අඟුලාන සිදුවීමෙන් පේන්නේ කෲරත්වය

නීතිඥ හර්ෂණ නානායක්කාර

අඟු‍ලාන පොලීසිය මේ විදිහට හැසිරුණු පළවෙනි අවස්ථාව නෙමෙයි. මීට කලිනුත් අඟු‍ලාන පොලිසිය මෙහෙම හැසිරිලා තියෙනවා. 2009 තරුණයන් දෙ‍දෙනෙකු මරා දැමු‍වේ පොලිස් නිලධාරියෙකුගේ සබඳතාවයක් තිබූ බව කියන කාන්තාවකට විහිළු කිරීම නිසා. ඒ මිනීමැරුමට වරදකරුවන් වූ පොලිස් නිලධාරීන් 4 දෙනෙකුට මරණ දණ්ඩනය දුන්නා.
අඟු‍ලාන පොලීසිය අතින් මරා දැමුණු පිරිස පහක් කියලයි කියවෙන්නේ. දැන් ආයෙමත් එක ජීවිතයක් අහිමි වෙලා. ඔහු ධීවරයෙක්. පෙර වැරදි ගැන සටහන් නැති කෙනෙක්. දරුවන් හතර දෙනෙක්ගේ තාත්තා කෙනෙක්.
සිද්ධියෙන් පස්සේ පොලිසිය කියන්නේ මේ පිරිස ආපු වාහනය පරික්ෂා කරද්දී මේ මරාදැමුණු අමිත් කරුණාරත්න පොලිසියට ගලකින් ගහන්න හැදුවා කියලා. ඒ කතාව ඇත්තක් වුණත් මොකක්ද පොලිසියට තියෙන අයිතිය තමන්ට ගලකින් ගහන්න හදපු මිනිහෙකුගේ ඔළුවට වෙඩි තියන්න.
අපි දැනට දන්නා විදිහට අමිත් ගේ හිසේ පිටිපස්සටයි වෙඩි වැදිලා තියෙන්නේ. ඒ කියන්නේ පොලිසියට පිටු පාලයි අමිත් ඉඳලා තියෙන්නේ. එතකොට කොහොමද පොලිසිය දිහාට ගල් ගහන්නේ. මේ ගැන අපිට හරියටම කියන්න පුළුවන් වෙන්නේ මරණ පරීක්ෂකගේ වාර්තාවෙන්. ඒක තාම නිකුත් කරලා නැහැ.
අමිත් කරුණාරත්න මරා දාන්නේ ජූලි 10 වෙනිදා. මේ ගැන පරීක්ෂණ ක්‍රියාත්මක වන බව කියද්දීම ජූලි 16 පාන්දර 5.00ට විතර පොලිස් නිලධාරින් පිරිසක් ඇවිත් සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා අරගෙන යනවා. එදාම තමයි සිද්ධියට අදාළ නඩුව මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගන්නේ.
මේ රැගෙනයාම ගැන ප්‍රශ්න කරන්න අමිත්ගේ ඥාතීන් සහ සාක්ෂිකරුවන්ගේ ඥාතීන් අඟු‍ලාන පොලීසියට යනවා. ඒ ගමනේ ප්‍රතිඵලය තමයි අඟු‍ලාන පොලීසියට ගල්මුල් ප්‍රහාරයක් එල්ල වීම මිනිහෙක්ව මරලා ඝාතනය ගැන නඩුව තියෙන දවසේ පාන්දර ඒ නඩුවේ සාක්ෂිකාරයෝ දෙන්නා පොලීසියෙන් අරගෙන ගියහම ඇතිවෙන ගැටුම ගැන පොලීසිය පැත්තෙන් මොකක්ද කිව්වේ? බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මොකක්ද කිව්වේ?.

පිරිස මෙහෙය වන්නේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කියලා. කෝ දැන් ඒ කියන මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ. නියෝජ්‍ය පොලිස්පතිතුමා එයාලව ඇල්ලු‍වද? මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ අල්ලන්න, හොයා ගන්න නියෝජ්‍ය පොලිස්පතිතුමාට සතියක් ගිහිල්ලත් බැරිවුණා කියන්නේ ඔහුගේ ප්‍රකාශය ගැන අපිට සැකයක් ඇති කරන එකනේ.
ජූලි 10 මනුෂ්‍ය ඝාතනයක් කරන පොලීසිය ඉන් දවස් හයකට පස්සේ ඒ ඝාතනයේ සාක්ෂිකාරයෝ පාන්දර ජාමේ අරගෙන ගිහිල්ලා ඒ ගැන ගැටුමක් ඇති වුණාට පස්සේ පළාත්බාර නියෝජ්‍ය පොලිස්පති ඒ අය මෙහෙයවන්නේ කුඩුකාරයෝ කියලා සතියක් ගියත් එක කුඩු ජාවාරම් කාරයෙක් අල්ලන්න බැරිවුණා නම් දේශබන්දු තෙන්නකෝන් නියෝජ්‍ය පොලිස්පති මේ මොකක්ද කියන්න හදන්නේ?.
මේ තමයි පීඩිත සමාජ කණ්ඩායමක් ගර්හාවට ලක්කරන විදිහ. මේක පැහැදිලි අපහාසයක්. මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකර කුණු රොඩු ගාණට පාවිච්චි කරන විදිහ. මේ අපහාසය අමිත් කරුණාරත්න ඝාතනය කළාට පස්සේ ඒ අවට මිනිස්සුන්ට එල්ල කළ අපහාසයක්. මටනම් හිතෙන්නේ ඒක ඝාතනයටත් වඩා දරුණු කෲරත්වයක් කියලයි.
-සිසිර යාපා

Leave A Reply

Your email address will not be published.

three × one =