල්ලා. අද ගම්මිරිස් කිලෝ එක රු. 400යි. ගම්මිරිස් ගොවියා ලොකු අමාරුවක වැටිලා. රනිල්ලගේ පාලන කාලේ වියට්නාමයෙන් බාල ගම්මිරිස් ගෙනල්ලා මේ රටේ ගම්මිරිස් ගොවියා අනාථ කළා. මේ ආණ්ඩුවත් කරමින් ඉන්නේ ඒකමයි. ඡන්දෙ දුන් මිනිහගේ බඩු මිල ඉහළට. ගත්ත එවුන්ගේ බඩු මිල පහළට. මේක තමයි මේ ආණ්ඩුවල ප්‍රතිපත්තිය.”

“අනුමතව තිබූ විශ්‍රාම වැටුප රාජපක්‍ෂ ආණ්ඩුව කපල දැම්ම. දැන් දුන් දේත් උදුර ගන්නවා. ලයිට් බිල 25%කින් අඩු කරනවයි කිව්වට අදාළ චක්‍රලේඛය තවම නිකුත්කර නැහැ. මේ බොරුකාරයන්ට, හොරුන්ට නැවත නැවතත් ඔබ රැවටෙන්න සූදානම්ද? නැතිනම් මේ රට නිවැරදි දිසාවට හරවන ජාතික ජන බලවේගය සමග පෙළ ගැසෙන්න ඔබ සූදානම්ද?
මේ රටේ ජනතාව මුහුණ දුන් හැම ප්‍රශ්නයකදීම එයට එරෙහිව පෙරමුණ ගෙන ක්‍රියා කළේ අපියි. ඒක රටේ ජනතාව දන්නවා. ඉදිරියේදී ඔබේ ඕනෑම ප්‍රශ්නයකට මුලින්ම ඉදිරිපත් වෙලා පාලකයන්ට එරෙහිව ඔබ වෙනුවෙන් සටන් වදින්න අපි සූදානම්. ඒ සඳහා අපිට ශක්තිය සපයන්න කියලා අපි ඉල්ලා සිටිනවා.” යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.

sixteen − fourteen =