රග්බි බලය නිතරගයෙන්

ශ්‍රී ලංකා රග්බි නිලවරණය සඳහා වත්මන් නියෝජ්‍ය සභාපති රිස්ලි ඉල්යාස් ප්‍රමුඛ කණ්ඩායම පමණක් නාමයෝජනා ඉදිරිපත් කර තිබේ. ඒ අනුව අගෝස්තු මස 30 වැනිදා පැවැත්වීමට නියමිත රග්බි ආයතනයේ මහා සභා රැස්වීම සහ නිලවරණයෙන් එහි සභාපති ධුරයට රිස්ලි ඉල්යාස් නිතරගයෙන් පත්වනු ඇත. රග්බි ආයතනයේ වත්මන් සභාපති ලසිත ගුණරත්න නැවත ඉදිරිපත් වන බවට මීට පෙර තොරතුරු පැතිර ගියේය. එහෙත් ඔහුගේ ඉල්ලා අස්වීමත් සමඟම රග්බි නිලවරණය තරගයකින් තොරව නිමාවට පත් වනු ඇත.

රග්බි නිලවරණය මෙරට සෑම ක්‍රීඩා සංගමයකටම ආදර්ශයක් බව සිය ධුරයෙන් සමුගැනීමට නියමිත වත්මන් සභාපති ලසිත ගුණරත්න ක්‍රීඩා විද්‍යායතනයේදී පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. ඊට සභාපති අපේක්ෂක රිස්ලි ඉල්යාස් ද එක්ව සිටියේය.

“අප දෙදෙනාම මෙවර සභාපති ධුරය අපේක්ෂාවෙන් ඡන්දෙට එයි කියලා ඇතැම් මාධ්‍ය වාර්තාවල තිබුණා. ඒත්, ඇත්තටම වුණේ අපි දෙදෙනා අතර යම්කිසි වැරැදි අවබෝධයක් ඇතිවී තිබීම. අපි ඒ ප්‍රශ්නය නිරාකරණය කර ගත්තා. දැන් අපි අතර තරගයක් නැහැ. මම මුල ඉඳලම තීරණය කර තිබුණේ තවත් පාර්ශ්වයක් නිලවරණයට ඉදිරිපත් වෙනවා නම් මම තරග කරන්නේ නෑ කියලයි. අවසානයේදී ජය ගන්න ඕනේ ක්‍රීඩාව. ඒ නිසා මම කොන්දේසි විරහිතව ඉල්යාස්ට සහයෝගය දෙනවා.”යි හිටපු සභාපතිවරයා පැවසීය.

රිස්ලි ඉල්යාස් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ මෙරට රග්බි ක්‍රීඩාවට දස්කම් සපිරි ක්‍රීඩකයන් බිහි වන පාසල් රග්බි ක්ෂේත්‍රය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් තමන් කටයුතු කරන බවයි.

“ශ්‍රී ලංකා රග්බි ආයතනයත්, පාසල් රග්බි සංගමයත් අතර පසුගිය අවුරුදු ගණනාවක් පුරා විවිධ මතගැටුම් ඇති වූයේ රග්බි පරිපාලනයේ නිලධාරීන් නිසා නොවෙයි. වැටුප් ලබමින් රග්බි ආයතනයේ සේවය කරන සමහර අයගේ දුර්වලතා නිසයි. අපි ගන්න තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්නේ ඒ අය. ඒත් ඒ අය පාසල් සංගමයේ නිලධාරීන් එක්ක වැඩ කරද්දී ප්‍රශ්න ඇති කර ගත්තා. මේ වගේ කරුණු හින්දා තමයි රග්බි ආයතනයයි පාසල් සංගමයයි අතර සමීප බවක් නැත්තේ.” ඉල්යාස් පැවසීය.

කෙසේ වෙතත් කොවිඞ් ව්‍යාප්තිය රග්බි ක්‍රීඩාවට අභියෝගයක් වුවද එම අභියෝගය ජය ගන්නා බව නව සභාපති ලෙස පත්වන ඉල්යාස් මෙම මාධ්‍ය හමුවේදී කීවේය.

සිසිර යාපා

Leave A Reply

Your email address will not be published.

5 × 3 =