රටක් කියන්නෙ මහ පොළොව නෙවෙයි මිනිස් ජීවිත !

‘පිනි දිය වැස්ස’ සහ ‘කවුළු ඇස පාමුල’ කාව්‍ය සංග්‍රහ හරහා කවි හදවත් දිනාගත් ළහිරු කිතලගම කෙටි නිහැඬියාවකින් පසු ‘කළු සමනලයා’ තීරු ලිපි එකතුව සහෘදගත කර ඇත. මේ සංවාදය සඳහා අපි එය නිමිති කර ගත්තෙමු.

  • මෙතෙක් කවියෙක් විදියට අපි හඳුනගෙන හිටපු ළහිරු කිතලගම ‘කළු සමනලයා’ හරහා දැන් තීරු රචකයෙක් ලෙසට රූපාන්තරණය වෙනවා. කවියා තීරුකරුවෙකු වීම පිටිපස්සෙ තියෙන කතාව මුලින්ම අපිට කියන්න?

මම කවි ලියන අතරේම පුවත්පත්වලට ලිපි ලිවීම කළා. දැන් ලියන්නේ නැති වුණාට, මීට වසර පහකට පමණ පෙර විවිධ දේවල් පත්තරවලට ලිව්වා. හැබැයි ඒක විධිමත්ව කරපු වැඩක් නෙමේ. මම ‘කළු සමනලයා’ කියන කොලම් එක ලියන්න පටන් ගත්තේ ඇත්ත පත්තරේ. ඇත්තෙන්ම ඒක අහම්බයක්. මම ළහිරු කරුණාරත්න, ඩොමිනික් චන්ද්‍රසාලි සහ සමන් ජයකොඩි කියන සහෝදරවරු රත්නපුරේ මිත්‍රයෙක්ගෙ ගෙදරක යන අතර තුර අපි ගීත ගයමින් ඒවායේ පසුබිම ගැන කතා කරමින් ගියා. අපි එහිදී සම්භාව්‍ය ධාරාවට නොගන්න ජනප්‍රිය සංස්කෘතියේ ගායක ශිල්පීන් ගැන කතා කළා.

ජෝති, ප්‍රින්ස් උදය ප්‍රියන්ත, නාමල් උඩුගම, කිංස්ලි පීරිස්, චාමර වීරසිංහ වැනි අයගේ ගීත, ඒ ගීත පොදු සමාජය වැළඳගෙන තිබෙන ආකාරය ගැන. මේ සාකච්ඡාව කෙළවර දී සමන් අයියා මට යෝජනා කළා, ඒ කතා වුණ දේවල් පත්තරේට ලියන්න කියලා. ඒ කාලේ ඇත්ත පත්තරේ සහය සංස්කාරක වශයෙන් වැඩකළේ සමන් අයියා. ඒ කියන්නේ චූල කතිකාවේ තියෙන කලා සංස්කෘතික කලාපයන් ගැන ලියන්න කියල. ඒ අනුව 2016 දෙසැම්බර්වල තමා කොලම් එක ආරම්භ වෙන්නේ. නමුත් පස්සේ සමාජයේ සැරිසරමින් ඉන්න පුරවැසියෙක් විදියට සාහිත්‍ය කලාව ගැන වගේ ම නොයෙක් සමාජ සංසිද්ධීන්, දේශපාලන, සංස්කෘතික කාරණා ගැනත් මම ලියන්න උත්සාහ කළා. එහෙම කාලයක් ඇත්ත පුවත්පතට ලියපු තීරු රචනා වලින් යම් ප්‍රමාණයක් තෝරගෙන තමා එය කෘතියක් විදියට පළ කළේ. මම හිතන්නේ මගේ ප්‍රධාන ප්‍රකාශන මාධ්‍ය කවිය කියලා. නමුත් අපිට වෙනත් වැඩ බිම්වල වැඩ කරන්න වෙනව නම්, මම හිතන්නේ අපි එහෙම වැඩ කළ යුතුයි. ඒ අර්ථයෙන් තමා තීරුලිපි ලියවෙන්නේ.

  • තීරු ලිපියකින් එහෙම නැත්නම් කොලම් එකකින් පාඨකයාට කරන්න පුළු‍වන් බලපෑම මොකක් ද?

මං හිතන්නේ කාර්යබහුල වෙච්ච සමාජයක් ඇතුළෙ කියවීම සම්බන්ධව යම් ගැටලු‍වක් තියෙනවා. කොපමණ හොඳ ලිපියක් වුණත් පිටු ගාණක් කියවනවා කියන්නේ ඒක වෙන වැඩක් විදියට කළ යුතුයි. නමුත් තීරුවක් කියන්නේ අවම වචන සහ ඉඩ ප්‍රමාණයක් ඇතුළෙ ලියවෙන දෙයක් නිසා, ඕනෑම කෙනෙක් තීරුවක් කියවන්න පෙළඹෙනවා. තීරුවක් ඇතුළෙ යම් නිශ්චිත දෙයක් – එය සමාජීය දේශපාලන කාරණා, දේශපාලන විවේචන, කලාව ආදී ඕනෑම විෂයක් – සාකච්ඡා කිරීමේ ඉඩ ලැබෙනවා. ඉතින් අර ප්‍රමාණයෙන් කුඩා අවකාශයක් ඇතුළෙ වෙනස් දෙයක් ලියවෙන නිසා පුවත්පතක අනෙක් ලිපිවලට වඩා තීරුවලට අවධානයක් යොමු වෙනවා.

අපිට එහෙම තීරු ලිපි ඉතිහාසයක් තියනවා. ඉතිං මං හිතන්නේ මේ කොලම් එකේ තියන ප්‍රධාන වාසිය තමා පාඨකයා නතු කර ගැනීමේ හැකියාව. ඒ එක්ක තීරු ලිපියේ අන්තර්ගතයේ ඇති ශක්තිය, ප්‍රබලතාවය මත යම් බලපෑමක් කළ හැකියි කියා මා විස්වාස කරනවා. අලු‍ත් විෂයකට අලු‍ත් විදියකට ප්‍රවේශවීම, සාහිත්‍ය  කලාව ගැන යම් සංවාදයක් ඇති කිරීම, වගේ දෙයක් තීරුවකට ගේන්න පුළුවන්. මං හිතන්නේ පාඨකයෙක් ට ආකල්පමය වෙනසක් ඇති කරන්න, නව චින්තනයක් දැක්මක් ඇති කරන්න හොඳ තීරු ලිපි රචනාවකට පුළුවන්.

  • කළු සමනලයා තුළ අන්තර්ගත වෙන්නෙ පසු ගිය වසර කීපය තුළ ඔබේ සමාජ, දේශපාලන, සංස්කෘතික නිරීක්ෂණ ගණනාවක්. මම හරි ද?

ඔබ හරි. සාහිත්‍ය සහ නොයෙක් කලා මාධ්‍යයන් ගැන ලියමින් කොලම් එක ආරම්භ කළාට, මම පසුකාලීනව වැඩි තැනක් දුන්නේ සමාජ, දේශපාලන නිරීක්ෂණයන් ගැන ලියන්න. වඩාත් හොඳ මානව ජීවිතයක්, වඩාත් හොඳ සමාජයක් ගොඩනගා ගැනීමේ කාර්යයේ දී මිනිසුන් විදියට අප කළ යුතු දේ ගැන මගේ අදහස් මම ලිව්වා. ඇතැම් ඒවා මගේ අත්දැකීමේ ඇසුරෙන් ලියවුණ රචනා. විවිධ සමාජ සංස්ථා දෙස විවේචනාත්මකව බැලීම වගේම සාධනීය තැන් සාධනීය අයුරින් දැකීම, ජාතිවාදය ආගම්වාදය පිටු දකිමින් පොදු මානව හැඟීමක් මිනිස්සු තුළ ඇති කරන්නේ කොහොමද කියන සංවාදය ඒ ලිපි ඇතුළෙ ගේන්න උත්සාහ කළා. හැම මොහොතකම මගේ අරමුණ වුණේ ප්‍රගතිගාමී මානව දෘෂ්ටියක් ඉතිරිකරන යමක් ලිවීමයි.

  • මුළු රට ම නොයෙක් කෝලම්වලින් පිරිලා. ඒ අස්සෙ ඔබ කොලම් පොතක් එළිය ට දානවා. මේ මොහොත ගැන ඔබේ සමාජ, දේශපාලන නිරීක්ෂණය මම දැනගන්න කැමතියි?

මේ මොහොත ගැන එකවර දුකකුත්, ඒ සමගම යම් සතුටකුත් දැනෙනවා. හැබැයි වැඩිපුර තියෙන්නේ දුකක්. ඒ දුක තමා, මානව ජීවිතවල වටිනාකම පයට පෑගෙන දූවිල්ලක් ගානට වැටිලා තිබීම සහ එච්චර පහළට ඇදල දාලා තියෙද්දිත්, බහුතර සමාජයකට ඒ ගැන නොතේරීම. අහිංසක පුරවැසියන්ගේ බදු මුදල්වලින් යැපෙමින්, මේ රට කරන යම් පිරිසක්, මහ දවල් හොරකම්, දූෂණය, වංචාව කරමින්, මහජනතාව සූරා කෑම ඛේදවාචකයක්. මේක අද ඊයේ නෙමේ අවුරුදු ගණනාවක් තිස්සේ සිදුවෙමින් පවතින ඛේදවාචකයක්.

ඒ සූරාකන ගමන්ම තමන් දේශප්‍රේමී බව පෙන්වීම සඳහා ජාතිවාදය, ආගම්වාදය වගේ දේවල් ප්‍රමුඛ කරමින්, රටේ පුරවැසියන් අන්දන ඇන්දිල්ල ගැන තියෙන්නේ වේදනාවක් කනගාටුවක්. රටක් කියන්නේ මහ පොළොව නෙමේ, මිනිස් ජීවිත. මිනිස් ජීවිත කියන්නේ එක් මහ ජාතියක් පමණක් නොවේ, සියලු‍ ජාතීන්.. හැබැයි අද ඡන්දය ගන්න, බලය ගන්න ඕන බලු‍ කමක් කරමින් ඉන්න පක්ෂ දේශපාලනයක් තියෙන්නේ. ඒ වගේ ම තමන්ගේ ව්‍යාපාරික අරමුණ සාක්ෂාත් කරගැනීමේ අරමුණින් මිථ්‍යා, සිල්ලර රස වින්දනය විකුණමින් මිනිස්සුන්ගේ ඔළු‍ කන, අතිශය පෞද්ගලික උවමනාවන් වෙනුවෙන් ඕනෑම දෙයක් කරමින් දේශපාලන

වාසිගන්න මාධ්‍යයන් තියෙන්නේ. මේවා එක්ක බහුතර සමාජයක් ආත්මාර්ථකාමී වෙලා. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඕනෑම දෙයක් කරන තත්ත්වයකට වැටිලා. තුන් වේල බණ අහන, පන්සල් පල්ලි කෝවිල් යන සමාජයක්. හැබැයි මහ දවල් පාරේ මිනිස්සු මරල දාන, ඒ මරලා දාද්දි ඒ දිහා නිහඬව බලන් ඉන්න, පොඩි උන් දූෂණයට ලක්වෙන සමාජයක්. අවුරුදු ගාණක් දේශනා කරපු ධර්මය කෝ? කෝ බෞද්ධ දර්ශනය? කෝ කතෝලික දහම? කෝ හින්දු ධර්මයේ සාරාර්ථ? කෝ ඉස්ලාම් ධර්මයේ සාරාර්ථ? ආගම් කීයක් නම් තියේද, ඒත් සමාජය කොතනද තියෙන්නේ? මෙන්න මේවා ගැන හිතන කොට ලොකු වේදනාවක් දැනෙනවා මේ මොහොත ගැන.

මෙවැනි තත්ත්වයක් හමුවේ මේ මඩගොහොරුවෙන් සමාජය ගොඩගන්න ඕන කියන සැබෑ අපේක්ෂාවෙන් වැඩ කරන, බලය සඳහා ජාතිවාදය, ආගම්වාදය ප්‍රමුඛ කර නොගන්න, මිනිස් ජීවිතවලට පමණත් නොවේ, සතා සිව්පාවා පරිසරය ගහ කොළවලට පවා වටිනාකමක් දෙන ඉතා සුළු පිරිසක් සිටීම ගැන මට සතුටක් තිබෙනවා. මහ විශාල අභියෝග, බාධක තිබුණත්, මිනිස්සුන්ට උසස් සමාජ ජීවිතයක් ලබා දීමේ අපේක්ෂාවෙන් වැඩ කරන ඒ සුළු පිරිස ගැන හිතමින් මං සතුටු වෙනවා. ඒ සුළු පිරිස වර්ධනය කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ තිබෙනවා.

  • කවි පොත් දෙකකට පස්සෙ තීරු ලිපි පොත ආවා. එතනින් එහා ට ඔබේ ඉදිරි කලා, සාහිත්‍ය ගනුදෙනුව සකස් වෙන්නෙ කොහොම ද කියල දැනගනිමින් මං කැමතියි මේ කතාව ඉවර කරන්න?

මං හිතනවා කියවීමට, කලා රසවින්දනය ඇති කිරීමට, පොත පත ඇසුරු කිරීමට අලු‍ත් පරම්පරාව හුරු කරවීම වගේ වැඩ කරන්න ඕන කියලා. කොටින්ම කියනව නම් හැදෙන පොඩි උන්ගේ ඔළු‍ගෙඩිවලට විෂබීජ එන්නත් වෙන්න නොදී ඒ ඔළු‍ගෙඩිවල මානව ප්‍රේමය පමණක් වගා දිගා කරන වැඩ කළ යුතුයි කියලා. ඒ වෙනුවෙන් දරුවො වෙනුවෙන් ලියන්න ඕන කියන තැන මම ඉන්නවා. ඒ සඳහා උත්සාහ ගනිමින් ඉන්නවා. ළමා කතා පොත් දෙකක වැඩ අවසන් කරලා මුද්‍රණය කිරීමේ අපේක්ෂාවෙන් ඉන්නවා. ඒ වගේම යොවුන් නවකතාවක් ලියලා ඉවර කරලා නැවත නැවත එය සංස්කරණය කරමින් ඉන්නවා. ඉදිරියේ දී ඒ කෘතීන් පළ වේවි !

■ සංවාදය – පසන් සංජය සමරතුංග

Leave A Reply

Your email address will not be published.

8 + six =