අගුළු දමා ඇති වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද ආසාදිතයෝ 532 ක්

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද (27) නව කොවිඩ් 19 වයිරස ආසාදිතයෝ 532 ක් හමුවී ඇති අතර මෙය වික්ටෝරියා ප්‍රාන්තයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන වන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

අද දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් වයිරස ආසාදිත මරණ හයක් වාර්තා වී ඇති අතර එම මරණ හයෙන් පහක් ම වාර්තා වී ඇත්තේ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානවලින් යැයි වික්ටෝරියා ප්‍රාන්ත ආණ්ඩුවේ ප්‍රධානියා ඩැනියෙල් ඇන්ඩෲස් පවසයි.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ ඉරිදා දිනයේදී වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 484ක් විය.

කොවිඩ් 19 වයිරසය පැතිරයාම අනෙක් රටවල් හා සැසඳීමේදී ඕස්ට්‍රේලියාව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කරගැනීමට සමත් විණි. එහෙත් වික්ටෝරියා ප්‍රාන්තය තුළ වයිරසය පැතිර යෑම පාලනය කරගැනීම සඳහා බලධාරීන් දැඩි පරිශ්‍රමයක් යොදා ඇත.

වික්ටෝරියා ප්‍රාන්තයට මේ වනවිට සති හයකට අගුළු දමා ඇති අතර අනෙක් ප්‍රාන්ත සමඟ තිබෙන සීමා ද වසා දැම ඇත. මුඛ ආවරණ පැළැඳීම ද අනිවාර්ය කර ඇත. ඕස්ට්‍රේලියාවේ වැඩිම ජනගහනයක් වෙසෙන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අද දිනයේදී වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 14කි. ඉන් අඩක්ම වාර්තා වී ඇත්තේ සිඩ්නි නුවර පිහිටි ආපනශාලාවකිනි.

ඕස්ට්‍රේලියාවේ දෙවැනියට වැඩිම ජනගහනයක් වෙසෙන වික්ටෝරියා ප්‍රාන්තයෙන් පමණක් මේ වනවිට වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 8,181කි. වික්ටෝරියා හි වාර්තා වී ඇති සමස්ත වයිරස ආසාදිත මරණ ගණන 71කි. ඔස්ට්‍රේලියාවෙන් මේ වනවිට වාර්තා වන සමස්ත වයිරස ආසාදිතයන්ගේ ගණන 14,400 ඉක්මවන අතර මරණ ගණන 228ක් ලෙස දැක්වේ.

ඩැනියෙල් ඇන්ඩෲස්

Leave A Reply

Your email address will not be published.

four × five =