“දේශපාලනික වහල්භාවය අත්හරිනතාක් කල් එම සිහින ඉතා දුර වනු ඇත”

රට සිංගප්පූරුවක්, ජපානයක්, බටහිර දියුණු රටක් වනවා ට සිහින දකින මුත් දේශපාලන වහල්භාවයෙන් මිදිය නොහැකි ශ්‍රී ලාංකේය පුරවැසියා
නූතන දේශපාලන සංවාදයන් හී දි ශ්‍රී ලාංකිකයින්ගේ කැපී පෙනෙන උදෘධතයක් වන්නේ “ නිදහස ලබන විට ණය නැතිව තිබූ රටක්, සිංගප්පූරුවටත් වඩා ඉහලින් තිබූ රටක්, ජපානයටත් වඩා ඉදිරියෙන් සිටි රටක්“ යන ජනප්‍රිය පාඨයයි. වසර හැත්තෑ දෙකක් දේශපාලඥයින් විසින් මේ රට විනාශ කොට ඇති බවත් කියමින් දෙස් දෙවොල් තබන ශ්‍රී ලාංකේය පුරවැසියා කවදා හෝ මේ රට සුඛිත මුදිත දේශයක් වනු ඇතැයි යනුවෙන් සිහින දකියි. එහෙත් තමන්ගේ කයිවාරු කථාවලින් සහ සිහින දැකීමේ දී ස්වර්ග රාජ්‍යයක් ගැන සිතුවත් ප්‍රායෝගික දේශපාලන භාවිතයේදී දී නම් තවමත් ශ්‍රී ලාංකිකයින් අතරින් බහුතරයක් අතීතයේ සිටි “ වහලා“ ට වඩා වෙනස් වන්නේ නැත.
ඉඩම් හිමි රදලයින් හෝ රජු යටතේ හෝ ජීවත් වූ වහලා කායිකවත්, මානසිකවත් ස්වාධීන පුද්ගලයකු නොවූයේය. වහලා ගේ පැවැත්ම තීරණය වූයේ ඉඩම් හිමි රදලයා හෝ රජු අතිනි. එබැවින් රජු හෝ රදලයා කොතරම් හොඳ හෝ නරක වුවත් තම පැවැත්ම උදෙසා කැඹරීම හැර අන් විකල්පයක් වහලාට නොතිබුණි. එහෙත් 19 වන සහ 20 වන සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය විසින්ම ඇති කරනු ලැබූ අරගල මතින් නිර්මාණය වූ දේශපාලන චින්තනයන් සහ ප්‍රතිසංස්කරණ විසින්ම න්‍යායිකවත් නීතිමය වශයෙනුත් වහල් ක්‍රමය අහෝසි වූයේය. එසේ වුවත් ශ්‍රී ලංකාව සුඛිත මුදිත දේශයක් වනු දැකීමට සිහින දකින බොහෝ ශ්‍රී ලාංකිකයින්ට තවමත් තම වහල් සිතුවිලි ඇ‍ඟෙන් ඇර ගැනීමට නොහැකි බව පෙනේ.

ලංකාවේ බහුතරයක් වූ දේශපාලඥයින් නූගත්, තක්කඩි සොරුන් බව ඔවුන්ගේ ක්‍රියා කලාපයන්ගෙන්ම පෙනේ. වංචා, දූෂණ, අක්‍රමිකතා, කොමිස් ගැහිලි, මිනී මැරුම් ආදී කී නොකී චෝදනා සියල්ලක්ම හෝ ඒ චෝදනා එකක් හෝ දෙකක් වත් දේශපාලඥයින් බහුතරයකට ඇත්තේය. එහෙත් ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් වීමට සිහින දකින ඡන්දදායකයා නැවත නැවතත් ඡන්දපොලට ගොස් කරන්නේ අර තක්කඩියන්ටම ඡන්දය දීමය. මන්ද තමන්ගේ ඡන්දය ඉල්ලා ගෙන එන දේශපාලඥයින් චර්යාත්මක අතින් කොතරම් දූෂිත ද යන්නවත් ප්‍රතිපත්ති හෝ භාවිතයන් කොතරම් නින්දා සහගත ද යන්න ගැන පුරවැසියන්ට වැඩක් නැත. තමන්ගේ ගමට කෝන්ක්‍රීට් පාර දාමා දුන්නේ නම්, තමන්ගේ නිවසේ අයෙකුට පත්වීම ලබා දුන්නේ නම්, රැකියාවේ උසස් වීම සාදා දුන්නේ නම්, තමන් ගේ විරුද්ධවාදියාට ස්ථාන මාරුවක් හෝ වෙනයම් දඬුවමක් දුන්නේ නම්, අනෙක් ජනවර්ගයකට එරෙහිව ප්‍රකාශයක් කොට චූන් එකක් දුන්නේ නම්, වේදිකාවේ නැග පපුවට අත්දෙකෙන් ගසා ගෙන මව්බිම ගැන ජාත්‍යන්තර කුමන්ත්‍රණ ආදිය ගැන කිව්වේ නම් කොතරම් සොර දේශපාලකයකු වුණත් ඒවා තමන්ගේ වටිනා ඡන්දය එම දේශපාලඥයින්ට පූජා කිරීමට ලංකාවේ බොහෝ පුරවැසියෝ පසුබට නොවේ.
බැංකු ශුද්ධ කිරීම, සොරකම් කොට ඒවායෙන් ගැලවී යාමට ක්‍රම හදා ගැනීම, තමන්ගේ හෙන්චයින් ද නෑදෑ සනුහරය සමග මහජන ධනය කොල්ල කෑම, විවිධ සංවර්ධන යෝජනා ක්‍රම වලින් කොමිස් ගැසීම, පවුල්වාදය දේශපාලනයට රැගෙන ඒම, ජනමාධ්‍යයට කෙලවීම, ප්‍රගතිශීලී දේශපාලන ප්‍රතිසංස්කරණ කන පිට හැරවීම, මිනී මැරීම ආදී කිසිවක් ලංකාවේ බහුතරයක් වන පුරවැසියන්ට ඡන්දයේ දී අදාල වන්නේ ම නැත. ලංකාවේ බහුතරයක් ජනයාට වැදගත් වන්නේ රටකට යහපත්, සමෘදිමත්, කල්පවත්නා සාමයක් බිහි කිරීමට අවශ්‍ය දේශපාලඥයින් ගේ ප්‍රතිපත්තිමය භාවිතාව නොවේ. ඊට වඩා ඔවුන්ට වැදගත් වන්නේ තමන්ගේ පුද්ගලික පැවැත්මට කළ සොච්චමකි.
මේ අපූරු පුරවැසියන් ඔව්හු තවමත් ලංකාව සිංගප්පූරුවක්, ජපානයක් හෝ දියුණු යුරෝපීය රටක් වන අන්දම ගැන සිහින දැකීමට කැමතිය. එහෙත් ඇත්ත වශයෙන්ම දේශපාලනික වහල්භාවය අත්හරිනතාක් කල් එම සිහින ඉතා දුර වනු ඇති අතර ඇත්තටම පෙනෙනු ඇත්තේ සෝමාලියාවක් හෝ සුඩානයක් විය හැකිය.
-අතුල දිසානායක(fb)

Leave A Reply

Your email address will not be published.

three × 1 =