අඟුලාන වෙඩි පහර යට අගුළු නොලෑ යුතු කතාවක

 

වැහි දවසක් කියල මට විශේෂයක් තිබුණට එයාලට එහෙම නෑ. මොකද උපන් දා පටන්ම මේ මිනිස්සු මුහුදු හුළඟට තෙමෙනවා. අකුණු සද්දෙටත් නොදෙවෙනි වෙන්න ගෙයි මිදුලෙන්ම කෝච්චියත් යන්නෙ ජීවිතේ ගැන වගක් ඇති නැති හැමෝටම හූ තියාගෙන. ලු‍නාවට ඇවිත් ගත වුණේ තත්පර කීපයක් වුණත් මට කියා ගන්න බැරි මහ බර හැඟීමක් දැනෙන්න අරන්. මාළු රස්සාව ජීවිතේ වෙනකොට කපුටො කියන්නෙත් ජීවිතේම කොටසක් ද කියලත් හිතෙනවා.
තැනින් වතුර පිරුණු පාරක් මඟෑරල පිලක් දිගේ ඇවිත් රේල් පාරට වැටුණාම තමයි ටිකක් ඈතින් දැක්කෙ ලෑලි ගහල ජීවිතේ වට කරගත්ත ගෙදරක ටකරන් හට් එකක් ගහල සුදු පාටින් සරසලා. රේල් පාර දිගේ ඇවිදගෙන අපි ආවෙ අමිත් කරුණාරත්නගෙ ගෙදරට. මේ වෙද්දි අමිත් කරුණාරත්න නම් තමන්ගෙ ජීවිතයෙන්ම යන්න ගිහින් සතියකටත් වැඩි කාලයක් ගතවෙලා. ඒ පහුගිය 11 වෙනිදා රෑ සිද්ධ වුණු පොලිස් වෙඩි තැබීමකින්. අපි යද්දි එතැන හිටියේ පවුලේ කිහිප දෙනෙක් විතරයි. මොකද අද තව මනුස්සයෙක් මැරුණත්, හෙට ආයෙම මේ මිනිස්සුන්ට මුහුදු යන්න වෙනවා. එදා වේල හොයාගෙන ජීවත් වෙන මිනිස්සුන්ට හිතන්න තියෙන්නෙ බඩගින්න ගැන විතරයි.


අපි මුලින්ම කතා කළේ අමිත්ගෙ අම්මා අමරාවතී ප්‍රනාන්දුත් එක්ක.

“අපි කුඩු, ගංජා විකුණනවා නම් මෙහෙම ඉන්න ඕනෙ ද පුතේ ? මේ කාමරේ බලන්න ඔක්කොම දැල් ආම්පන්න තමයි තියෙන්නේ. මගෙ පුතා දන්නෙ මූදු රස්සාවයි, ගඟේ රස්සාවයි විතරයි පුතේ. දැන් අපිට කන්නත් නෑ. මගෙ කොල්ල තමයි අපිව බලාගත්තේ. හැම කෙනාගෙම බඩගින්න බලන කෙනෙක් තමයි මගෙ පුතා. මේ ඉන්නෙ එයාගෙ ලොකු පුතා. මේ කොල්ල අද මහ වැස්සෙත් ගඟේ ගිහින් ආවෙ. පොලිසියෙන් ඇවිත් කිව්වෙ නම් සාධාරණයක් කරලා දෙන්නම් කියලා. 16 වෙනිදා උසාවිත් තිබුණා. ඒත් අර ටීවි එකේ කතා කරන ලොකු පොලිස්කාරයා එකපාරටම එයාලගෙ පැත්තට නේ අදින්නෙ පුතේ. ඊට පස්සෙ තමයි, මේ ළමයින්ව මම එක්කන් ගියේ ගල් ගහන්න. පොලිසියට ගල් ගැහුවෙ මම පුතේ.”‍
අම්ම කෙනෙක් කියන්නෙම යකඩ ගෑනියෙක්. ඒ අම්මට හුඟක් දේවල් කියන්න තිබුණ වගේම අපිට මුළු ගේම පෙන්නලා “කුඩු විකුණන මනුස්සයෙක්ගෙ පවුලක් මෙහෙම දුක් විඳින්න ඕනෙ ද මහත්තයෝ”‍ කියල අපෙන් අඬ අඬ අහද්දි දෙන්න උත්තරයක් තිබුණෙ නෑ.
මම තාත්තලාව දැකල තිබුණ විදියටම ඒ තාත්තත් නිහඬව හිටිය මිස වැඩිය කතා කළේ නෑ. අමිත්ගෙ තාත්තටත් කකුලේ ආබාධයක් නිසා රැකියාවක් කර ගන්න බැරි තත්ත්වයකයි ඉන්නේ. මේ මිනිස්සු දන්නෙ මුහුදු රස්සාව තමයි. කාගෙ කාගෙත් හෙට දවස තියෙන්නෙ එක්කො මුහුදේ, නැත්තම් ගඟේ. ටික වෙලාවක් අපි කතා කර කර ඉන්න කොට අමිත්ගෙ තාත්තා, මිල්ටන් කරුණාරත්න කතා කළා. ඒත් බොහොම ටිකක් වුණත් තාත්තගෙ වේදනාව ඒ වචන කීපය ඇතුළේ තිබුණා.


“නිරායුධ මිනිස්සුන්ව මරපු ලංකාවෙ පොලිසිය මේ අඟු‍ලානෙ පොලිසිය තමයි. අනික මේ පළවෙනි වතාවත් නෙවෙයි. මිනිස්සු වුණා ම නිදහසක් තියෙන්න ඕනේ. අපි අමනුස්සයෝ නෙවෙයි නෙ පුතේ. ඒත් මේ පොලිසිය අපි දිහා බලන්නෙ නිකම් අමනුස්සයෝ දිහා බලන ගාණට. අපේ කොල්ල පොලිසියට ගහන්න ගියා කියල පොලිසියෙන් උසාවියට පෙන්නපු ගල මනුස්සයකුට එකපාර ගහන්න තියා උස්ස ගන්නවත් පුළුවන් ගලක් නෙවෙයි පුතේ. එතැන තිබුණෙ වෙන ගලක්. ඒත් පොලිසියෙන් පෙන්නුවේ වෙන ගලක්. උසාවි දවසෙත් උදේ පාන්දරම පොලිසියෙන් ඇවිත් සාක්කිකාරයො දෙන්නව එක්කන් ගිහින් තිබුණා. අපි මේ පොලිසිය ගැන දන්න හින්ද හොඳයි. නැත්තං ඒ දෙන්නවත් අතුරුදහන් කරල දාන්න තිබුණා. අදටත් ඒ පොලිස්කාරයන්ව අත්අඩංගුවට අරන්වත් නෑ. ඒත් පොලිසියට ගල් ගැහුවයි කියල මේ ගෑනු උදවියගෙ ඉඳන් 14 දෙනෙක් රිමන් කරල තිබුණා. ගඟේ ගිහින් ආවාම දෙකට විතර ඇහැරිලා, ඊට පස්සෙ කොල්ලගෙ වැඬේම මේ දැල් මහන එක තමයි පුතේ. කොල්ල අවුරුදු දහතුනේ ඉඳල මාළු කඳ ඇද්දෙ පුතේ. ඒ රුපියල් 60.00ට. මීඩියාවලින් නම් මේ ටිකේම එනවා. ඒත් කිසිම කෙනෙක් මේ දරු පවුල ගැන, මේවට වගකිව යුතු අය ගැන කිසිම දෙයක් දාන්නෙ නෑ පුතේ. ෆොටෝ ටික ගහගත්ත ගියා එච්චරයි.”‍


අපි එතනට යන මොහොතෙදිත් අමිත් කරුණාරත්නගෙ ලොකු පුතා අසිත හිටියෙ ආයෙම ගඟේ යන ගමනට මාළු දැල් ලෑස්ති කරන ගමන්. ඒ වගේම මේ ටික වෙලාවකට කලින් ඔහු ගඟේ ගිහින් ගෙදර ආවා විතරයි. තමන්ගෙ පවුලටම හයියක් විදියට හිටපු තමන්ගෙ තාත්ත නැති වුණාට පස්සෙ ඔහුට තනියම පවුල් දෙක, තුනකම බර කරට ගන්න සිද්ධ වෙලා තිබුණේ අවාසනාවන්ත විදිහට. මේ වෙනකොටත් තමන් මත තිබුණු ජීවිතවල බර බිමින් නොතියාම අසිත අපිත් එක්ක කතා කළා.
“‍තාත්තා මේ දැල ගැහුවෙ එකපාරයි. පහුවදා යද්දි තමයි වෙඩි තිබ්බේ. කුඩු ගංජා විකුණනවා නම් අපි රෑට ගඟේ මඩ නාන්න යන්න ඕනෙ ද? අපි. ඊයෙත් මුහුදු ගිහින් බෝට්ටුව පෙරළෙන්නත් ගියා.”‍
මේ විදිහට අමිත් කරුණාරත්නට පොලිස් වෙඩිපාර එල්ල වෙන්නෙ පහුගිය 11 වෙනිදා. ලු‍නාව කලපුව ළඟදි. ඒ රෑ ත්‍රීවිල් දෙකකින් මාළු දැලු‍ත් අරගෙන ගෙදර ඉඳන් යන ගමන්. තමන් ආපු ත්‍රීවිල් එකේ කල් ඉකුත් වුණු ලයිෂන්, ඉන්ෂුවරන්ස් සම්බන්ධව සිද්ධ වුණු බහින්බස් වීමක් දුරදිග යාමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අමිත්ට මේ වෙඩි පාර එල්ල වෙන්නේ. මේ සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකාරයන් දෙන්නෙක් ඉන්නවා. ඒ වෙලාවෙ මාළු දැල් සුද්ද කරමින් ඉඳපු ධීවරයන් දෙන්නෙක්. එයින් එක්කෙනෙක් හොයාගෙන තමයි, අපි ඊළඟට ගියේ. ඔහු නමින් වීරහැන්නැදිගේ ක්‍රිස්ටි ෆ්‍රැන්සිස්.


“මම රෑ දොළහට දහයක් විතර තියල තමයි ගොඩට ආවෙ මාළු ටික බේරගන්න. ටිකක් වෙලා මාළු බේර බේර ඉඳිද්දි ජීප් එක ආවා. එක පොලිස්කාරයෙක් බැහැල ඇවිත් මගෙන් මාළු ගැන විස්තර ඇහුවා. ඒ ඉන්න කොට තමයි ත්‍රීවීල් දෙකක් ඇවිත් මෙතන ඉස්සරහින් නැවැත්තුවේ. කොහොමහරි පිටිපස්සෙන් තිබුණ ත්‍රීවීල් එකට බලපත්‍රයක් තිබුණෙ නෑ. හැබැයි ගහගන්නව නම් මම දැක්කෙ නෑ. ඊට පස්සෙ වෙඩි වැදුණ කෙනාව ත්‍රීවිල් එකෙන් බැස්සුවා. එතකොටයි මම එයාව දැක්කෙ. මේ ඔරුව මට දීල තියෙන්නෙත් ඒ මනුස්සයා. එයාව මෙතනට ගෙනල්ල තමුසෙගෙ කට වැඩියි කියලා පොලිසියෙන් මූණට දෙකක් ගැහුවා. ‘ඇයි කට අඩුකරන්න ද මහත්තයා’ කියල පොඩි බහින්බස් වීමක් ගියා ඇහුණා. ඒත් ගල්වලින් ගහන්න එනව වත් මම දැක්කෙ නෑ. කොහොමහරි ටික වෙලාවකින් පොලිස් රාලහාමි තුවක්කුව අරන් වෙඩි තිබ්බ. එකක් තිබ්බ වැදුණෙ නෑ. තව එකක් තිබ්බ. එතකොට බිම වැටුණා. ඊට පස්සෙ එයාගෙ මල්ලිට තිබ්බා. ඒක වැදුණෙත් නෑ. ඊට පස්සෙ වෙඩි වැදුණු කෙනාගෙ පුතා කෑගහගෙන දිව්වා, තාත්තත් ඉවරයි, බාප්පත් ඉවරයි කියල. එතකොට පුතාටත් වෙඩි තිබ්බා. ඒකත් වැදුණෙ නෑ. එහෙම වෙඩි හතරක් තිබ්බා. ඒත් පොලිසියෙන් කියන්නෙ අහසට වෙඩි තිබ්බා කියලා. ඕ.අයි.සී. මහත්තයා මෙතනට එනකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. මෙච්චර ඇසින් දුටු සාක්ෂිකාරයෙක් වෙලත් අපේ සාක්ෂි ගත්තෙ නෑ. උසාවි දවසේ පාන්දර පහට පොලිසියෙන් මෙතැනට ආවා මාව අරගෙන යන්න. ඒ ආවෙ බයික් දෙකක. එයාලත් එක්ක ගියාම ‘කෝ තාම මූණ හෝදලත් නෑ නේ’ කියල මාව ගෙදරකට යැව්වා මූණ හෝදගෙන එන්න. එතකොට ඔන්න ජීප් එක ආවා. අර ආපු රාලහාමිල නෙවෙයි මාව ජිප් එකේ එක්කන් යන්න ආවේ. මාව ජීප් එකේ දාගෙන දොරවල් වහගෙන ගියා. මට එළියෙ මොනවත් පේන්නෙ නෑ. ගියේ කොහෙටද ගල්කිස්සට. එතනින් ගෙනාවා මොරටුමුල්ලට. ඊට පස්සෙ ආයෙ ගෙනාවා මොරටුව උසාවියට. ඒ එනකොට උසාවියේ මැස්සෙක්වත් නෑ. මාව මොකට ද වටයක් කැරකුවේ මේ අය. මං කිව්ව මේ උසාවියේ සිතාසිය මං ගාව කියල. මගේ කට උත්තර ගත්තෙ නෑ. මම ඇහින් දැකපු මනුස්සයා.”‍

ලංකාවේ මේ විදිහට වාර්තා වෙන පළමුවැනි හෝ එකම සිද්ධියත් මේක නෙවෙයි. මේ අඟු‍ලාන ප්‍රදේශයෙන්ම මීට කලින් මේ වගේ සිද්ධි වාර්තා වෙලා තිබුණේ නීතිය කුමක් වෙනුවෙන් ද කියන කාරණය ආයෙ ආයෙමත් ප්‍රශ්න කරමින්. තව කී දෙනකුට මේ අමිහිරි අත්දැකීම විඳින්න වෙයි ද කියන එක තමයි ඊළඟ ප්‍රශ්නෙ. මේ සිදුවීම ගැන ඊළඟට තොරතුරු විමසන්න ඇමතුවේ ලු‍නාව ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරීවරයා. ඒ වුණත්, ඔහු අපට අදහස් දක්වන එකෙන් වැලකුණේ, “තොරතුරු ලබා දිය හැක්කේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඔස්සේ”‍ බව පවසමින්‍.

පොලිස් ස්ථානයට ගියත්, අපිට ස්ථානාධිපතිතුමාව සම්බන්ධ කර ගන්න බැරි වුණේ, ඒ වෙද්දිත් පරීක්ෂණ කටයුතු වෙනුවෙන් රහස් පොලිසිය හා සම්බන්ධව කටයුතු සිදු වෙමින් යන නිසා කියලයි අපිට දැන්නුවේ. නමුත්, පසුව දුරකථන මාර්ගයෙන් අඟු‍ලාන පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාරද ප්‍රනාන්දු අපත් සමඟ අදහස් දැක්වූවා.

“ඔය ප්‍රශ්නෙ වෙන්න කලින් මම ඔතනට ගිහින් එයාලව චෙක් කරල ආවේ. කොහොමත් යුනිෆෝම් හිටියේ. සිද්ධියට සම්බන්ධ සාජන් බොන මනුස්සයෙකුත් නෙවෙයි. සිද්ධිය වෙලත් විනාඩි දෙකක් වගේ ඇතුළත මම එතනට ගියත් වෙන්න ඕනෙ දේවල් වෙලා තිබුණා. මම ගිය ගමන්ම කළේ ඒ මනුස්සයව ඉස්පිරිතාලෙට අරන් ගියපු එක. වෙඩි වැදුණු පුද්ගලයා ගලක් අරගෙන අපේ ජීප් එකේ ඩ්‍රයිවර්ට ගහන්න හදද්දි අතට වෙඩි තිබ්බා කියල තමයි කිව්වේ. මීට කලින් මේ වගේ යම් යම් සිද්ධි තියෙනවා පොලිසිය වැරදි විදියට ක්‍රියා කරපු තැන්. ඒවාට අදාළ දඬුවම් අධිකරණයෙන් ලබා දීලා තියෙනවා. නමුත්, මිනිස්සු කොහොම කිව්වත්, මේ සිදුවීම රාජකාරියක් කරන්න ගිහින් වුණු සිදුවීමක්.”‍

හැමෝම තම තමන්ගෙ පැත්තෙන් ඒ විදියට අදහස් දක්වන කොට අසාධාරණ ලෙස අමිත්ගෙ ජීවිතේ නිම වෙලා ඉවරයි. මේ පාලන ක්‍රමය ඇතුළෙදි තව ජීවිත කීයක් නම් මේ විදියට බිලි ගනියි ද කියලා අපි තාමත් දන්නෙ නෑ. ඒත් එක්කම කළු මිනිස්සුන්ගෙ ජීවිත විතරක් නෙවෙයි හැම ජීවිතයක් ම වැදගත් කියන එකත් මතක් වුණත්, මේක ඇමෙරිකාව නෙවෙයි ලංකාව කියල මතක් වුණා ම ඒ හැඟීම ඉවරයි. අන්තිමේට මට මතක් වෙන්නෙ අමිත්ගෙ තාත්ත අපිත් එක්ක කියපු කතාවක්.
“හැමෝම මේ ගැන කතා කරයි. ටීවීවල, පත්තරවල දායි. ඒත් මේ දරු පවුල් හෙට ජීවත් වෙන්නෙ කොහොම ද කියල කවුරුවත් දන්නෙ නෑ පුතේ…”‍

සටහන :වරුණ උදේශ් ජයසිංහ
සේයා: රවින්ද්‍රපුෂ්පකුමාර

Leave A Reply

Your email address will not be published.

2 × four =